නිලධාරිවාදය නිසා කාලයක් තිස්සේ ජීවත් වීමට මහා අරගලයක් කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 25ක පමණ ජනතාවෝ අද දැඩි පීඩනයකට ලක්ව සිටිති.  


ජීවත්වීම සඳහා මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවන් පවා නොමැතිව වුවද තමන් නිලධාරීන්ගේ යකඩ සපත්තුවට පෑගෙමින් සිහසුන දරන අයගේ ජනප්‍රියතාව ආරක්ෂා කිරීම සඳහා දරිද්‍රතාව නමැති මහා පාප කර්මය කරපින්නා ගෙන සිටින බව ඔවුහු කියති.   


වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහපුර ග්‍රාම සේවා වසම ලනාගස්තැන්න ග්‍රාම සේවා වසම, මහවැලි තැන්න, අසේලපුර, මහින්ද‌ාගම නව මැණික්දෙනිය, මහසෙන්පුර, කුරුලු බැද්ද, ෛමත්‍රීගම, කාලිංග ගම ආදී ගම්මානවල ජනතාවගේ හඬ සොයා අපි එහි ගියෙමු. 


උග්‍ර පානීය ජල අර්බුදය මේ දිනවල දැඩි ලෙස දක්නට ඇත. බොහෝ ජනයා තවමත් වැසිකිළි ලෙස භාවිත කරනු ලබන්නේ ලඳු කැලෑය. ඇතැම් නිවාස ආසන්නයේ ඉටිරෙදිවලින් සහ ටකරන් කැබලිවලින් වට ආවරණය කරගත් ඉහළ වහලයත් නොමැති වළ වැසිකිළි අනන්තය. වැසිදාට සහ දැඩි අව්රශ්මිය අවස්ථාවට සිය ශරීරකෘත්‍ය කර ගැනීම සඳහා වහලය වෙනුවට උපකාරී කර ගනු ලබන්නේ කුඩයක් වීම විශේෂත්වයකි. එහෙත් මෙම තිත්ත කතාව ජනගත නොවන්නේ සිහසුන දරන අයට හානියක් වේයැයි රාජ්‍ය නිලධාරීන්ගේ පුහු මතය නිසාවෙනි. 


මෙම අහිංසක ජනතාවගේ අවශ්‍යතාවය සැපිරීම සඳහා යැයි කෝටි ගණනින් වැයකොට ඉදිකොට අැති විශාල ජල ව්‍යාපෘති විවෘත කළත් ඒවා මේ වනවිට සුදු අලි බවට පත්ව හමාරය. වසර ගණනාවක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑ මායිම් ගම්මාන වූ මෙම ප්‍රදේශවල ජනතාවට මේ දිනවල සිදුව ඇත්තේ ද ත්‍රස්ත ප්‍රහාරයට අධික ප්‍රහාරයන් වලට ලක් වීමටය. 


පානීය ජල ප්‍රශ්නය, මාර්ග ප්‍රශ්නය, නිවාස ප්‍රශ්නය, වන අලි ප්‍රශ්නය ආදී පොදු ප්‍රශ්න වලින් බැටකන ජනතාව බොහෝය. එහෙත් මුස්ලිම් ගම්මානවලට විදේශීය ආධාර ලබාගෙන රාජ්‍ය නිලධාරීන්ගේ ද මැදිහත් වීම ඇතිව සෑම නිවසකටම ළිඳ බැගින් හෝ වැසිකිළි සහිත නිවාස ලබාදී තිබේ. සිංහල දමිළ ජනතාව ඒ දෙස බලා හුල්ලා වැටෙමින් සිටින බව එහි ගිය අපට දැක ගැනීමට ලැබිණි. 

 

 


වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලිතැන්න ප්‍රදේශයේ පදිංචි එම්. ජී. නිලන්ති මහත්මිය : “අපි කාලයක් තිස්සේ බොන්න වතුර නැතුව දුක් වින්දා. ජනාධිපතිතුමා ජපානයේ සහයෝගය ඇතිව පසුගිය 2018 ඔක්තෝබර් 27 වැනිදා වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ අපේ ගමට විශාල මුදලක් වියදම් කරලා ජල ටැංකියක් ඉදිකර ගමේ හැමෝටම වතුර දෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. විවෘත කරලා ටික දවසක් වතුරත් එක්ක හුළං ආවා. අපිට ඒ හුළංවලටත් සල්ලි ගෙවන්න කිව්වා. දැන් වතුරත් නෑ හුළනුත් නෑ. මේවා කියන්න කෙනෙක් ඇත්තෙත් නෑ. රජයේ නිලධාරීන්ට කිවුවහම කියනවා ජනාධිපතිතුමාගේ නමට අපකීර්තියක් එකතුවෙන නිසා මේවා කතා කරන්න එපා කියලා. ප්‍රසිද්ධියේ කතා කළාම තියෙන සමෘද්ධියත් අහිමි වේවි කියලා හිතලා අපේ පාඩුවේ අපි ඉන්නවා.” 


