එළි පෙහෙළි කොට ඇති විල්පත්තු පරිවාර රක්ෂිත ප්‍රදේශ 

 

 

උතුරු පළාතට මායිම්ව පිහිටා ඇති විල්පත්තු රක්ෂිතය පිළිබඳ කලක සිට මැවෙන්නේ යහපත් පුවත් නම් නොවේ. කෙසේ වෙතත් මෙහි අහිතකර ප්‍රතිඵල නම් මේ වන විට උතුරු පළාතේ මිනිසුන්ට මෙන්ම මිනිසුන්ගේ අමනකම් නිසා සතුන්ටද අත්විඳීමට සිදුව තිබේ. ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාට අනුව උතුරු පළාතේ පානීය ජලය හිඟකමින් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව එක්ලක්ෂ අසූපන්දහසකට ආසන්නය.   


කෙසේ වෙතත් දේශපාලකයින්ගේ නම් ඈදුණු විල්පත්තු පරිවාර රක්ෂිත ප්‍රදේශ විනාශය සිදුවී අවසන්ය. එහි අයහපත් ප්‍රතිඵල එක් ජනවර්ගයකට සීමාවී නොමැත. ඒ අනුව උතුරට ස්වභාවධර්මය විසින් පාඩම් කියා දීමට පටන් ගෙන ඇති බවක් පෙනේ. එය මේ වන විට උතුරු පළාතේ ඇති දැඩි නියඟයෙන් මනාව පෙනී යයි. උතුරේ වැව් සිඳී ගොස් තිබේ. යාපනයේ භූගත ජල මට්ටම අඩු වෙමින් පවතින බව පාර්ශ්ව රැසකින් පෙන්වා දෙයි. 


විල්පත්තු මහා වන විනාශය නම් සුළු පටු නොවේ. මෙය මෙරට ඉතිහාසයේ දැවැන්තම පාරිසරික සංහාරවලින් ප්‍රමුඛ ස්ථානය ගන්නවාට සැකයක් නැත. විල්පත්තු රක්ෂිතයේ පරිවාර වනාන්තර රාශියක තිබූ මහා රූස්ස ගස් අද වන විට අවසන් ගමන් ගොස් ඇත්තේ මිහිමඩළට දශක ගණන් තම අමිල මෙහෙවර ඉටු කොට මිනිස් වෙසින් සිටින නොමිනිසුන්ගේ අමන බවේ උච්චතම ප්‍රතිඵලයක් ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව නම් විල්පත්තු රක්ෂිතය අක්කර 2100 ක් පමණ මේ වන විට විනාශ කොට අවසන්ය. 


සුන්දර වනාන්තරය කපා එය අරාබි කාන්තාරයක් කිරීමට නම් අප ඉඩ දිය යුතු නොවේ. එයට ජාති භේදයකින් තොරව එක්ව අත්වැල් බැඳ ගත යුත්තේ සිංහල, දමිළ හා මුස්ලිම් අප සියලු දෙනාට ජන්මය දුන් මෙම භූමියේ උපනූපන් දරුවන්ද ස්වභාවධර්මයේ අධිකරණය වැරදිකරුවන් නොකළ යුතු නිසාවෙනි. 


කරුණු කාරණා කෙසේ වෙතත් විල්පත්තුව කපා අවසන්ය. දැන් ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විමසීමේදී කෝකටත් තෛලය බදු යුද හමුදාව ඊට පෙරමුණ ගෙන සිටී. සතුටු විය හැකි කරුණ නම් මිනිසුන් එක්ව විල්පත්තු රක්ෂිතයේ විනාශ කළ ප්‍රදේශවලට යළි පණ දීමට දැඩි උත්සාහයක නිරත වීමයි. තුරුලිය වෙනුවෙන් අපි යන වැඩසටහන ඔස්සේ යුද හමුදාව මේ වන විට විල්පත්තු රක්ෂිතයේ වන වගාව ආරම්භ කොට තිබේ. 


යුද හමුදාව විල්පත්තුවේ කරන ක්‍රියාදාමය නම් සුළු පටු නොවේ. මෙම ප්‍රදේශවල අතීතයේ ලේ කඳුළු හැළු රණවිරුවන් දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත සිය දහඩිය හෙළන්නේ මේ වන විට විල්පත්තුවේ විනාශ වූ වනයට යළි පණ දීමටයි. වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ උපදෙස්වලට අනුව සිදු කෙරෙන මෙම සත් ක්‍රියාව ඉතිහාස ගත වනු නොඅනුමානය. 


