හසලක සුනිල් ඒකනායක
‘ආයේ නම් මචෝ අරක්කු බීලානම් බයිසිකලයේ යන්නේ නම් නෑ. අරක්කු බීලා බයිසිකලයේ ගිහිල්ලා මම හොඳ පරිප්පුවක් කෑවානේ.” යැයි ඔහු සිය හිතමිතුරන්ට පවසන්නේ රාත‍්‍රි කාලයක පැය ගණනක් මදුරුවන් තළමින් පොලිස් නිලධාරින්ගෙන් බේරීමට ගම්මිරිස් කොටුවක රැඳීසිටීමට සිදුවු සිද්ධියක් සිහිපත් කරමිනි.”
හතළිස් හතර වියේ පසුවෙන දෙදරු පියකු වන ඔහු ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු කාගෙත් හොඳ හිත දිනාගත් අයෙකි. ඒ නිසාම තම මිතුරකු යම් උදව්වක් ඉල්ලූ සැණින් එය බෑ නොකියා එම උදව්වට සහයෝගය දෙන අයකු බවටද මිතුරන් අතරේ ජනප‍්‍රිය චරිතයක් බවට පත්වී සිටී. ඒ නිසාම අමාරුවේ වැටුණු අවස්ථා ද නැතිවාම නොවේ. මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු නවාතැන් ගෙන සිටිනුයේ හසලක ප‍්‍රදේශයේ කුලී නිවසකය.
එක් මිතුරකු ඔහුට යෝජනා කළේ තමන්ගේ මහියංගනය ප‍්‍රදේශයේ තිබෙන සේවා ආයතනයක පිරිසිදු කිරිමක් කිරීමට තිබෙන හෙයින් ඒ සඳහා අද එහි යමු දැයි කියාය. දෙවරක් නොසිතා හා යමු යැයි කියා ඔහු පවසා ඇත. එදින සවස් යාමයේ දෙදෙනා යතුරු පැදියක නැගි අදාළ සේවා ආයතනය කරා ගොස් ඇත.
ආයතනය ඇතුළත පැය දෙකක පමණ කාලයක් පිරිසිදු කිරිමෙන් පසු එම කාර්යයට සහයෝගය ලබා දුන් තවත් මිතුරන් කීප දෙනකු සමඟ එක්ව මදුවිත සාජ්ජයක්ද පිරිස එහිදීම පවත්වනු ලැබූහ. එය නිමා වෙන විට රාත‍්‍රී 11 පමණ වී තිබිණි. ඔහු සමග ගිය මිතුරා පැවසුවේ දැන් තිබෙන තත්වය අනුව තමන්ට නිවස කරා යෑමට නොහැකි වන හෙයින් මෙහිම රැය පහන් කර පසු දින උදේ යමු කියාය. එම යෝජනාවට එකඟ නොවු ඔහු සිය යතුරු පැදිය පණ ගන්වාගෙන වෙරිමර ගාතේම සිය නවාතැන බලා ගමන් අැරඹීය. එසේ කිලෝ මීටර් දෙකක් පමණ දුර යතුරු පැදියේ නැගී පැමිණෙන විට ඈත තියා ඔහුට පෙනුනේ වීදි පහන් ආලෝකය තිබෙන ස්ථානයක පොලිස් නිලධාරින් කීප දෙනකු වාහන පරීක්ෂාවක නියැලී සිටින අයුරුය. ඒ දසුණින් ඔහුගේ ඉහ මොළ රත්විය.