එම ගම්මානයේම පදිංචි කේ.ජී.ආර්. නන්දාවතී මහත්මිය :  “අපි යුද්ධයෙන් බැට කාපු මිනිස්සු. දැන් අපේ ගමට හරියට වතුර ටිකක් බොන්න නෑ. හරකෙකුට කන්න තණකොළ ටිකක් නෑ. හැමදාම හවසට අලි ඇවිල්ලා ගෙවල් කඩනවා. බොහෝ දෙනෙකුට අඩුම තරමේ වැසිකිළියක්වත් නෑ. හැබැයි අපේ ගමෙත් ආණ්ඩුවෙන් ගෙවල් හැදුවා. ඒ හදපු ගෙවල් මේ පැත්තෙ පදිංචි අයට නෙවෙයි දුන්නෙ. පිට පදිංචි අයට. ඒ ගෙවල් දැන් වහලා දාලා තියෙනවා. අපි ඒ දිහා බලාගෙන හූල්ලා වැටෙමින් ඉන්නේ.  


ඒ වගේම තමයි මහවැලිතැන්න ප්‍රාථමික විද්‍යාලයේ ළමයි 13 දෙනෙක් ඉගෙන ගන්නවා. එක ගුරුවරයායි ඉන්නේ. අඩුම තරමේ මේ අයට බොන්න වතුර ටිකක් වත් නෑ. ළමයෙකුට වැසිකිළියටවත් ගෙනියන්න වතුර නෑ. ඉස්කෝලෙ මේවා කියන්න කෙනෙකුත් නෑ. ගෙවල් අලි කඩලා දාලා යනවා. ඒවා කියන්න කෙනෙක් නෑ. ප්‍රාදේශීය ලේකම්තුමියට කතා කරන්නත් බෑ. එයා මුස්ලිම් ජාතික කාන්තාවක්. අපිට සලකන්නෙ නෑ. හැබැයි අපේ ගමේ අල්ලපු ගම්මානවල මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. ඒ අයගේ ගම්මානවලට හැම ගෙදරකටම ළිඳක් තියෙනවා. වැසිකිළියක් තියෙනවා. ඒවායේ අරාබි අකුරු තමයි ගහලා තියෙන්නෙ. කොහෙන් දුන්නද කියලා අපි දන්නේ නෑ. අපිට රජයෙන් දීපුවා එහෙමම අතරමග නැවතිලා. ඕක තමයි ඇත්ත. මේවා කතා කළාම ජාතිවාදය අවුස්සනවා කියල කියයි. හැබැයි අපි කියන්නේ ජාතිවාදය අපි නෙවෙයි අවුස්සන්නේ මේ රාජ්‍ය නිලධාරීන්.” 
අසේලපුර ගම්මානයේ ඩී. එම්. අනුලාවතී මහත්මිය 


“අපේ ගමට අඩුම තරමේ බවුසරයකින් වත් වතුර දෙන්නෙ නෑ. අනිත් ගම්වලට නං සතියට දවසක් දෙකක් හරි බවුසර්වලින් බෙදෙනවා. මොකද අපේ ගමේ ඉන්නේ ඔක්කොම සිංහල මිනිස්සු. අපේ ගමේ කෙළවර දෙමළ ජනතාව ඉන්න ගමකුත් තියෙනවා. ඒ අයත් මේ විදිහටම දුක් විඳිනවා. නළ ළිඳක් ගහපු එකක් තියෙනවා. ගොඩක් පරණයි. එ්කෙ තනිකරම මලකඩ එන්නේ. වතුර ටිකක් කටටවත් ගන්න බෑ. ඒ නිසා එක අතෑරලා තියෙන්නේ. කිලෝමීටර් දෙක තුන අපේ අය වතුර හොයාගෙන යනවා. 

 

 


මේ දවස්වල වතුර නැතුව හොඳටම අමාරුයි. ඒ වගේම තමයි තුන්වේල කන්න අපිට ආදායමක් නෑ. තියෙන වී ඇටෙන් කැඳ හරි බීලා ඉන්න තමයි අපි බලන්නේ. අපේ දුක හොයලා බලන්න කිසිම කෙනෙක් එන්නෙත් නෑ. මාධ්‍යයකින් කියලා ආව පළවෙනි වතාව තමයි මේ. අපේ ගමේ විතරක් පවුල් 500කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. 


අසේලපුර, මහින්දාගම, නව මැණික්දෙනිය, මහසෙන්පුර, කුරුලුබැද්ද, මෛත්‍රීගම, කාලිංග ගම මේ ඔක්කොමල එකම දුක විඳින්නේ.”


