පෝද්දල - සරත් ආනන්ද ගමගේ 



මංගල උත්සවයකදී ලැබුණු ඉස්තරම් රට බීම වර්ගයක් කිසි කමකට නැතැයි කියමින් බාල්දු කළ පුද්ගලයකුට සාදය අතරමැද දී සිදුවූ අකරතැබ්බයක් ගැන ගාලු‍ දිසාවේ ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම පෙදරේරු රැකියාවේ නියුතු අයෙකි. පදිංචිව සිටියේ ගෙවල් දහ පහළොවකින් යුත් වෙන්දේසි ඉඩමකය. මෙම නිවාස පන්තියට අයත් නිවෙසක විදෙස් රටක රැකියාව කරමින් සිටි තරුණයකුගේ විවාහ මංගල්‍යයක් පසුගියදා යෙදී තිබුණු අතර ඒ සඳහා අසල්වැසි නිවැසියන් සියල්ලන්ටම ආරාධනා ලැබී තිබුණි.
හැමදාම දේශීය පානයකින් සන්තර්පණය වන පෙදරේරුවා මේ සාදයට සහභාගි වීමට දින ගනිමින් බලාපොරොත්තුව සිටියේය. ඒ සඳහා “අපි දෙන්නා එකට යමු”‍ යැයි අසල්වැසි නිවැසියා හා කලින්ම එකඟතාවකට ද පැමිණ තිබුණි.
නියමිත දිනයේ කල්වේලා ඇතුවම මිතුරෝ දෙදෙනා සාදය පැවැති නිවෙසට ගියහ. සාදය සඳහා සූදානම් කර තිබුණේ රට බීම වර්ගයකි. මිතුරන් දෙදෙනා තවත් අසල්වැසියන් දෙදෙනකු හා එක්ව මස්, මාළු, අල, බිත්තර සහිත කටගැස්මත් සමග බෝතලයක් හිස් කළ අතර එය අවසන් වන විට තවත් බෝතලයක්ද ලැබුණේය.


එම බෝතලය ද හිස් කරන ගමන් කට ඇරි පෙදරේරු මිත්‍රයා “කිසි වැඩක් නෑනෙ අයියෙ. ගල් කාලක් ගැහුවනම් මෙලහකට හොඳ ගණන්”‍ යැයි කීවේය. අපේ ගමේ මඟුල් ගෙදරකත් මේ බීම ජාතියම තිබිල අන්තිමට ගල් බෝතල් හතරක් ගෙනත් දුන්නට පස්සෙ තමයි යන්තන් කරන්ට් එකක් දැනුණෙ” යැයි වැඩිදුරටත් පැවසුවේය. 
දැන් සාදය නැගලාම යනවාය. එකට ආ මිතුරන් දෙදෙනා දැන් වෙන වෙන තැන්වල වෙනත් මිතුරන් හා සෙට්වෙලා සිටියදී පෙදරේරුවා කාටත් නොකියා ගෙදර ගිය බව දැනගත්තේ තමා සමග පැමිණි මිතුරාගේ දුරකථනය නාද වන්නට වී ඔහුගේ බිරිය කතා කරන විටය.
“බලන්න අයියේ මෙයා කන්නෙත් නැතුව සල්ලි දෙන්නෙත් නැතුව ඇවිත් සපත්තු පිටින්ම නිදි”‍ යැයි කීවාය. ඒ පෙදරේරුවාගේ බිරිඳය. එහිදී තවදුරටත් කතා කළ ඇය පොඩි දුව අතේ ලියුම් කවරය එවන බවත් අයියා එන විට දරුවාද රැගෙන එන ලෙසත් ඉල්ලා සිටියාය.
ඉන්පසු මිතුරා එම දැරිවිය සමග කෑම කා ලි‍යුම් කවර ද බාරදී පැමිණ ඇත. සිද්ධිය දැන් ප්‍රදේශය පුරා පැතිර ගොස් ඇති අතර සිද්ධියට මුහුණ දුන් පෙදරේරුවාට “විස්කි”‍ යන වචනය ඇහුණත් මළ පනිනවා යැයි ආරංචිය.