පොහොර අර්බුදයෙන් රජය ඇතුළේ බරපතළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇති වූ අවුල් සහගත තත්ත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමැතිවරයා බවට චෝදනා කළේය.
මේ නිසා රට තුළ ඇති වූ අවුල් සහගත තත්ත්වය නිවැරැදි කරගැනීමට කාලයක් ගතවනු ඇති බව ද එය පහසු කරුණක් නොවන බව ද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර තිබිණි. මෙයට කෘෂිකර්ම ඇමැතිවරයා ද පිළිතුරක් දී තිබූ අතර හරිත කෘෂිකර්මාන්තය යහපත් ප්‍රතිපත්තියක් වුවද එය නිවැරැදිව සමාජගත කිරීමට නොහැකි වූ බව ද රජයේ පාර්ශ්වයෙන් ද ඊට අවශ්‍ය සහාය නොලැබුණු බව ද එහිදී ප්‍රකාශ විය.
හරිත කෘෂිකර්මය සහ රසායනික පොහොර එකිනෙක පටලවා ගැනීම හේතුවෙන් ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වයේ උණුසුම දැන් ආණ්ඩුව ඇතුළතටද දැනෙන්නට පටන්ගෙන තිබෙන බව මේ චෝදනා සහ ප්‍රතිචෝදනා මගින් පැහැදිලි වෙයි. හරිත කෘෂිකර්මාන්තයට මේ රටේ කිසිවකුත් විරුද්ධ නැත.
හරිත කෘෂිකර්මාන්තය නුසුදුසු බවට මත දරමින් රසායනික පොහොර ගෙන්වීම හෝ නොගෙන්වීම හෝ කළ යුතු යැයි කිසිවෙක් ප්‍රකාශ කළේ ද නැත. ගැටලුව ඇතිවූයේ හරිත කෘෂිකර්මය රටට නොගැළපීම නොව මෙතෙක් කාලයක් රටේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි ජනතාවටත් රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් ගෙනදුන් තේ කර්මාන්තයටත් රසායනික පොහොර එකවර අහිමිවීම හේතුවෙන් සියලු දෙනා අමාරුවේ වැටීමෙනි.
හරිත කෘෂිකර්මාන්තය යහපත් වුවද රසායනික පොහොර මත යැපෙමින් තිබූ කෘෂිකර්මාන්තය එකවර හදිසි තීන්දුවකට යාම දුවන කෝච්චියට බෙල්ල තැබීමකි. ඒ බව රජය වටහා ගන්නා විට රටේ කෘෂිකර්මාන්තයටත් තේ කර්මාන්තයටත් විශාල හානියක් සිදු වී හමාරය. අඩුම තරමින් මේ තීරණය ගැනීමේදී රටේ කෘෂිකර්ම විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගැනීමේ වැදගත්කම කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ජනාධිපති ඇතුළු ඉහළ බලධාරීන්ට පෙන්වා දිය යුතුව තිබිණි.
ඒ වෙනුවට අප දුටුවේ තම හරිත කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහාය නොදක්වන බවට චෝදනා කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ගණනාවක් එහාට මෙහාට තල්ලු කර දැමීම පමණි. එයින් ගැටලුව විසඳුණේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ගැටලුව අර්බුදයක් බවට පත්වී ආණ්ඩුව ඇතුළේම බරපතළ මත ගැටුම් දක්වා එය වර්ධනය වීමය. එය පොදුවේ රටට යහපත් නැත.
කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ මත ගැටුම් පමණක් නොව පාස්කු ප්‍රහාරයේ චෝදනා සම්බන්ධයෙන්ද රජය ඇතුළේ බලවත් මතභේදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ද පසුගිය දිනවල පාර්ලිමේන්තු විවාදවලදී පෙන්නුම් කෙරිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ද කෘෂිකර්ම ඇමැතිවරයා ඉලක්ක කර ගනිමින් බරපතළ කතාවක් සිදුකළ අතර ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ තමන් අතේ බවට අනතුරු ඇඟවීමක්ද කළේය. මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා ජනාධිපතිට, රටට සහ පාර්ලිමේන්තුවට ද ගොවි ජනතාවට ද බොරු කී බවට ද චෝදනා කෙරිණි. එයට ද මහින්දානන්ද මහතා පිළිතුරු ලබාදී තිබූ අතර පාස්කු ප්‍රහාරය ගැන තමන් දන්නා දේ කියන්න දැයි ඔහු විමසා තිබිණි.
