රට වෙනුවෙන් අතපය දන්දුන් රණවිරුවෝ

 

යුද්ධයක බියකරු බව ඔහු නොදැන සිටියාම නොවේ. යුද භූමියකට පය තබන්නට ඔහු තුළ වූ කැමැත්ත පිළිබඳ ඔහු මුලින්ම කීවේ ඔහුගේ අක්කා සමඟය. එහෙත් සතුරාගේ වෙඩි උණ්ඩයකින් තම සොහොයුරාගේ දිවිය සදහටම නිහඬ කරවිය හැකිය යන්න ගැන තිබූ අනියත බිය නිසාම ඇය දැඩි ලෙසම ඒ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කළාය. එහෙත් චමින්දගේ හිත පාසල් සමයේ සිටම තිබුණේ යුද භූමියේය. අවසන අක්කාගේත් දෙමාපියන්ගේත් බලවත් නොකැමැත්ත උඩම යුද පිටියට පය තබන්නට ගත් තීරණය ක්‍රියාවට නැගුවේය.  


‘‘2007 අවුරුද්ද වෙද්දී මගේ වයස අවුරුදු 21යි. පාසල් කාලෙ ඉඳන්ම රණවිරුවෙක් වෙන්න මගේ හිතේ ගොඩනැගුණු හීනය කරපින්නාගෙන 2007 අවුරුද්දේ මම හමුදාවට බැඳෙන්න කත්නෝරුවේ හමුදා කඳවුරට ගියා. එතැනින් කලැත්තාව පුහුණු මධ්‍යස්ථානයට ගියා. එතැනදී ආයුධ පුහුණුවත් එක්ක අංක 44 මූලික පාඨමාලාවේ පුහුණුව මාස 4ක් හදාරලා 6 වැනි විජයබා රෙජිමේන්තුවට ගියා. එහි මාස 8ක් පමණ හිටියට පස්සෙ 4 වැනි විජයබා පාබළ රෙජිමේන්තුවට මාරුවක් අරගෙන ගියා.’’  

 

 


නිල ඇඳුම ඇඳගෙන ආයුදය අතට ගත් චමින්දගේ හදවතට අමුතු ජවයක් ගලාගෙන ආවේය. බිය, චකිතය වෙනුවට ආත්ම විශ්වාසය ඒ හදවතේ ගොඩනැගුණේය. සතුරු බලමුළු විනාශ කර රටට සාමය රැගෙන ඒමේ ඉලක්කය තුළ ඔහු අතරමං වූයේය. ඒ ඉලක්කය තුළ එකම යුද බිමක යුද වදින දහසක් විරුවන් අතරේ ඔහුද සතුරු ඉලක්ක හඹා ගියේය.  
‘‘මුලින්ම මගේ සටන් බිම වුණේ වව්නියාවේ කල්මඩු කියන ප්‍රදේශය. කල්මඩු ඉඳන් පුදුකුඩුඉරිප්පු දක්වා කැලෑ පෙදෙසක් ඔස්සේ සටන් වලට එකතු වුණා. බය කියන නාමයක් මගේ හිතට ආවෙ නෑ. ලොකු උද්​ෙ‌යා්ගයකින් මගෙ හිත පිරිලා තිබුණා. 58 වැනි සේනාංකයේ ශවේන්ද්‍ර මහත්මයාගෙ අණ යටතේ දිගටම සතුරාට පහර දීගෙන ඉදිරියටම ගියා.  
යුදබිමට බැස්සම දවස් 6-7 එකම බූට් දෙක දාගෙන සටන් කරලා තමයි කඳවුරට එන්නෙ. කකුල් හොඳටම තැම්බෙනවා. කිලිනොච්චි සටන්වලදී මට කහඋණ හැදිලා තියෙද්දිත් සටන් කළා.   


යුද බිමේදී සතුරාගේ හැම පුංචි ඉරියව්වක් හැසිරීමක් ගැනම අප ඉතාම අවධානෙන් ඉන්න ඕනෙ. අප අටදෙනෙක්ගෙන් විතර හැදුණු කුඩා කණ්ඩායම් විදියට තමයි සතුරාට පහර දෙන්නෙ. අව්ව, වැස්ස මේවා අපිට ගාණක් නෑ. මල්ලාවි ප්‍රදේශයේ සටන්වලදී ගංවතුරට පාරවල් යට වුණාම ගිය පාර ආයේ හොයාගෙන එන්න බෑ. යනකොට කැඩුණු යුද අගල් එනකොට ගංවතුර නිසා පේන්නෙ නෑ. ඒ මදිවට සතුරා විශාල ගස් පාර හරහා කපලා දාලා වැස්සට ක්‍ෂණිකව අඩි 5-6ක් යටවෙනවා. පුදුම දුෂ්කරතා විඳගෙන තමයි අපි සතුරන් විනාශ කරන්නේ.  


සමහර අවස්ථාවල අපිත් එක්ක එකම පවුලේ සහෝදරයො වගේ දුක බෙදාගත්ත හොඳම යාළුවත් සතුරාගෙ වෙඩි පහරින් අපි ඉදිරියේම මිය යන එක විතර දරාගන්න බැරි දුකක් තවත් නෑ. ඉහළ නිලධාරින්ගෙ සෙට් වලින් ඒ අය මැරුණා කියන පණිවිඩය අපේ කනට ඇහුණම පුදුම මොරාල් එකක් එන්නෙ.  


ඔහු කතාකරන අතරතුර කල්පනාවකට වැටෙයි. යුද්ධයේ අමිහිරි අත්දැකීම් අතරේ දෝලනය වන හිත පෑරෙන වග නොසගවාම යළිත් හඬ අවදි කරයි.  


