වසන්තය හොර රහස නික්මුණු, සිසිරයේ හිම පියළි වැතිරෙන, පුරවරක් කොණ තැනිතලාවක, පැල්පතක් තුළ මහළු කවියෙකි, ජීවිතේ අග සුසුම් හෙළනා. ලොවේ කිසිවකු මෙතෙක් නොම දුටු, සොඳුරු උදයක අඳුරු රැය තුළ, පාළු කනිසම හුදකලාවක, කිවූ කවිපද ලොවට නොඇසුණි. ලිවූ පදවැල් නොදැක සැඟවුණි. ජීවිතේ රඟ මෙයයි කීවද, සවන් යොමුකළ කෙනෙක් නොමවිය. අඳය මිනිසුන් ගොළුය බිහිරිය. කවිය කිමදැයි නොදන්නෝ විය. එහෙත් කිවිඳුන් දිවා රැය දෙක, ලියා තැබුවා දිවිය කිමදැයි. 


හිරු ද නොදකින සිසිරයේ මැද, හිමෙන් වටවුණු පැල්පතක් තුළ, කැඩුණු යහනක ඉපනැළක් වී, මහළු කවියා වැතිර සිටියා, මරණයේ දොරකොඩට සපැමිණ. තනිය නොතනිය සමව විඳගත්, පහන් සිළුව ද මළානික වී, කෙඳිරිගෑවා කුරුණියක් මත, ජීවිතේ හැර නොයන අටියෙන්. 


ධවල සළුපිළි වසා මුළු ගත, මරණයේ සුර දියණියන්දෑ, පැමිණ සිටියා රැගෙන යන්නට, මහළු කවියා ස්වර්ගය වෙත. මළානික නෙත විවර නොවුවද, සිතින් දුටු සඳ ඇගේ රූසපු, මෙතෙක් නොකිවූ කවිය කීවා, කවක් ලෙස නොව කෙඳිරියක් ලෙස. 


තවත් කුමකට බලා හිඳිණුද වැළඳගනු මා ඔබේ දෑතින්. රැගෙන යනු මැන මෙයින් මුදවා, කුරිරු මිනිසුන් නොමැති ලොවකට. 


මරණයේ සුර දියණියන්දෑ, කිසිත් නොදොඩා එබී මුහුණට. කොපුල් තල මත දෙතොල් පහසින්, කියා දුන්නා මෙතෙක් නොලිවූ, සදාදර වූ කවක පදවැල්. මවකගෙන් නොම ලබපු උණුසුම. පෙමක් ළඟ සිත විඳින අසිරිය. 
මඳ පවන විය චණ්ඩ මාරුත. හිම පියළි විය මේඝ වරුසා. කවුළු හිඩැසින් හැමූ සුළඟක, සිහින් දහරක් වැදී පහනට, මළානික සිල හඬා වැළපී, නිවී සමුගති ලොවට දෙස්දී. 


වසන්තය යළි සිසිරයක් වී, සිසිරය ද යළි වසන්තය වී, පිපී මල් යළි වැටී පරවී, සිසිර හිම කැට යළිත් දියවී, මිත්‍ය කඩතුරා වළා අතරින්, බුද්ධියේ හිරු නැගෙන උදයක, දෙනෙත් නිදිගැට මුදා බැලුවා, ‘‘විසල් මන්දිර’’ කවුළු දොර හැර. පැලක් අද්දර දිරාපත් වුණු, සොඳුරු පදවැල් රැඳුණු පත්ඉරු, නගා මහ ගොස කිය දුන්නා, දිවිය කිමදැයි ඔවුන් නොමදුටු. 


ඇසින් නොම දුටු කනින් නොම ඇසු, මහා කවියෙකු නමින් ඉදිවුණු, අහස් කුස නුබ සිඹින තරමට, මලින් සුවඳින් තනා නිමකළ, සැමරුමක් ළඟ බලා සිටියා, හයක් හතරක් නොදැන පොඩිවුන්. 
රසීකලා රෝමය, ඉතාලිය.