වන්නි ආරක්ෂක සේනා අාඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතා විල්පත්තුවේ වන රෝපණ ක්‍රියාන්විතයේ කැපී පෙනෙන සේවාවක් ඉටු කරනු අපි සියැසින්ම දුටුවෙමු. අධික අව් රශ්මිය මෙම ක්‍රියාවට යුද හමුදා සෙබළුන්ට බාධාවක්ව පවතී. ඔවුන්ගේ දහඩියෙන් තෙත් වූ නිල ඇඳුම එම උදාර මිනිසුන් කරන කැප කිරීමේ තරම අවබෝධ කර දුණි. 
විල්පත්තුව මායිමේ පුදුක්කාඩු, වෙප්පම්කුලම්, මරදමඩු, අල්ලකට්ටු, වෙල්ලිමලෙයි, පල්සොතිකණ්ඩාල්, සිනෙත්නගර්, හුනයිස්නගර්, මරච්චිකඩ්ඩි හා කරඩික්කුලි යන ප්‍රදේශවල මේ වන විට නව ජනාවාස ඇති කොට තිබේ. යුද හමුදාව විසින් මෙම ප්‍රදේශ අතුරින් මේ වන විට පල්සොදිකණ්ඩාල්, සිනත්නගර්, හුනෙයිස්නගර්, මරච්චිකඩ්ඩි හා කරඩිකුලි යන ප්‍රදේශවල වන රෝපණය ආරම්භ කොට තිබේ. 

 

විල්පත්තු රක්ෂිතයේ පැළ සිටුවන රණවිරුවන් 

 

 

 


මෙහිදී හමුදා සෙබළුන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුව දැඩි වියළි කාලගුණික තත්ත්වයයි. මෙම ප්‍රදේශවල අලුතින් පැළ සිටුවීමේදී ඒවා දින කීපයකින් විනාශ වී යෑමට තරම් දැඩි හිරු රශ්මියක් මෙම ප්‍රදේශවලට පතිත වෙයි. යුද හමුදාව ඊට ඔවුන්ගේම ක්‍රමවේදයක් සකස් කොට තිබේ. ඒ අනුව සෑම පැළයකටම ඉවත ලන ප්ලාස්ටික් බෝලයක ජලය පුරවා එහි කුඩා තිරයක් මගින් පැළයට ජල බිංදු ලැබෙන සේ සකස් කොට තිබේ. කෙසේ වෙතත් මෙම දහස් ගණනක් පැළවලට ජලය උදේ සවස මෙම සෙබළුන් සපයනු ලබන්නේ සමස්ත රටේම මිනිසුන් අනාගතයේදී ගෙවිය යුතු වන්දි මෙම සෙබළුන් විසින් පියවන්නාක් මෙනි. 


මෙම විල්පත්තුවට පණදීමේ ක්‍රියාන්විතයේ කැපී පෙනෙන උදාරතර සේවයක් සිදු කරනු ලබන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතා විල්පත්තුව පැළ රෝපණ අවස්ථාවකදී මෙසේ අදහස් දැක්වීය. 


‘‘අපි විල්පත්තුව යළි රෝපණය කිරීමේ කටයුතුවලට මැදිහත් වුණේ මෙය තිරසාර ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින්. යුද විජයග්‍රහණයට සමගාමීව අපි විල්පත්තුවේ අපට අහිමි වූ වනය රෝපණය කිරීමට පියවර ගනු ලැබුවා. විල්පත්තු වනාන්තරය තිබුණු ආකාරයටම ස්ථාපිත කරනකම් අපි මේ ව්‍යාපෘතිය සමග ඉන්නවා. 
වන්නි ආරක්ෂක සේනා අාඥාපතිතුමන්ට මෙම මෙහෙවර සඳහා සිය දායකත්වය නොඅඩුව ලබා දෙන 542 වන බළසේනාධිපති කර්නල් රවී හේරත් මහතා මෙම විල්පත්තු වන වගා ක්‍රියාන්විතයේදී සිය දායකත්වය ඉහළින්ම ලබා දෙනු ලබයි. ඔහුගේ මෙම කැප කිරීම් හමුවේ පණ අදින විල්පත්තුව සුවපත් කිරීමට හැකි වේවායි ශ්‍රී ලාංකික අපගේ පැතුමයි. 
විල්පත්තුව රක්ෂිතයේ පරිවාර වනාන්තර ප්‍රදේශවල මේ වන විට අක්කර 76 ක පැළ 8000 ක් පමණ යුද හමුදා සෙබළුන් විසින් මේ වන විට රෝපණය කර තිබේ. මෙම පැළ වසර පහක් යනතුරු නඩත්තු කිරීමෙන් අනතුරුව යළිත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීම මෙම සෙබළුන්ගේ අභිප්‍රායයි. 


මෙම ප්‍රදේශයේ වන රෝපණය කිරීමේදී යුද හමුදා සෙබළුන් මුහුණ දෙන අභියෝග රැසක් පවතී. ඒ අනුව ශුෂ්ක කලාපයට අයත් මෙම ප්‍රදේශයට වසරකට එක් මෝසම් වර්ෂාවක් පමණක් ලැබෙන අතර ඔක්තෝබර් දෙවන සතියේ සිට ජනවාරි තුන් වන සතිය දක්වා සෑම වසරකම වර්ෂාව පතිත වෙයි. මෙයද බොහෝ විට වෙනස් විය හැකි අතර වැඩි කාලයක් පවතින්නේ දැඩි වියළි කාලගුණික තත්ත්වයකි. ඒ අනුව මෙම පැළ සඳහා ජලය සැපයීම වන රෝපණය කරන සෙබළුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. 