සාමාන්‍යයෙන් මෙවැනි මතභේදාත්මක කතා ඇති වන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර වුවද මේ වාග් ප්‍රහාර සිදුවූයේ ආණ්ඩුව ඇතුළේම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනකු අතරය. මේ බහින් බස්වීම්වලට ආණ්ඩුව ඇතුළේම තවත් මැති ඇමැතිවරුන් සම්බන්ධ වූ අතර ඒවා ද ඉතාම උණුසුම් විය. මෙය රටට හොඳ තත්ත්වයක් නොවන බව පෙන්වා දිය යුතුය. දුර්වල ආර්ථිකයක සිටිමින් අට අනූවක් රෝග ව්‍යාධීන්ගෙන් පෙළෙන රටකට ආණ්ඩුව ඇතුළේම මෙවැනි බරපතළ මතගැටුම් ඇතිවීම කනගාටුදායක තත්ත්වයකි.
සන්ධාන ආණ්ඩු ගොඩනැංවෙන්නේ විවිධ මත දරන පක්ෂ කිහිපයක් එකතු වීමෙන් නිසා ආණ්ඩු ඇතුළේ මතභේද ඇතිවීම පුදුමයක් නොවේ. එහෙත් ඒ මතභේද එළිපිට ප්‍රකාශ වන්නේ කලාතුරකිනි. විශේෂයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ වාද විවාදවලදී මෙසේ ජ්‍යෙෂ්ඨ නායකයන් තම අතැති තුරුම්පුවලින් දමාගසා ගැනීම්වල අවාසිය ඇත්තේ ආණ්ඩුවටම බව නොපෙනීම අවාසනාවකි. මේ ප්‍රශ්නවලට පිළිතුරු නැතිව එසේම තිබියදී ආණ්ඩුව ඇතුළේ ගහ මරා ගැනීම් සිදුවීම ජනතාවගේ කෝණයෙන් බලන විට ඔවුන්ට සිදුකරන අවමානයක් බව පෙන්වා දිය යුතුය.
මේ මතභේද පටන් ගත්තේ රටේ කෘෂිකර්මාන්තය කාබනික ද රසායනික ද යන ප්‍රශ්නය මුල්කර ගනිමිනි. එහෙත් මේ මතභේද සහ වාද විවාද කර ගැනීම්වලින් ගොවීන්ගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය ද මේ මතභේදවලටම ඇදී ආවේය.
තමන්ගේ දේශපාලන ගැටලු විසඳා ගැනීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ගේ ගැටලු විසඳෙන්නේ නැත. ඔවුන්ගේ දුක තුනී වන්නේද නැත. කාදිනල්තුමන් බලාපොරොත්තු වන යුක්තිය, සාධාරණත්වය ඉටුවෙන්නේද නැත. එසේ නම් මේ වාද විවාද වෙනුවට රට මුහුණ දී සිටින ගැටලු විසඳා ගැනීමට මූලිකත්වය දීම රජයේ වගකීම නොවේදැයි ප්‍රශ්න කළ යුතුය.
මේ රට දැන් තිබෙන්නේ ආර්ථික ගිනිකන්දක් මතය. මෙය කොයි කොයි මොහොතේ හෝ පුපුරා ගියොත් රටත් ජනතාවත් අනතුරේ වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත. මේ පුපුරා යාම වළක්වාගෙන රට ගොඩගැනීමට මත ගැටුම් ඇතිකර ගන්නා ආණ්ඩුවකට ශක්තියක් තිබේදැයි යන්න ප්‍රශ්නයකි.
(***)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මත ගැටුම් නවත්වා වැඩ බහින්න සිතමු