මෙම ආයතනයේ තේ පිළියෙළ කිරීම සඳහා භාවිතා කළේ දැනට රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් ආනයනික කිරිපිටි වර්ගයකි.
පසුගිය දිනෙක තේ සාදන කාන්තාව ඇමතූ එහි නිලධාරි මහතෙක්, ‘‘ඇන්ටී දැන් මේ කිරිපිටි පාවිච්චි කරන්න එපා. අපි අපේ රටේ කිරිපිටි බොන්න ගමු’’ යැයි පැවසීය. ‘‘ඔව් සර් කොටින්ම මේ පිටි කඩවල්වල විකුණන්නත් තහනම්ලූ. අහුඋණොත් හිරේ දානවා කියන්නේ.’’ කාන්තාව පිළිතුරු දුන්නාය.
පසුව නැවත පැමිණි නිලධාරියා ඇයට මුදල් දී ලංකාවේ නිෂ්පාදිත කිරිපිටි වර්ගයක නමක් කියා ඒවායින් පැකට් තුනක් රැගෙන එන ලෙසට දැන්වීය. ඒ අනුව ඇය එම වර්ගයේ කිරි පිටි පැකට් තුනක් මිලදීගෙන පැමිණි අතර, සවස තේ වේලාවේදී එම කිරිපිටි වලින් තේ පිළියෙළ කර ආයතනයේ කාර්යමණ්ඩලයට සැපයුවාය.
කිරි තේ කෝප්පයෙන් උගුරක් පානය කළ පෙරකී නිලධාරි මහතා, ‘‘ආ, මේ කිරිත් නරකම නැහැ’’ යැයි කීය. රැකියාව නිමා වී තම නිවෙස කරා යෑමට ප‍්‍රථම ඉතිරිවී තිබූ තහනමට ලක්වූ කිරිපිටි පැකට්ටුවක් අතට ගත් තේ සාදන කාන්තාව, ‘‘සර් මේක මෙහෙ තියන්න හොඳ නැහැ.  ඕක කවුරුහරි දැක්කොත් එහෙම. ඒ හින්දා මේක මම ගෙදර අරන් යන්නදැ’’ යි විමසුවාය.
කාරණය වටහා ගත් නිලධාරියා, ‘‘හරි හරි  ඕක ගෙදර අරන් ගිහිල්ලා බොන්න. හැබැයි මෙහෙන් දුන්නා කියලා නම් කාටවත් කියන්න එපා.’’ යැයි සිනාසෙමින් පැවසීය.