මේ වන විට යුද හමුදාව පැළ 20,000 ක පමණ තවානක් නඩත්තු කරමින් එම පැළ විල්පත්තුවේ රෝපණය කිරීමට අපේක්ෂාවෙන් සිටී. එම සෙබළුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ තවත් අක්කර 270 ක පැළ රෝපණය කිරීමයි. මෙම ප්‍රදේශවලට ආවේණික ශාක විශේෂ කීපයක් තිබේ. ඒ අනුව මීක්, කොහොඹ, වීර, පලු, දිවුල් හා දම් යන ගස් හා දිය කඩිති ආශ්‍රිතව කුඹුක් වැනි ශාක මෙම ප්‍රදේශවලට ආවේණික ප්‍රධාන ශාක විශේෂ වෙයි. 


මෙම ප්‍රදේශවල වන අලින් නිරන්තරයෙන් සැරිසැරුවද එම සතුන්ට වඩා මෙම පැළ රෝපණයේදී වැඩි හානියක් සිදු වන්නේ රක්ෂිත ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ එළුවන් හා ගවයින්ගෙනි. එම සත්වයින් නිදැල්ලේ හැර දැමීම නිසා මෙම පැළ නිරන්තරයෙන් විනාශ කර දමනු ලබයි. මෙම අභියෝග සියල්ල මැද්දේ යුද හමුදා සෙබළුන්ට මෙම පැළ සිටුවීම සිදු කිරීමට සිදුව තිබේ. 


මෙහිදී විල්පත්තුවේ පරිවාර වනාන්තර යළි රෝපණය කිරීම සඳහා යුද හමුදාවන්ට මෙම පැළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටු කම්බි කොන්ක්‍රීට් කණු හා සිමෙන්ති මෙන්ම ජලය සැපයීම සඳහා අඟල් 1 හා අඟල් භාගයේ පී.වී.සී. බට අවශ්‍ය ටී සොකට් ඒවා ඇලවීම සඳහා අවැසි මැලියම් ආදිය පරිත්‍යාගශීලීන් හට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට භාර දිය හැකි බව යුද හමුදාව පවසයි. 54 වන සේනාංකයේ මූලිකත්වයෙන් 542 වන බළසේනාව 22 වන ගජබා රෙජිමේන්තුව හා 15 වන ගැමුණු හේවා බළඇණිය ආදී සේනාංකවල රණවිරුවෝ මෙම වන රෝපණය හා නඩත්තු කිරීම යන අසීරු ක්‍රියාවේ නිරතව සිටිති. ඔවුන්ට මෙසේ දහස් ගණනක පැළ සඳහා ජලය සැපයීම මහත් දුෂ්කර වී තිබේ. ඔවුන් එය ඉතා අසීරුවෙන් වුවද සිදු කිරීම අගය කළ යුත්තකි. 

 

 


දැඩි හිරු රශ්මිය හා දැඩි සුළං හේතුවෙන් මෙම ක්‍රියාවලියට එල්ල වී ඇති බාධාව සුළුපටු නොවේ. මෙම ප්‍රදේශවල ගස් සිටුවීමේදී ඊට ආවේණික ක්‍රම පවතී. එනම් ගස දෙපස මැටි බඳුන් තබා වළ දමා ඊට ජලය පිරවීමෙන් දින කීපයක් ගසට අවශ්‍ය තෙතමනය රඳවා ගත හැකි වෙයි. ඒ සඳහා අවැසි මැටි බඳුන් ද එම සෙබළුන්ට හිඟයක්ව පවතී. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය හා සම්බන්ධ වෙමින් ඊට දායක විය හැකි පිරිස් සිටී නම් එම මැටි භාජන ලබා දීමද විල්පත්තු පරිවාර වනාන්තරය යළි රෝපණය කිරීමට ලබා දෙන මහගු දායකත්වයකි. යුද හමුදාව සිදු කරනු ලබන මෙම සත්ක්‍රියාවට පරිසරයට ආදරය කරන සැබෑ මනුෂ්‍යයින් ආශිර්වාදය හා ශක්තිය එක්කරනු නොඅනුමානය. එමෙන්ම මෙසේ වනාන්තර විවිධ දේශපාලන නම් ඈදුණු ම්ලේච්ඡ නොමිනිසුන් විසින් විනාශ කරමින් සිටින අතරතුර යාපනයේ සිට හරිත කලාපයක් ස්ථාපිත කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ද දැඩි කැපකිරීමක් සිදු කරනු ලබයි. ඔහුගේ ක්‍රියාදාමයද මෙහිදී අගය කළ යුතු වන්නේය’’. මාධ්‍යවේදීන් සමග අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඔහුගේ අභිප්‍රාය පිළිබඳ අප දැනුම්වත් කළේය. 


එහිදී වත්මන් ආණ්ඩුකාරවරයාට අවැසිව ඇත්තේ යාපනය නුවර ඒ 09 මාර්ගය දෙපස හරිත කලාපයක් ස්ථාපිත කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු කැප වී සිටින අතර මූලික අදියර මේ වන විටත් අරඹා තිබේ.

 

 

 

සටහන හා ඡායාරූප
යාපනය - ප්‍රදීප් කුමාර