මහින්දාගම පදිංචි ඒ. ඒ. ගුණරත්න මහතා : “අපේ ගම්මානයේ අය වතුර බොන්නේ ඇළවල්වලින්. ගමේ හැමතැනම හැම ගෙදරකම වගේ වකුගඩු රෝගියෙක් ඉන්නවා දැක්කහම පුදුමාකාර දුකක් හිතෙන්නේ. දවසින් දවස එක එකා මැරි මැරී යනවා. ඒත් බලධාරීන් අපි ගැන හොයන්නෙ නෑ. යුද්ධයෙන් බැටකාපු අපි නියඟයෙන් හැමදාම බැට කනවා. රාජ්‍ය නිලධාරීන්ගෙන් බැට කනවා. ඒත් කවුරුත් හොයල​​ා බලන්න කෙනෙක් නෑ. අපිම ඡන්දෙ දීලා තමයි එතුමා ජනාධිපති කළේ. දැන් බොහෝ නිලධාරීන් මේ ඇත්ත කතාව ජනාධිපතිතුමාට කියන්න අකමැති. මොකද ඒ අයගේ ඇත්ත කතාව එළියට එයි කියලා. ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමාට රජයේ නිලධාරීන්ට කියන්නෙ නැතුව හොරෙන් අපේ ගම්වලට ඇවිල්ලා බලන්න. අපි විඳින දුක රජයේ නිලධාරීන්ට කිව්වම ජනාධිපතිතුමා එනකොට පාරවල් හදලා සුදු වැලි අතුරලා කැටගල් අල්ලලා එක රැයකින් සුරපුරයක් කරලා පෙන්නලා තමයි ගෙන්නන්නේ. හැබැයි එතුමා ගිය ගමන් ඒ හට් ඔක්කොම ගලවලා පාරවල් අයින් කරලා දාපුහාම ආපහු හිටිය වගේමයි. මේක තමයි ඇත්ත කතාව.” 
අපි මේ ප්‍රශ්න සියල්ල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එම්.එම්. හයිරූම් නිශා මහත්මියට යොමු කළා. ඇය ඊට මෙසේ ප්‍රතිචාර දැක්වූවාය. 
“මේ දිනවල නියඟය තදින්ම අපිට බලපානවා. පොළවේ වතුර අඩුයි. ඒ නිසා ප්‍රාදේශීය සභාවත් එක්ක එකතුවෙලා තියෙන වතුර ටික ප්‍රදේශයේ ගම්මානවලට බෙදලා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යනවා. වතුර ‍ප්‍රමාණවත් මදි කියල අපිට තේරෙනවා. සමහරවිට තව ටික දවසක් යනකොට ගල්ලෑල්ල ප්‍රදේශයෙන් වතුර ගේන්න වෙන්නේ. මේක අදක ඊයෙක තියෙන ගැටලුවක් නොවෙයි. 


වැසිකිළි නොමැති කතාව ඇත්තක්. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මම හිතන්නේ පවුල් 5000කට වැඩිය ඉන්නවා වැසිකිළි නැතුව. අපිට වෙනත් ආධාර හරි ලැබුණොත් අපි ලබාදෙනවා. එහෙම වැඩපිළිවෙළක් යටතේ වැසිකිළි හදලා දීලාත් තියෙනවා.

 

 


මුස්ලිම් ගම්මානවල වැසිකිළි සහ ළිඳ හදලා දීලා තියෙනවා. ඒක ඇත්ත. ඒවා අපි මැදිහත් වෙලා කරපුවා නොවෙයි. වෙනත් රටවල විවිධ සංවිධානවලින් තමයි ඒවා හදලා දීල තියෙන්නේ. අපිට දැනුම් දෙන්නේවත් නැතුව තමයි කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ව්‍යාපෘති මම නවත්තන්න කියලා දැනුම් දීලා තියෙනවා. මොකද ඉදිරියට මේ වගේ ව්‍යාපෘති එනවනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහවැලිය යටතේ ක්‍රියාත්මක විය යුතුයි කියලා මම දැනුම් දුන්නා.


එවැනි අසාධාරණකම් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. දැනට සිංහපුර ක්‍රියාත්මක වෙන වතුර ව්‍යාපෘතිය අතරමග නැවතිලා තියෙන්නෙ පොළොවෙ වතුර නැති නිසා. හැබැයි ඒකට කෝටි ගාණක මුදලක් වියදම් කළා. වතුර නැතුව වේළෙනවා කියලා මම දැනගෙන හිටියෙ නෑ. ඒ පිළිබඳව වෙනම කණ්ඩායමකට පරිපාලනය දීලා තියෙන්නෙ. මම ඒ අය සමග කතා කරලා ඒකට විසඳුමක් දෙන්න බලනවා. වන අලි ප්‍රශ්නය ඒ වගේම තියෙනවා. හැබැයි ඔය ප්‍රදේශය සංවර්ධනය කරන්න විශාල මුදලක් රජය වියදම් කරලා තියෙනවා. පාරවල් ඇළවේලි ආදී පොදු සංවර්ධන ව්‍යාපෘතිවලට. ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන ප්‍රශ්නත් නැතිවම නොවෙයි.”

 

 

ඡායාරූප හා සටහන :
දඹුල්ල කාංචන කුමාර ආරියදාස