IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා බෞද්ධ විශ්ව විද්‍යාලයේ නවකවදය

හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දෙස රටේම අවධානය යොමුවී තිබේ. මීට පෙර අවධානය යොමුවී තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය දෙසටය. ඒ මැර සිසු පිරිසකගේ ප්‍රහාරයට එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා හා ඔහුගේ පුත්‍රයා  ලක්වීමත් සමගය.

හිටපු උපකුලපතිවරයා පවසන්නේ එසේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය රැගෙන  සිටි බවට තමන්ට සැක සිතෙන බවය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ද ඇසෙන්නේ ඒ හා  සමාන හා එයටත් වැඩි කාරණය. බෞද්ධයන් පමණක් නොව ඕනෑම ආගමක් අදහන මිනිසකු එම තොරතුරුවලින්  අපමණ ලෙස කම්පාවට පත්වනු නියතය.

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර කාරණා සමාජය ඉදිරිපිටට නිරාවරණය වන්නේ නවකවද සිදුවීමත් සමගය. නවකවදයට ලක්වූ බව කියන පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පවසන්නේ තමන් ඉතා නිර්දය ලෙසත් තිරශ්චීන ලෙසත් නවක වදයට ලක්වන බවය. අවම මනුෂ්‍ය ගරුත්වය හෝ රැකගෙන ජීවත්විය හැකි වටපිටාවක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නොතිබෙන බවය. ඒවා කරුණෙන් කරුණ ලිවීම ගිහියන්වන අපට ද පිළිකුල් කටයුතුය.

මෙම විශ්වවිද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයෝ මෙන්ම ගිහි ශිෂ්‍යයෝ ද උගෙනුම  ලබති. මෙම විශ්වවිද්‍යාලයට විවිධ මත්පැන් මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය පහසුවෙන් ලැබෙන බවටද ඇතැම් ශිෂ්‍යයෝ කියති. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ විශ්වවිද්‍යාලයෙන් පිටතට එන අධික සංගීත රාව නිසා තමන්ගේ දරුවන්ට පාඩම් කිරීමට පවා නොහැකිවී ඇති බවය.

එම විශ්වවිද්‍යාලයේ උප නේවාසිකාගාර පාලක නක්කලගොඩ යෝගානන්ද  හිමියන් එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්ට ලිඛිතව දන්වා තිබෙන්නේ ‘මේක බුදුන් වඳින්න පන්සලක්ද?’ මේක විශ්වවිද්‍යාලයක් කියලා තොපි දන්නේ නැද්ද? බුදුන් වඳින්න ආවොත් බාවනවා, යැයි පොලු මුගුරු රැගත් සිසුන් කිහිප දෙනකු ප්‍රකාශ කළ බවය. මෙම විශ්වවිද්‍යාලයේ පවතින නවකවද සිද්ධිය හා ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති බවත් නැගෙන චෝදනා සත්‍ය බවත් එය හෙළිකළ යුතු බවත් එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

විශ්වවිද්‍යාලයක් යනු පන්සලක් නොවන බව සත්‍යයකි. එහෙත් එය හැඳින්වෙන්නේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙස හෙයින් සෙසු විශ්වවිද්‍යාල ආකෘතියෙන් මෙම විශ්වවිද්‍යාල වෙනස්විය යුතුය. මෙම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය එනමින් හඳුන්වනු ලැබුව ද ක්ෂිතිජයට ඔබ්බෙන් ලොව දකින විසල් හා පළල් මනසක් නිර්මාණය කර ගත හැකි අධ්‍යයන පරිසරයක් ද සංස්කෘතික පරිසරයක් ද තිබිය යුතුය. දේශපාලන නිදහස ඇතුළු අනෙකුත් මානව හිමිකම් සඳහා නිර්බාධක පරිසරයක් සහිත විය යුතුය. රට ඉල්ලන ගුණවත් නැණවත් නිර්මාණශීලී මිනිසුන් බිහිවන්නේ එබඳු පරිසරයකින්ය. එහෙත් ඒ සියල්ලම භික්ෂු විනයට හා මනුෂ්‍යත්වයට යටත් විය යුතුය.

