IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රටට ණය නැති දියණියට ලංකාවාසීන්ගේ ප්‍රණාමය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක් දින ජාත්‍යන්තර තරග අංශයේ ලොව අංක 1 බවට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉකුත්දා සමත් වූවාය. ලෝක සිතියමේ අබැටක් තරමේ පුංචි රටක් වුවද විශ්වයේ මුදුනටම ඒ රට රැගෙන ගොස් ප්‍රමාණය ඉක්මවා ගිය අභිමානයක් රටට දායාද කළ හැඩකාර වමත් පිතිකාරිණි චමරිට ඒපෑ හපන්කම වෙනුවෙන් ලංකාදීපයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු. රටට ණය නැති දියණියක බිහි කළ චමරිගේ  අමරණීය මවුපියන් ද සාඩම්බරයෙන් සිහිපත් කරම්.

ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තිමය තත්ත්වයට පත්ව නැත. අපේ ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේ නියැලෙන්නේ හිතේ හයියෙනි. අතින් වියදම් කරගෙනය.

එය එසේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්වීම ඇදහිය නොහැකි තරමේ විජයග්‍රහණයකි. සැබැවින්ම එය වූ කලී ක්‍රීඩාව වෙනුවෙන් කළ කැපකිරීම්හි අග්‍රගණ්‍ය ප්‍රතිඵලයකි.

වෘත්තීය කාන්තා ක්‍රීඩිකාවක් ඇති නවසීලන්ත කණ්ඩායම මෙහි පැමිණියේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය සිය රටට ගෙන යාමටය. එහෙත් නවසීලන්ත කණ්ඩායම තරග දෙකකදීම පරාජය කරමින් තරගාවලි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවිය. එම තරග ජයග්‍රහණ ඉතිහාසයට එක්වූයේ නවසීලන්ත කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ලෙස  හා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තා වූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසය.

මෙම ඓතිහාසික ජයග්‍රහණය පිටුපස සිටි අයෝමය  ශක්තිය චමරි අතපත්තුය. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව එලව එලවා පහර දී හැඩකාර අගනා වටිනා ශතක දෙකක් වාර්තා කළ චමරි ඒ පෑ දක්ෂකම් වෙනුවෙන් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි යෝධ පිම්මක් පනිමින් අංක එක ස්ථානය ඩැහැ ගත්තාය. ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකරන ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා නාමය අංක 10 සටහන් වූයේ වසර 20කට​ පසුවය. මෙයට පෙර එම හපන්කම පෑ ක්‍රීඩකයන් ඓතිහාසික රෝහණ දේශයෙන් බිහි වූ සනත්  ටෙරාන් ජයසූරිය වේ. ඒ 2003 වසරේදීය.

අපගේ ජාතික ක්‍රීඩාව  නොවුවද ජනප්‍රියම ක්‍රීඩාව  ක්‍රිකට්ය. 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට අර්ජුන රණතුංග හා  පිරිවර සමත්වීමත් සමගම ගම් නියම්ගම් නගර ජනපදය සිසාරා ක්‍රිකට් ක්‍රීඩාව ගංවතුරක් මෙන් පැතිරි ගියේය. අර්ජුන, අරවින්ද, සනත්, වාස්, මුරලි, සංගක්කාර, මහේල, ලසිත් මාලිංග ආදි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා නාමය දේශ දේශාන්තරයන්හි රැව් පිළිරැව් දෙන නමක් බවට පත් කළහ. රන්ජන් මඩුගල්ලේ රොෂාන් මහානාම රටට අපමණ කීර්තියක් ගෙන දෙමින් තරග තීරකවරු ලෙස කටයුතු කරති. ලොව හොඳම විනිසුරුවරයා අපේ ‘‘උනන්දුවා’’ හෙවත් කුමාර ධර්මසේනය.

දැන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද ජාත්‍යන්තරය දිග් විජය කිරීම අරඹා තිබේ. චමරි අතපත්තුගේ වික්‍රමය මහ මෙරක් මෙන් බරින් අපට දැනෙන්නේ එහෙයිනි. ඇගේ ජයග්‍රහණය නිසා තමන් ශ්‍රී ලාංකිකයකුවීම සම්බන්ධයෙන් සෑම පුරවැසියකුටම නිම් හිමි නැති අභිමානයට හේතුවකි. ජයග්‍රහණ අහිමිව, සතුට අහිමිව ආර්ථික බරින් හෙම්බත්ව කල වයස් ගෙවා දමන සාතිශය බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට චමරි රැගෙන ආ ජයග්‍රහණය අප්‍රමාණ වින්දනයට හේතුවකි.

චමරිගේ ජයග්‍රහණය අහම්බයක් නොවේ. එමෙන්ම එය වාසනාව නිසා ලද දෙයක් ද නොවේ. එය වූ කලි වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත  ප්‍රීතියෙන් නොපසුබස්නා වීර්යයෙන් අත්පත් කරගත් ජයග්‍රහණයකි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට  එරෙහිව වරක් චමරි රැස් කළ ලකුණු 178 ක්‍රිකට් මතක පොත තුළ නොවැහැරෙණ මතකයකි. එය ගිනිකෙළි සංදර්ශනයකින් වෙනස් නොවුණු ප්‍රචණ්ඩ ප්‍රහාරයකි. නවසීලන්තයට එරෙහිව තෙවැනි එක්දින තරගයේ දී අනුකම්පා විරහිත පිති ප්‍රහාරයකින් ශතකය රැස් කළ තමන් ලොව සිටින විශිෂ්ටතම ක්‍රීඩිකාවක් බව ඔප්පු කළාය.

‘‘ඉඳින්  සියල්ල යහපත්’’ යැයි සිතිය යුතු නැත. අවශ්‍යවන්නේ චමරි අතපත්තු ආරම්භ කළ ජයග්‍රාහි ගමන වඩාත් සාර්ථකව ඉදිරියට රැගෙන යාමය. අපට අත්පත් කරගත නොහැකි ජයග්‍රහණයක් නොමැති බව චමරි ඔප්පු කර අවසන්ය. එය නිවැරැදිව කියවා ගත යුතුය. නොඑසේනම් සිදුවිය හැක්කේ ඩන්කන් වයිට්ගෙන් පසුව ඔලිම්පික් පදක්කමක් දිනා මවුබිම වර්ණවත් කළ සුසන්තිකා ජයසිංහගෙන් පසුව පදක්කම් ඉඩෝරයට හසු වූවා මෙන් ජයග්‍රහණ පෙරහැර අතරමග නතරවීමය. 

(***)



අදහස් (2)

රටට ණය නැති දියණියට ලංකාවාසීන්ගේ ප්‍රණාමය

ලසා Tuesday, 11 July 2023 12:21 PM

ලස්සනට ලියලා තියෙනවා. සුබපැතුම්!

:       0       2

Senarath Friday, 14 July 2023 08:49 AM

චමරි, ඇත්තටම අපිට ඔබ ගැන ආඩම්බරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site