එක්තරා ගමක පවත්වාගෙන යන මරණාධාර සමිතියක සාමාජිකයෝ ප‍්‍රදේශයේ වැඩිහිටියන් සඳහා දානමය පිංකමක් සංවිධානය කළහ. එම දිවා ආහාර වේල සඳහා මස්, මාළු, කිරි,  බිත්තරවලින්ද අඩුවක් නොවීය.

දානමය කටයුත්ත ආරම්භ වූ පසු සමිතියේ තරුණ පිරිස් යුහුසුළුව වැඩිහිටියන් සඳහා දානය බෙදමින් සිටියහ. මස් දීසිය අතට ගත් තරුණියක් පිළිවෙළින් එය බෙදාගෙන යමින් සිටියාය.

”ඔය මස් නේද...” එක් වැඩිහිටියෙක් තරුණියගෙන් විමසුවේය.

”ඔව් ඔව් සීයේ” එසේ කියමින් ඇය මස් කෑලි කිහිපයක් හැන්දට ගෙන බෙදන්න හැදුවාය.

”හා... හා... ඔය ජරාව මම කන්නෙ නැහැ. දැන්වත් ළමයිනේ ඔය මළ කුණු බුදින එක නවත්තපල්ල” මස් ප‍්‍රතික්ෂේප කළ ඔහු ඇයට උපදෙසක් ද දුන්නේ හෙමින් නම් නොවේ. ඉන් ලැජ්ජාවටද පත් ඇය හිමින් සීරුවේ එතැනින් ඉවත් වූවාය.

මද වේලාවක් ගත වෙද්දී සියල්ලෝම ආහාර ගනිමින් සිටියහ.

”ළමයිනේ මට හොදි පොඞ්ඩක් ගෙනත් දීපල්ලකො.” පෙර කී වැඩිහිටි පුද්ගලයා කියද්දී කිරිහොදි බඳුන අතට ගත් අයකු ඔහුට හොදි බෙදන්නට සූදානම් විය.
” ඕව නෙවෙයි ළමයො මස් හොදි ඩිංගක්.”

ඈ.... සීයෙ සීය මස් කන්නෙ නෑ කීවනේ...” ඔහු පුදුමයෙන් විමසුවේය.

”මස් කෑලි කන්නෙ නෑ තමයි ළමයෝ” ඒත් හොදි ඩිංගක් නම් මට නැතුවම බැහැ.”

ඔහු එසේ කියද්දී සැමගේ මුවගට සිනා පහළ වුවත් පිට කළේ නැත.