ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර 



තම රියැදුරා හදිසි කෝපයට පත්ව තම වාහනයත් සමග තමන්ව අතරමංකර පැමිණීම නිසා කොළඹ පුරා වෙනත් රියැදුරකු සොයන්නට එම වාහන හිමිකරුට සිදුවූ මේ පුවත වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයකිනි.
වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය .
ඔහු එම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහුට වාහන පැදවීමේ හැකියාවක් හෝ ඊට රියැදුරු බලපත්‍රයක්ද නැත. එහෙත් තම අත්‍යවශ්‍ය ගමන් බිමන් යාමට ඔහුට වාහනයක අවශ්‍යතාවය තදින්ම දැනුණේය. මේ පිළිබඳව සිතූ ඔහු තම හිතවතකු සමග ගොස් හොඳ සුඛෝපභෝගී වාහනයක් මිලට ගත්තේය. මේ වාහනය පැදවීමට දැන් ඔහුට හොඳ රියැදුරකු අවශ්‍යය. තම හිතවතා විසින් ඊටද ඉතා සුදුසු පලපුරුදු රියැදුරකු සොයා දුන්නේය.
දැන් ඔහු දිනපතා ව්‍යාපාරික ස්ථානයට එන්නේත්, ආපසු යන්නේත් අර රියැදුරා සමග තම වාහනයෙනි. ඒ අතර තමන්ට අවශ්‍ය ගමන් බිමන්ද රියැදුරා සමගම යාමට ඔහු පුරුදුව සිටියේය . මේ සඳහා රියැදුරාට මාසික වැටුපක් ගෙවනු ලැබීය.


මේ අතර දිනක් ඔහු තම වාහනයෙන් රියැදුරා සමග කොළඹ ගියේ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයකටය. කතා බස් කරමින් දෙදෙනා ගමන් කරන අතරතුරේ එක් වර්ණ සංඥා තිබූ ස්ථානයකදී වර්ණ සංඥා දැල්වීමටත් පෙර රියැදුරා වාහනය ඉදිරියට ධාවනය කළේය. ඉක්මන් කේන්ති කාරයකුවූ ව්‍යාපාරිකයා “ඔහොමද මිනිහො ටවුන්වල වාහන එළවන්නේ. වැරදිලාවත් මිනිහෙක් පාර හරහා පැන්නනම් අපි අමාරුවෙනෙ”‍
ව්‍යාපාරිකයා ටිකක් සැරෙන් රියැදුරාට කීවේය.
එහෙත් රියැදුරා කිසිවක් කතා කළේ නැත. නගරය පසුකර තමන් ගමන් කළ මාර්ගයේ වාහන නතර කළ හැකි ස්ථානයක වාහනය නතර කර රියැදුරා වාහනයෙන් බැස්සේය. වාහනයේ යතුරද අතටගත් රියැදුරා වාහනයේ දොර වසා අනෙක් පැත්තෙන් ව්‍යාපාරිකයා සිටි තැනට පැමිණියේය.
”‍මෙන්න මහත්තයා වාහනයේ යතුර. ටවුන්වල වාහන එළවන්න පුළුවන් කෙනෙක් සොයාගෙන මහත්තයා යන්න.”‍
එසේ පැවසූ ඔහු පාර හරහා මාරුවී අනෙක් පැත්තට ගමන් කළේය.
ව්‍යාපාරිකයා සිතුවේ ඔහු කේන්තිය නිවුන පසු ආපසු ඒවිය කියාය.  රියැදුරා ආපසු ආවේ නැත. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තද එයද විසන්ධිකර තිබුණේය.
ව්‍යාපාරිකයා කළහැකි කිසිවක් නොමැතිව ටික වේලාවක් කල්පනා කළේය. දැන් වාහනය තමන්ට පදවාගෙන යාමටත් නොහැකිය. හදිසියට කතා කරගෙන යාමට දන්නා හඳුනන රියැදුරකුද නැත.
මේ අතර ඊට අල්ලපු නගරයේ සිටින තම හිතවතකු ඔහුට සිහිපත් විය. ව්‍යාපාරිකයා ඔහුට කතා කළේය.”‍ අනේ මල්ලි මට පොඩි කරදරයක් වුණා. මම මගේ වාහනේ ඉන්නෙ කලර් ලයිට් එකට ටිකක් ඉස්සරහ. මගේ වාහනේ පදවගෙන යන්න පුළුවන් ඩ්‍රයිවර් කෙනෙක් මට දැන්ම සොයල දෙන්න.”‍
”‍හරි ඔහොම ඉන්න මං ඔතනට එන්නම්.”‍
ව්‍යාපාරිකයාගේ හිතවතා පැමිණ සොයාදුන් තාවකාලික රියැදුරා සමග ව්‍යාපාරිකයා ගමට පැමිණ එම රියැදුරාට කෑම බීම හා නවාතැන් දී පසුදා අතටද මුදලක් දී පිටත් කර හැරියේය.
පසුව ටික දිනකින් ඔහු වාහනයද විකුණා දැම්මේය.