රෝද හතර කැරකෙනවානම් ඕනෑම වාහනයක නැගී ඕනෑම  තැනක යාමට කැමැති වැඩි හිටියෙකි. ඇඟේ  කමිසයක් වත් නොමැතිව පාර අයිනට වී සිටි ඔහු රවටාගෙන  අනුරාධපුරය දක්වා රැගෙන යාමේ පුවතක් වාර්තා වෙයි.


විහිලුවට බර පුතෙකි. නවීන  පන්නයේ මෝටර් රියක්ද හිමිය. ඔහු ගමනක යෙදී සිටියදි ඥාතිත්වයෙන් මාමා කෙනෙකු පාර අයිනේ ඉන්නවා දුටුවේය. මේ මාමා වාහනවල ගමනට  මහත් රුචිකත්වයක් දක්වන බව බෑණා දැන සිටියේය. මාමා සරමෙන් පමණක් සැරසී සිටියේ නිවස ආසන්නයේ බැවිනි. මාමා දුටු  බෑණා රිය නතර  කළේය. ඉදිරි අසුනේ දොර විවර කළේය. “මාමේ ගොඩවෙන්නකෝ ළඟකට ගිහින් එන්න” බෑණා කීවේ මහත් ලෙන්ගතු කමිනි.


 “මම කමිසයක් දාගෙන එන්නම් කී මාමා නිවස දෙසට යන්නට හැරුණත් ඉක්මනට එනවානේ ඔහොමම එන්නැයි” බෑණා කීවේ කිසිවක් හිතේ සඟවාගෙනය. ඔහු වාහනයට ගොඩ වුවේය. රිය අලව්ව දෙසට ගියේය. බෝයවලාන පසු කරද්දී “පුතේ කොහාටද යන්නේයි ” මාමා ඇසුවේ සැකයක් දැනුන නිසාවෙනි.


 “අපි ආ එකේ අලව්වට ගිහින් එමු.” පුතා කීය. දැන් රිය අලව්ව පසුකර පොතුහැර දෙසට යයි. “දැන් කොහේ යනවාද” මාමා යළි  විමසීය. කුරුණෑගලට ගිහින් එමුකෝ යි පැවසීමත් සමග තමන් බෑණාගේ ගැටයකට අසුවූ බව මාමාට තේරුම් ගියේය. එතැන්  සිට මාමා සිටියේ නිහඬවමය. පැය තුනක ගමනකින් පසු රිය නතර කළේ රජරට කඳවුරක් සමීපයේය.


 “මාමේ මම කෑම්ප් එකට ගිහින් එන්නම් මාමාට කමිසයක් නැතිව කෑම්ප් එකට යන  එක හරි නෑනේ. මාමා බස් හෝල්ට් එකේ නතර වෙලා ඉන්න. පුතා කීවේ ඇඟට පතට නොදැනෙන  ලෙසය.


 මාමා බස් හෝල්ට් එකට ගොඩ වී   එහි වාඩි ගත්තේය අනුන්ගේ වාහන දකින දකින ගානේ ඒවාට නගින තමාට හොඳ පාඩමක් බව සිතමිනි. තවත් පැයකින් පමණ රියට ගොඩවූ මාමා යළි ගමට එන තුරාවටම පුතා සමග වචනයක්වත්  කතා නොකළේය.


ගමට ආපසු රියෙන් බැස්සේ පුතේ ස්තුතියි කියමිනි. දැන් මාමා කෑම්ප් එකට ගියා වගෙයි” අසල්වැසියෝ කීවොත් මාමාට යකා නගින්නේය. 
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)