දැන් මොකද කරන්නේ. පොලිසියට අහුවුණොත් වෙන්නේ මහා විනාශයක්. බැලූම් පුම්බලා කෙළින්ම පොලිසියට අරගෙන ගිහිල්ලා කූඩුවට දානවා. උදේ වෙනකන් කූඩුවේ තපින්නත් වෙනවා. ලොකු දඩයක් ගහනවා. මේක ආරංචි උනාම කන්තෝරුවේ උන්ගෙන් වෙන අපවාද? වැනි අසුභ වදන් ගොන්නක් එක පිට එකට සිතට ගලා එන්නට විය. ඒ සිතුවිලි සමගම වෙන දෙයක් වෙච්චාවේ යැයි සිතා පොලිස් නිලධාරින් සිටින ස්ථානයෙන් වේගයෙන් යතුරු පැදිය ධාවනය කරනු ලැබීය. විසිල් හඬක් ඇහුණත් එය නො ඇහුනා සේ යතුරු පැදිය ඉදිරියට වේගයෙන් ධාවනය කළේ පොලිස් නිලධාරින්ගෙන් බේරි යෑම සඳහාය.
එසේ වේගයෙන් ඉදිරියට යන ඔහුට දැනුනේ තමන් අල්ලන්නට පොලිස් නිලධාරින් කණ්ඩායමක් පිටු පසින් පන්නාගෙන එන බවකි. කෙටි දුරක් ගමන් කර ප‍්‍රධාන මාර්ගය අසලින් තිබුණු අතුරු මාර්ගයකට යතුරු පැදිය හරවා තවත් ටික දුරක් ගමන් කර අසල තිබු ගෙවත්තකට රථය ධාවනය කර සැඟවීමට ඔහුට සිදුවිය.
එම අතුරු මාර්ගයේද විවිධ වාහන ගමන් කිරීම දැක ගන්නට ලැබුනෙන් ඔහු සිතුවේ මේ නම් තමන් සොයා පොලිස් නිලධාරින් සැරි සරණවා කියාය. පැයකට අධික කාලයක් ගම්මිරිස් වත්තේ සැඟවී බිම වාඩිවි සිටින විට ඔහුට එම ස්ථානයේම නොදැනීම නින්ද ගොස් තිබේ.
එම ගෙවතු හිමියා කුඹුරට ගොස් රාත‍්‍රියේ නිවස බලා එන විට විදුලි පන්දම් එළියෙන් දැක ගන්නට ලැබුනේ තමන්ගේ ගෙවත්තේ යතුරු පැදියක් නතර කර ඇති බවකි. ඒ ගැන විපරම් කර බැලිමේදි යතුරු පැදිය අසල කිසියම් අයකු බිම දිගාවී නිදාගෙන සිටින ආකාරයක් ද දැක ගන්නට ලැබි තිබේ. එම දසුනෙන් ඇති වු චකිතය මත හිමින් සීරුවේ එම ස්ථානයට ගොස් නිදා සිටි අය අවදි කරනවාත් සමඟම ”අනේ අනේ මට සමාවෙන්න. මට ගහන්න නම් එපා. මම චුට්ටක් බිව්වා තමයි. අනේ මාව පොලිසියට නම් අරගෙන යන්න එපා.” යැයි කියමින් ගෙවතු හිමියාට වැඳ වැටෙමින් කන්නලව් කරන්න පටන් ගත්තෙන් ගෙවතු හිමියාද අන්ද මන්ද විය. ”නෑ නෑ මම පොලිසියෙන් නෙවෙයි.” යැයි පවසා මෙසේ සිටින්නේ මන්දැයි කියා ඔහුගෙන් විමසා ඇත. අනේ මට සමාවෙන්න එහෙනම් යැයි පවසා තමන්ට සිදුවු විපත්තිය ඔහුට පවසා ඇත.
එම කතා බහෙන් අනතුරුව ගෙවතු හිමියාගේ උපදෙස් මත අතුරු මාර්ගයක් ඔස්සේ සිය නිවස බලා පැමිණිමට ඔහුට හැකිවිය. පසු දින තමන් මුහුණ දුන් පුවත මිතුරන්ට පවසා ‘ආයේ නම් මචෝ අරක්කු බීලානම් බයිසිකලයේ යන්නේ නම් නෑ. අරක්කු බීලා බයිසිකලයේ ගිහිල්ලා මම හොඳ පරිප්පුවක් කෑවානේ.” එය මිතුරන් සිනා සයුරේ ගිල් වු පුවතක් බවට ද පත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd