(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කලකට පසු නැගණියගේ ගෙදර ආ අවස්ථාවේ ඇගේ නිවෙස සොයා ගැනීමට නොහැකිව පැය තුන හතරක් තිස්සේ ඒ මේ අත  ත්‍රිරෝද  රිය පදවමින් නිවෙස සෙවූ  අයියණ්ඩියක පිළිබඳව පසුගියදා වාර්තාවිය.


නැගණියගේ විවාහය සිදුවූයේ සැතපුම් හත අටක් දුරින් වූ තරුණයකු සමගය. නැගණියට සහෝදරයෙක් වූයේය. මේ මස්සිනාලා දෙපළද ඉතා කුලු‍පග මිතුරන්සේය. දෙදෙනා නිතර නගරයේදී හමුවී සතුටු සාමීචියෙන් කල් ගත කරමින් මධුවිත තොල ගාන්නේ පවුලේ අයට හොර රහසේය. 


ඒ නිසාම මස්සිනාලා නිවසේදී හමුවන්නේ කලාතුරකිනි. නැගණියගේ නිවසේදී මේ දෙන්නා අවසන් වරට හමුවූයේ ගිය වසරේ අග භාගයේ දිනකය. ඉන්පසු දෙදෙනා හමුවීමේ අවස්ථාව ගිලිහී ගියේ කොරෝනා පැමිණීමත් සමගය. නැගණියගේ නිවෙස අවට පරිසරය තිබුණේ ඉතා අපිළිවෙළකටය. නිවෙස ඉදිරිපිටම මඩ වළකි. අවට ගස් කොළන් පිරිලාය. ඒවාද අපිළිවෙළය.


තත්ත්වය මොනවා වුවත් කොරෝනා පැමිණීමත් සමග නිවෙසටම කොටුවූ නැගණියගේ සැමියා වත්ත පිටිය එළි පෙහෙලි කළේය.  වැට සැකසීය ගේට්ටුවක්ද සවි කළේය. දැන් මනරම් උයනක සිරි ගෙන දෙන නිවසක් බවට පත්ව අවසානය. 


ඉකුත් දිනක නැගණියට කතා කළ අයියා ‘නංගී මම අද ඔය පැත්තේ එනවා මල්ලීට කියන්න ටිකක් රෑවෙයි’ පැවසුවේ හවස් වරුවේය. සැමියා ආ විගස අයියාගේ පැමිණීම ගැන දැනුම් දුන්නේ මහත් සොම්නසිනි.  දෙදිනකට පෙර නගරයේදී හමුවීමෙන් පසු කළ කතාබහක ප්‍රතිපලයක් බව දන්නා සැමියා ඇත්තදැයි විමසුවේ කිසිත් නොදන්නා ගානටය.


රාත්‍රි හත අට පසුවිය. අයියා නැත.  මස්සිනාගේ පැමිණීම බලමින් සිටින සැමියා කණගාටුවෙන් පසුවේ. වේලාව රාත්‍රි නවයද පසුවිය. තවමත් නැත. අයියා කිව්වේ ටිකක් රෑ වෙයි කියලනේ තව ටිකක් බලමු බිරිඳ පැවසුවේ වෙන කළ හැකි දෙයක් නැති තැනය. රාත්‍රි දහයේ කණිසමද ගෙවී ගියේය. දැන් වේලාව රෑ එකොළහට දහයකි. 


කරන්නට දෙයක් නැති තැන මස්සිනාට ඇමතුමක් ගෙන අයියේ තවම පරක්කු ඇයි’ දැයි විමසීය. අනේ මල්ලීයේ  මම අටට විතර ආවා. ගේ හොයාගන්න බැරිවුණා. ‘මම මේ පාර දිගේ එහාට මෙහොට දහ දොළොස් පාරක් ගියා. කියන්න ලැජ්ජා නිසයි නොකියා හිටියේ’ ඔහු කියාගෙන ගියේය.  ‘අයියා එන්න මම පාර අයිනේ ඉන්නම්’ කී මස්සිනා බිරියද සමග පාරට ගියේ කඩිනමිනි.


වේගයෙන් ආ ත්‍රීරෝදය නතර කෙරිණි. මම මෙතන කී පාරක් නතර කළාද. අඳුන ගන්න බැරිවුනානේ. මෙතන මොන තරම් වෙනසක් වෙලාද අනේ මට වෙච්ච දේ. කී මස්සිනා නැගණියගේ නිවසට ගොඩවූයේ දැඩි හෙම්බත්කමින් යුතුවය.