(කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය)
රජරට පළාතේ ගමක ජීවත් වූ මැදිවිය ඉක්මවා සිටි සදානන්දට සීනි අමාරුව තදින්ම වැළඳී තිබුණි. දොස්තර මහතා ඔහුට උපදෙස් දී තිබුණේ පැණි රස නොකන ලෙසටය. එහෙත් සදානන්ද පැනි රස කෑමට දැක්වූයේ බලවත් ගිජුකමකි. බිරිඳ ඇතුළු දරුවන්ට සදානන්දගේ පුරුද්ද කරදරයක් වී තිබුණි. සෑම දිනකම රාත්‍රී කෑමෙන් පසු ගෙදර අයට හොරෙන් සීනි බෝතලයෙන් භාගයක්ම ඔහු හිස් කළේය.


මේ නිසා දවසින් දවස සීනි බෝතලය එක එක තැන්වල හංගා තැබීමට නිවැසියන්ට සිදුවිය. 


එහෙත් සීනි හොරාට ගණ දෙවි නුවණ තිබූ නිසා උදේ බලනවිට සීනි භාගයක් අතුරුදන්වී ඇති බව දැනගත් නිවැසියන් කළ යුතු කුමක්දැයි සිතන්නට විය.


එදින රාත්‍රී ආහාරයෙන් පසුව අඹු දරුවෝ සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියහ. සදානන්ද කුස්සියේ තනිවී සිටි නමුත් ඔහුගේ දෑස් ඒ මේ අත විමසුම් බැලුම් හෙලන වග දරුවෝ දනිති. ගත වූයේ නිමේෂයකි. සදානන්ද කාරමින් වමනය දමන්නට මෙන් ඔක්කාරය කරමින් හඬ නඟා බිරිඳට කතා කළේය. අඹු දරුවෝ වහා කුස්සියට ගියහ. සදානන්ද ඉතා අසරණව මෙලෙස කීවේය.


උඹල සීනි බෝතලේට ලුණු කුඩු පුරවලා මට අද සීනි එපා කෙරෙව්වා. කට හාරාගෙන යනවා. ආයෙත් නම් සීනි ඇටයක් කටේ තියන්නේ නෑ. අම්මපා.


සියල්ලොම සිනහවෙමින් තම උපක්‍රමය සාර්ථක වූ නිසා සීනි හොරා ගේ සීනි අසනීපය ගැන ඉන්පසු බිය නොවූහ.