(තිහගොඩ උපසේන ලියනගම)
ඔහු අකුරැස්ස ප්‍රදේශ​යේ පදිංචි කරුවකු වුවත් සේවය කළේ කොළඹ  නිසා නතර වී සිටියේ අගනුවර හිතවත් නිවසකය. රැකියා විරහිත බිරිඳ හා පවුලේ පිරිමි දරුවන් දෙදෙනා නිවසේ සිටි අතර සති අන්තයේ නිවසට ඒම ඔහුගේ සිරිත විය.


පසුගියදා තම ආයතනයේ සේවය කරමින් සිටියදී ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ‘‘මචං සරුංගලයක් ආවා. අපි ගාව තියෙනවා’’ මෙම ඇමතුමෙන් අන්දමන්ද වූ ඔහු ‘‘මොන සරුංගලයක් දැයි’’ ඇසීය. ‘‘සරුංගලේ’’ එහා පැත්තෙන් කියැවිණි


අන්ද මන්ද වූ ඔහු ‘වැරදි අංකයක්’ කියා ඇමතුම විසන්ධි කළේ කෝපයෙනි. යළි එම අංකයෙන්ම ඇමතුම ආවද ඔහු ගත්තේ නැත.


සති අන්තයේ ගෙදර ගිය විට දරුවන් සුරතල් කරන අතර කුඩා දරුවා ‘‘තාත්තේ අයියයි මායි ලස්සන සරුංගලයක් හැදුවා. ඒක උඩ ගියාම නූල කඩාගෙන ගියා. මෙහෙම වුණොත් අහුලපු කෙනාගෙන් පණිවිඩයක් ඒවි කියලා අම්මා ඒකෙ තාත්තගෙ ෆෝන් අංකෙ ලියලා තිබුණා. ඒත් උත්තරයක් නෑ. ඔහු දුකෙන් කී විට තාත්තාට දෙවියන් සිහිවුණාලු.