IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශපාලකයන්ගේ පාතාල සම්බන්ධතා

‘‘හමුදා කපිතාන් පාතාලයකු එක්ක අවි සමග මාට්ටු”‍ යන සිරස්තලය යටතේ  නොබෝදා අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු හා යුධ හමුදා  කපිතාන්වරයකු ගිනි අවි ද සමඟ අත්අඩංගුවට ගත් පුවත අප පුවත්පතේ වාර්තා කළේය. සතියකට පමණ පෙර එකම දිනයේ දී පාතාල ක්‍රියාකාරීන්ගේ වෙඩි තැබීම් කිහිපයක් වාර්තා විය. 

මෙරට පාතාල ක්‍රියාකාරීන්ගේ වතගොත ලොවටම  කියවා ගත හැකි අයුරින් විකිපීඩියා සටහන්වල ජාත්‍යන්තර භාෂාවෙන්ම ඒවා සටහන් වී තිබේ. වඩාත් ලජ්ජාවට කාරණය වන්නේ මෙරට දේශපාලනඥයන් සමඟ පාතාල සාමාජිකයන්ගේ තිබූ අවියෝජනීය සම්බන්ධතාව ඒවායේ නොවලහා සටන් කර තැබීමයි. 

ඒ සම්බන්ධයෙන් විකිපීඩියා වෙත අභියෝග කොට ඇති මෙරට කිසිම දේශපාලනඥයකු ගැන දැනගන්නට නැත. ගෝනවල සුනිල් හෙවත්  සුනිල් පෙරේරා ගේ සිට, දොන් උපාලි රංජිත් හෙවත් සොත්ති උපාලි,  උස්ලියනගේ චින්තක නලින් පෙරේරා හෙවත් චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, අජිත් ධම්මික හෙවත් කලු‍ අජිත්, මොරටු සමන්, කොස්වත්තගේ ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ හෙවත් නාවල නිහාල් හරහා, මෑත කාලයේ බිහි වූ කොස්ගොඩ තාරක දක්වා මැරයන්, බලවතුන් සමඟ සම්බන්ධ වූ අයුරුත්, බලවතුන් මෙහෙයවූ ඝාතනවලට ඒ අය සම්බන්ධ වූ අයුරුත්, විකිපීඩියා ඔස්සේ ගෝලීය පාඨකයා දැනුවත් කොට හමාරය.

පාතාලයන් මෙරටින් තුරන් කර දැමීම වඩාත් අසීරු වන්නේ ඇයි ද යන්නට හේතුව එයින් පැහැදිලිය. දේශපාලන බලවතුන්ගේ නොමද අනුග්‍රහය මැරයන්ට ලැබී ඇත.  ධම්මික අමරසිංහ නැමැත්තාට, බුද්ධික ප්‍රියශාන්ත නාමයෙන් හොර පාස්පෝට් හදන්නටත්, එයින් ගමන් පහසුව සලසා ගෙන, එවකට එංගලන්තයේ පැවති ලෝක ක්‍රිකට් කුසලාන තරග නරඹන්නටත් ක්‍රිකට් හා දේශපාලන බලවතකු අනුග්‍රහය දැක්වූ හැටි විකිපීඩියාවේ සඳහන් වේ.

පාතාලය යුද්ධයේ අතුරුඵලයක්ය යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි මතයකි.  හරිහැටි අධ්‍යාපනයක් නොලැබූ විරැකියාවෙන් පීඩිත තරුණයන්ට  විදේශ රැකියාවලට යා නොහැකි වී නම් හමුදා සේවයට බැඳීමේ අවස්ථාව ඔවුනට 1980 ගණන්වල පටන් විවෘත වී තිබිණි. යුද්ධයේ පැවති ජීවිත අවදානම දුටු හමුදා සේවයට බැඳුණු ඇතැම් තරුණයෝ හමුදාව හැර ගියහ. නැවත හමුදාවට එන්නට පොදු සමා කාලයන්, වරින්වර පිරිනැමුවද, පිරිසක් නැවත හමුදාවට නොගොස් වෙනත් කටයුතුවලට යොමු වූහ. අවි පුහුණුව හා සටන්  පුහුණුව හොඳහැටි ලබා තිබුණු අතළොස්සක් පාතාල මැර කම්වලට හවුල් වූහ. පාතාල ක්‍රියාකාරකම් හා සමාන්තරව සිදු වූ මත්ද්‍රව්‍ය  ජාවාරමෙන් ඔවුනට මුදලේ රහ වැටිණි. ජීවිත අවදානම නිසා යුද්ධය හැර පියා හමුදාවෙන් ඉවත් වූ  ඇතැම් තරුණයෝ පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඔස්සේ  ඊටත් වඩා ජීවිත අවදානමකට මුහුණ දුන්හ. හමුදා සේවය හැර ගිය උදවිය පාතාලයන් අතර නොමදව සිටියහ. 

ආමි ජිනේ ලා, නේවි අජිත්ලාගේ ක්‍රියාකාරකම් ඊට සාක්ෂි දරයි. මෙම කතුවැකියට මුල් වූ පුවත ද  පාතාලය හා සම්බන්ධ වූ හමුදා නිලධාරියකු ගැනයි.දේශපාලනය මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධව ද පාතාලයට ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවකි. එම සම්බන්ධතා අන්තර්ජාතික මට්ටමට විහිදී තිබෙන ආකාරය වෙලේසුදාලාගේ මාකඳුරේ මහේෂ්ලාගේ, අංගොඩ ලොක්කලාගේ කෙරුවාවෙන් පෙනුණි. ඇතැම් විට දේශපාලකයන් අල්ලේ නටවන්නට තරම් මත්ද්‍රව්‍ය ජාවාරම්  ඔස්සේ ඔවුන් ගොඩනැගූ ධනය බලවත් විය. 

පාතාල කල්ලි වැටලීම්වලට  හසුකරගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් වුව පාතාලය මෙ රටින් තුරන් කිරීමට එය පමණක් නො සෑහෙයි. ඒ සඳහා පාතාලය දේශපාලනඥයන් සමග  පවත්වන සම්බන්ධතා බිඳ දැමිය යුතුය. කිනම් හෝ හේතුවක් මත  කුඩා කල අධ්‍යාපනය අහිමි වන සිසු දරුවන්ට අධ්‍යාපනය ලබාදීම මගින් අනාගත පාතාලය බිහි වීම වළක්වාලිය හැකිය. සමාජ සම්බන්ධතා බිඳ වැටුණු දරුවන්ට සමාජ ආරක්ෂාව ලබා දිය යුතුය. ඔවුන් හුදෙකලා දරුවන් නොව සමාජයේ ආදරය ලැබෙන දරුවන් බවට පත් කළ යුතුය.

(***)



අදහස් (0)

දේශපාලකයන්ගේ පාතාල සම්බන්ධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site