කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත



අනියම් සැමියාට අමුතු ආකාරයට ආදරය කරන්න ගොස් රැකියාවට ආයුබෝවන් කියන්න සිදුවූ කාන්තාවක පිළිබඳව අපූරු කතාවක් ගාලු‍පුර ගමකින් ඇසේ.
ඇය ජීවත්වූවේ ගමේ වුවත් සේවය කළේ නගරයේය. නගරයේ නිවෙසක මෙහෙකාරියක ලෙසය. විවාහක කතක වුවත් නගරයේ විවාහක අයකු සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නගරයේ රැකියාවට ගොස් සිටියදීය. තමා සේවය කරන නිවෙසින් නිවාඩුවක් ලබා බස් රථයෙන් ගම රට බලා යන අතරතුර දැන හැඳිනගත් අයකු සමගය.
දෙන්නට දෙන්නා ඉඩ ලැබෙන ලැබෙන පරිදි හමුවෙති. මේ හමුවීම දුරදිග යාමට ගත වූයේ කෙටි කාලයකි. ඇය ඔහුට මුළු හදවතින්ම ආදරය කළාය. තමා වැඩ කරන නිවෙසේ රස රස කෑම කන විට ඇයට ඔහු සිහියට ආවේය. තමා කන කෑම බීම ජාති ඔහුටත් දෙන්න ඇත්නම් යැයි ඇයට සිතුණු වාර අනන්තය. ඒ ඔස්සේ ඇය ඔහුට එම ද්‍රව‍්‍ය දෙන වැඩපිළිවෙළක් පිළිබඳව කල්පනා කළාය. ඇයගේ ටිකිරි මොළයට අදහසක් ආවේ ඔය අතරය. ඇය එය ක්‍රියාත්මක කරමින් සිටියාය.
සිය නිවෙසට තමා රැගෙන එන යෝගට්, ඇපල්, දොඩම්, මිදි හිටිහැටියේම අන්තරස්දාන වීම ගැන හාම්පුතාට ඉව වැටුණි. සිය මෙහෙකාරිය නිවාඩුවට හැර නිවෙසින් පිටව නොයන නිසා ඇය ගැන කිසිදු සැකයක් ඔහුට ඇති නොවීය. නමුත් තමා ගෙනෙන කෑම බීම ජාති අන්තරස්දාන වීමද නොනැවතුණේය. මේ නිසා හාම්පුතා සිටියේ ඒ ගැන හොඳ සිහියෙනි. ඒ ඔස්සේ සිය නිවෙසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ඔහු දින ගණනාවක්ම පරීක්ෂා කළේය. වැඩිමනත් පරීක්ෂා කළේ රසවත් කෑම ගෙන එන දවසට පසුවදාය.


මෙහෙකාරිය බොහෝ විට නිවෙසේ එකතුවෙන කැළි කසළ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයට ලබාදීම සඳහා තාප්පයට සවි කර ඇති භාජනයට දැමීමට වැඩියෙන්ම යනුයේ එවැනි දවස්වලටය. ඒ සමගම පුද්ගලයකු ඇවිත් කැළි කසළ දමන භාජනය වෙත පැමිණ කුඩා පාර්සලයක් රැගෙන යන බව හාම්පුතාට නිරීක්ෂණය වූවේය.
ඒ නිරීක්ෂණය ඔස්සේ ඔහු නිගමනයකට ආවේය. ඒ අනුව මෙහෙකාරිය කැඳවීය. කාරණය ගැන ඍජුවම කතා කළේය. ඇය දිවුර දිවුරා තමන් නිවෙසේ කිසිදු දෙයක් සොරකම් නොකළ බව කීවාය. සාක්ෂිය ලෙස හාම්පුතා ඇයට සී.සී.ටී.වී. දර්ශන ගෙනහැර පෑවේය. ඇත්ත කියන ලෙස හාම්පුතා ඇයගෙන් ඉල්ලු‍වේය. එසේ නොකළහොත් තමා මේ දර්ශන සමග පොලිසියට යන බව කීවේය. ඇය ඇත්ත හෙළි කළාය. “අනේ සර් මම එයත් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මෙහේ හොඳ ජාතියක් කනකොට මට එයා මතක් වෙනවා. මමත් කාලා එයාටත් ටිකක් දෙනවා. ඒ සඳහා මම ප්‍රයෝජනයට ගත්තේ අපේ ඩස්පින් කූඩෙයි.”
“තමා විශ්වාසය කඩ කළා. අනෙක විවාහක තමා තව විවාහකයෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. මේ විදිහට තමා මේ නිවෙසින් මේ මිනිහත් එක්ක මොනවා පන්නයිද දන්නේ නැහැ” යැයි කියමින් හාම්පුතා ඇයට ගෙදර යන්න කීවේය. ඒ සමගම ඇය නිවෙස බලා ගියේ අනියම් සැමියාට අනියම් ආකාරයට ආදරය පුද කරන්න ගොස් වැටුණු අලි අමාරුව ගැන සිහි කර කරය