පාලි හා ​බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා බිහි කිරීම සඳහාය. ඒ සඳහාම වූ විෂය නිර්දේශයක්ද හඳුන්වා දුනි. වෙනත් විශ්වවිද්‍යාලයක මෙන් කැමති විෂයන්  හැදෑරීමේ වරමක් මෙම ශිෂ්‍යයන්ට නැත. ඒ එම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ පරමාර්ථය ඉටු කරගනු පිණිසය.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඇරැඹුණු  මෙම විශ්වවිද්‍යාලයට  පසු කාලයේදී ගිහි පිරිමි ශිෂ්‍යයන්ට ද විවර විය. එය නරකක් නොවේ. දැහැමි බවින් පිරිපුන් තරුණ පරපුරක් එමගින් බිහි කිරීමට  අවශ්‍ය පරිසරය සකස් කළ හැකිය. එහෙත් දැන් වාර්තාවන කරුණු වලින් පැහැදිලි වන්නේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භක අරමුණු වලින් පිට පැන ඇති බවය. ඒ සම්බන්ධ වගකීමක් පාලනාධිකාරිය සතුව ද ඇත.  ප්‍රශ්න පුපුරා යාමට පෙර ඒවා කළමනාකරණය කිරීමට පාලනාධිකාරිය සමත් වූයේ නම් එම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය මෙසේ සමාජය ඉදිරිපිට අභියෝගයකට ලක් වන්නේ නැත. 

මෙම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයක් තිබේ. එහි සභාපති  ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. එමෙන්ම ශිෂ්‍ය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක් ද තිබෙන බවය. එම විශ්වවිද්‍යාලයට එරෙහිව මෙතරම් අපවාදයක් එල්ල වන  ආකාරයට කටයුතු සිද්ධවීම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයද  වගකිව යුතුය.

අපට අවසාන වශයෙන් ලිවීමට තිබෙන්නේ බුදු වදනකි. බුදුරාජණන් වහන්සේ දේශනය කළේ ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යනුවෙනි. එනම් සසුන රැකෙන්නේ විනය තිබෙන තාක් කල් පමණක් බවය. සියල්ලටම ඉහළින් විනය බව එමගින් අවධාරණය කෙරේ.

(***)



අදහස් (3)

ශ්‍රී ලංකා බෞද්ධ විශ්ව විද්‍යාලයේ නවකවදය

බෞද්ධයාම නසන රට..! Friday, 16 December 2022 03:19 PM

පණ ඇති සතුන් පෙන්වා මැරීම... අනුන්ගේ දේ පුලුවන් තරම් සොරකම් කිරීම.. කාමුකව අඩුවයසින්ම රෑ හැසිරීම... පට්ටපල් බොරු අනන්තවත් කීම ... මත්පෙති මත් වතුර නිතරම පාවිච්චි කිරීම.... දිනපතාම නොකඩවාම හැමෝටම පෙනෙන්න කරන තත්වයට පත්වුනු රටකි. අද බුදුදහම ගිලිහී යන ශ්‍රී ලංකාව කියන්නේ..! ලංකාවේ හැම සාදයක්ම අද ඉතා ඉහළින් සමරන්නේ මත්වතුර බිබී පින්තූර ගහලා ඒවා ප්‍රසිද්ධියේ ප්‍රචාර කරමිනි... ගෙදර මරණයක් වුණාම මත්වතුර බොනවා. පේන්නේ නැත්තේ පෙට්ටියේ තියෙන මළසිරුර පමණයි. ඒ වුණාට අද ලංකාවේ අකුරටම අදහන ආගම මුස්ලිම් ආගම බව රටේ අය පවා දනී..! රුපියල් කෝටි ගානක වෙළඳාමක් සිකුරාදා දින මුස්ලිම් කඩේ දොරවහන වෙලාවට ආවත් එම දොර අනිවාර්‍යයෙන්ම පල්ලියට යෑම ප්‍රමුඛත්වය දී වැසේ. එකට අපේ කඩේ පෝය දවසටත් බෝතලේට පිටිපස්ස දොර ඇරේ...! එදා බොද්ධ රටක් වූ ඉන්දුනීසියාව අද බුර්කාව අඳින මුස්ලිම් රටකි. නුදුරු අනාගතයේදීම ලංකාවටත් එසේම වෙයිද කියලා කියන්නට බැරිය... හේතුව පෙළපාලිවල ශිෂ්‍ය භික්‍ෂූ හැසිරීමත් සමහර සිවුර ඇඳගත් අය 'බිස්නස්මන්' වෙලාත් බව රටම දන්න නිසායි.

:       0       50

saththyaaMonday, 19 December 2022 02:56 PM

බුද්ධාගමට කැපවුණු, බුදුදහම හොඳින් හදාරපු බුද්ධ පුත්‍රෙයා් කරන දේවල් දැක්කාම... මොකක්ද මේ ආගමේ ඇති තේරුම..?

:       22       1

ganegoda Saturday, 17 December 2022 10:03 AM

බෞද්ධයින් කියන්නේ... අහංකාර, උද්දච්ච උමතු සමාජ දූෂිතයින් රැළක් නිසා අපි ඕවා ගැන පුදුම වෙන්නේ නැහැ...!

:       35       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site