IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි?

බලශක්තිය බලවත් ගැටලුවක් බවට පත්වී විදුලිය කප්පාදුවත් සමඟ රටම දැඩි පීඩනයකට හසුකරගෙන සිටී. ඒ අතරවාරයේ මේ ගැටලුවේ එක් පාර්ශ්වකරුවකු වන ලංකා විදුලිබල මණ්ඩලය සූර්යබල කර්මාන්තකරුවන්ට රුපියල් කෝටි 4000 ක් පොලු තැබීමේ සිද්ධියක් මාධ්‍ය හරහා හෙළිදරව් වීම ‘‘කොරේ පිටට මරේ’’ වැඩක් වී තිබේ.

මේ පොලු තැබීම වසරක් තිස්සේ සිදුව තිබෙන බවත් එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. ඒ සමඟ ඩොලර් බිලියන 02ක් වටිනා සුළං බලශක්ති ව්‍යාපෘති ගණනාවක් වසර දෙකක් තිස්සේ අතහැර දමා තිබීමෙන් එම ව්‍යාපෘති භාරව කටයුතු කළ ජාත්‍යන්තර සමාගම් 04ක් අමාරුවේ වැටී ඇතැයිද වාර්තා විය.

බලශක්තිය රටේ ජීවනාලිය බඳු විය යුතු වුවද අද බලශක්තිය යනු රටටම කරුමයක් වී තිබේ. රටේ ආර්ථික කඩා වැටීම එවැනි තත්ත්වයක් මතුවීමට ඍජුවම වගකිවයුතු බව සැබෑය. එහෙත් තවත් දුරකට ආර්ථිකයේ කඩා වැටීම පාලනය කරගනිමින් රට ඉදිරියට යන අවස්ථාවක මෙවැනි පොලු තැබීම් පිළිබඳ අසන්නට ලැබීමත් අවාසනාවකි. එය සිදු නොවිය යුත්තකි.

එසේ නොසිදුවිය යුතු දේ සිදුවීමෙන් පෙනී යන්නේ බලශක්ති අංශය භාරව කටයුතු කරන අංශ නිසි කළමනාකාරිත්වයකින් තොරව වැඩකටයුතු කරගෙන යන බවකි. එසේ නොවී හොඳ පාලනයකින් වැඩ සිදුවූවා නම් වසරක් තිස්සේ කෝටි හාරදහසක පොලු තැබීමක් සිදුවන්නට ඉඩක් නැත.

ලංවිම මේ වනවිට හතර අතින්ම තැලෙන පොඩිවෙන මිරිකෙන ආයතනයක් බවට පත්ව තිබේ. ඒ පීඩනය කොතරම්ද කියනවා නම් ලංවිම භාර බලශක්ති අමාත්‍යවරයාට රෑට නින්ද යනවාද කියා සිතන්නත් අමාරුය.

එහෙත් ඇතැම් ගැටලුවලට ආර්ථීක අර්බුදය පමණක් වගකිවයුතු නොවේ. නිසි කළමනාකාරීත්වයකින් තොරව අදූරදර්ශී ලෙස දේශපාලන පන්දම් පාලිවලට අනුව කටයුතු කිරීමේ ප්‍රතිඵලද ලංවිම අනාගැනිල්ල ඇතුළේ ගොඩනැගී තිබේ. ලංවිම මුදල් දුෂ්කරතාවලට මුහුණදී සිටියත් වසරක් තිස්සේ සූර්ය බලශක්ති ව්‍යාපාරයේ නිරත කර්මාන්තකරුවන්ට අය විය යුතු කෝටි දහස් ගණන් මුදල් ලබා නොදීම සාධාරණ නැත. අඩුම තරමින් ඒ පිළිබඳ අමාත්‍යංශය දැනුම්වත් කර කුමක් හෝ පියවරක් ගත යුතුව තිබිණි. 

ඩොලර් බිලියන 02ක් වටිනා සුළං බලශක්ති ව්‍යාපෘති අතර මග නවතා තැබීමද එවැනිම අදූරදර්ශී පියවරකි. එම ව්‍යාපෘති සඳහා අදාළ සමාගම් සම්බන්ධ කරගෙන ඇත්තේ ආයෝජන මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලයයි. මේ ආයතන මගින් සුළං බල ව්‍යාපෘති තවමත් යට ගසා තිබීම හේතුවෙන් රටට අහිමි වන මුදල ඉතා විශාල බව පෙන්වා දෙන එම ව්‍යාපෘතිවලදී ශ්‍රී ලාංකික නියෝජිත ආයතනය ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියකින් ඉල්ලීමක් කර ඇත්තේ හදිසි කරුණක් සේ සලකා මෙම ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමට මැදිහත් වන ලෙසටය. මේ ව්‍යාපෘති දියත් කිරීම ඉක්මන් කර දෙන ලෙසට විදුලිබල හා බලශක්ති සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇතත් එයින් කිසිදු ප්‍රගතියක් නොලැබුණු බවත් සඳහන්ය.

සුළං බල සහ සූර්ය බල මේ රට මහත් බලාපොරොත්තු තබා සිටින පුනර්ජනනීය බලශක්ති ප්‍රභව දෙකකි. නිසි අධ්‍යයනයකින් පසුව කාර්යක්‍ෂම කළමනාකාරීත්වයක් යටතේ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි නම් ඉදිරි වසර 10ක පමණ කාලයක් තුළදීම ශ්‍රී ලංකාවේ විදුලි බල අවශ්‍යතාවෙන් ඉහළ ප්‍රතිශතයක් සපුරා ගැනීමට හැකිවන බවත් එය තවදුරටත් වර්ධනය කර ගනිමින් අතිරික්තව නිපදවන විදුලිය වෙනත් රටවලට අලෙවි කළ හැකි බවත් පුරෝකථනය වී තිබේ.

ඉන්ධන සහ ගල් අඟුරු ගෙන්වීමත් රට ඇතුළේ පිහිටුවා ඇති පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමත් යනු මේ රටේ මැති ඇමැතිවරුන්ගේත් ලංවිම ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේත් ‘‘කල්ල මරේ’’ වැඩක් බව නොදන්නා කෙනකු නැත. ඉතා අඩු මුදලකට විදුලිය නිෂ්පාදනය කළ හැකි සූර්ය බල ව්‍යාපෘතිවලට සහ සුළං බල ව්‍යාපෘතිවලට හැම ආණ්ඩුවකින්ම කුඩම්මාගේ සැලකිල්ල ලැබීමට හේතුව එයයි. සුළං බල ව්‍යාපෘති හමස් පෙට්ටියේ තැන්පත් වෙන්නේත් සූර්ය බල ව්‍යාපෘතිවලට කෝටි දහස් ගණනින් පොලු තැබෙන්නේත් එම ක්‍රමයේ වැරැද්දෙනි.

අපේ රටේ සුළඟින් විදුලිය නිපදවීමට වෙනත් රටවලින් පැමිණ ආයෝජනය කරන තුරු අපි බලා සිටියෙමු. හැම ව්‍යාපෘතියටම අතයට මුදල් බලාපොරොත්තුවන පගා මරුවන් ආණ්ඩුවලත් ආයතනවලත් සිටිනතුරු මේ ක්‍රමය වෙනස්වේ යයි සිතීමත් මුළාවකි.

(***)



අදහස් (0)

පුනර්ජනනීය ව්‍යාපෘතිවලට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site