(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) වේලාව සවස පහට පමණය. මිතුරන් තිදෙනකු සේවා ස්ථානයෙන් පිටත්වූයේ නිවෙස් බලා යන අදහසිනි. දෙදෙනකු ගාල්ල බලා යන දුම්රියෙන් යා යුතු වූ අතර අනෙකා මහනුවර බලා යන දුම්රියෙන් ගමන් පහසුව සලසා ගැනීමට නියමිතව තිබිණි.

තිදෙනා කොළඹ කොටුව දුම්රියපළට යාමට කතිකා කර ගත්හ. මෙසේ කතා කර ගත්තේ එසේ යාමෙන් තිදෙනාගේම දුම්රිය නිවැරදිව ලබා ගැනීමේ හැකියාව ඇති නිසාය. බසයක් එනතුරු තිදෙනා බලා සිටියදී ගාල්ල බලා යන මිතුරාගේ හිතවතකු වාහනයකින් එහි ආවේය. ටික වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි ඔහු “මම ගිහින් දාන්නම් ගොඩවෙයල්ලා” යි කීය.

මිතුරා සෙසු දෙදෙනාටත් කතා කළේය. “ගොඩවෙයල්ලා කෝච්චියට යන්න පුළුවනි” ඔහු කීය. වැඩිදුර සොයා නොබැලූ තිදෙනාම ඊට ගොඩවූහ. වාහනය ඒ මේ අස්සෙන් ගමන් කරමින් නැවතුණේ කොල්ලුපිටිය දුම්රිය නැවතුමේය. මහනුවර දුම්රියේ යන්නට සිටි මිතුරාට හීන් දාඩිය දැම්මේය. මොනවා කරන්නද එන හැටියට මුහුණ දෙනවා කියා ඔහු සිතා ගත්තේය. මිතුරන් දෙදෙනා ගාල්ල දුම්රිය එනතුරු බලා සිටියදී මහනුවර සීඝ්‍රග ාමී දුම්රිය පිම්මේ ගියේ අනෙක් මිතුරාට සමච්චල් කරන්නා සේය.

සෙසු දෙන්නා පසුව ආ ගාල්ල දුම්රියෙන් ගමන් කළ අතර අනෙකා කොළඹ කොටුවට ගොස් බස් රථයකින් සිය ගමනාන්තයට ළඟාවන විට හොඳටම රෑබෝ වී තිබිණි.