නිතරම ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සටන් වදින නිසා අවදානම වැඩියි. මරණය පෙනි පෙනී සටන් වැදුණට මරණය ගැන හිතන්නේ නෑ සටනට බැස්සට පස්සෙ. කිලිනොච්චිය සටන් කෙරුණේ බොහෝ විට නගරබදවයි. ගොඩනැගිලිවලට මුවා වෙමින් තමයි සටන් වැදුණේ. කැලෑ සටන් වලට වඩා එහෙම එළිමහනේ කෙරෙන සටන් වල අවදානම වැඩියි. වෙඩි ප්‍රහාර නිසා තාප්ප කඩාගෙන වැටෙන වෙලාවල් තියෙනවා. ඊට අමතරව නිතරම අපි සතුරාට නිරාවරණ වෙනවා. නමුත් ඉතින් යුද්ධයේ ස්වභාවය ඕක තමයි. අවස්ථාව අනුව සටන්වලට මුහුණ දෙන්න අපට සිද්ධ වෙනවා. 


වෙලාවකට මහ වැස්සෙ යුද්ධ කරද්දී සපත්තු ඇතුළේ වතුර පිරෙනවා. කකුල් තැම්බෙනවා. වතුර ගහින් අවි ආයුද සුද්ධ කරන්නත් වෙනවා. අනෙක මහ වැස්සේ සතුරා ළඟට එනකම් හොයාගන්න බෑ.  


පුදුකුඩුඉරිප්පු සටන් කෙරුනේ ගම්මානයේ. නමුත් සිවිල් ජනතාව හිටියේ නෑ. දවස් දෙක තුන සටන් අල්ලගෙන හිටියා. ගම ඇල්ලුවට ටවුම අල්ලගන්න සතුරා ඉඩ දෙන්නෙ නෑ. සමහර වෙලාවට බඩගින්න ගොඩක් දරාගන්නත් වෙනවා. ඇට වර්ග එක්ක කෑම පැකට් තමයි අපට බොහෝ විට ලැබෙන්නෙ. දත් මැදගන්න, රැවුල කපාගන්න නෑ. වැස්සට තෙමෙනවා අව්වට වේළෙනවා. සටනට බැස්සම නිමාවක් දකිනා තුරු සටනේම තමයි. දරුණු සටන් වලට ගියාම ඉතින් ගෙදර මතක් වෙන්නෙත් නෑ.  
ඔහුගේ දිවියේ අවාසනාවන්තම දවස උදාවූයේ පුදුකුඩුඉරිප්පු සටන් බිමේ යුද වදිමින් සිටියදීය. දෛවෝපගතව ඔහු සතුරාගේ ඉලක්කයට ගොදුරු වී ඔහුගේ එක් කකුලක් ඔහුට අහිමි වූයේය.  


පුදුකුඩුඉරුප්පුවල හිමිදිරි පාන්දර 4.00 විතර ඉඳන් පස්වරු 1.00 විතර වෙනකම් දරුණු සටන් ඇවිළුණා. සටන අත්නොහැරම අපි අල්ලගෙන හිටියා. චිත්ත ධෛර්ය වැඩි කරගෙන සහෝදර රණවිරුවා එක්ක සතුරාට අඛණ්ඩව වෙඩි ප්‍රහාර එල්ල කළා. ඉහළ නිලධාරීන් අපට පුදුම ශක්තියක් දුන්නා.   


අවසානයේ මම සටන් වැදුණෙ සතුරාට මීටර් 20ක් වගේ සමීපව ඉඳගෙනයි. එක පාරටම සතුරු වෙඩි උණ්ඩයක් මගේ දකුණු කකුලේ දණහිසට පහළින් වැදුණා. මම හිටියේ බොහොම විවෘත භූමියක. වෙඩි පහරත් එක්ක මම බිම ඇදගෙන වැටුණා. ඒත් සතුරාගෙන් ආරක්‍ෂිතව මම බඩගාගෙන ඉදිරියේ තිබුණු ගහක් යටට යන්න උත්සාහ කළා. සතුරු වෙඩි ප්‍රහාර නතර වුණේම නෑ.   

 

 


මම ගහයට තරමක් ආරක්‍ෂිතව ඉඳගෙන කකුල උස්සන්න හැදුවට කකුල කඩාගෙන වැටුණා. විනාඩි දහයකින් විතර වෛද්‍ය බළකායේ අය මගේ කකුල වෙළලා ලේ ගලන එක තරමක් දුරට නවත්තලා මූලික ප්‍රතිකාර දීලා කිලෝමීටර් ගාණක් දුරින් ට්‍රැක්ටරයක මාව දාගෙන රෝහලට ගෙනාවා. ඉන්පස්සෙ රාගම රණවිරු සෙවණේ වැඩිදුර ප්‍රතිකාර ලබනවා. ව්‍යායාම් කරනවා. ශාරීරික, මානසික ශක්තිය වර්ධනය කරගන්න මෙතනින් මට විශාල පිටිවහලක් ලැබෙනවා. 

 
සිද්ධ වුණු කිසි දෙයක් ගැන මම අදටත් තැවෙන්නෙ නෑ. 2008 වසරේදී මම විවාහ වෙලා මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාලා පසුගිය යුද ජයග්‍රහණයේ 11 වැනි සංවත්සරය ගැන රූපවාහිනියෙන් පෙන්වද්දී මගෙන් සටන් ගැන හරස් ප්‍රශ්න අහනවා. මගේ යුද අත්දැකීම් ගැන අහනවා. නමුත් එයාලට සතුටින් ඉන්න රටක් ඉතුරු කරලා දෙන්න අපට පුළුවන් වීම ගැන ඇත්තටම හිතට දැනෙන්නේ විශාල සතුටක්. 

 

සටහන - දුෂ්‍යන්ත කුමාර