
ජූලි අගෝස්තු වියළි කාලගුණයක් සහිත මාසය. මේ අවුරුද්දේ ඒ වියළි කාලගුණයේ තීව්‍රතාව වෙන අවුරුදුවලට වඩා දැඩිය. ගොවි ජනතාව මැසිවිලි නගන්නේ වගාවට අවශ්‍ය ජලය නොලැබුණු බවටය. ගොවිතැන් කන්නයට ආරම්භ නොකළ ගොවීන්ටත් මේ සන්තෑසියට මුහුණ දීමට සිදුවී තිබේ.

නියඟය ගැන නොයෙක් පුරෝකතන තිබේ. විද්‍යාත්මකව කතා කළොත් දැන් මේ රටේ පෙන්නුම් කරන්නේ එල්නිනෝ තත්ත්වයක මූලික ලක්ෂණය. මෙය ලංකාවට පමණක් පවතින තත්ත්වයක් නොව ගෝලීය වශයෙන් පවතින තත්ත්වයකි. එල්නිනෝ කියන්නේ ස්වභාවික සන්සිද්ධියකි.
දේශගුණ විපර්යාස නිසා ඇති වන තත්ත්වයක් නොවේ. වසර දහස් ගණනක් තිස්සේ ඇති වූ දෙයකි. වරක් පැමිණ ගියාට පසු අවුරුදු තුනක් හෝ හතක් අතර කාලයක දී යළිත් එල්නිනෝ තත්ත්වයක බලපෑමක් ඕනෑම රටකට ඇතිවීම සාමාන්‍ය තත්ත්වයයි.
එල්නිනෝ කියන්නේ ෆැසිපික් සාගරයේ සුළං හමන දිසාව වෙනස් වීමෙන් මතුපිට සාගර ජලය සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් වීමය. උණුසුම් වාතය ඉහළට යන නිසා එහි ඇති වන රික්තකයට අනෙක් ප්‍රදේශවලින් දැඩි ලෙස සුළං හමා එයි. ඒ සුළං එන්නේ ජල වාෂ්ප ද රැගෙනය. අනෙක් ප්‍රදේශවලින් ජල වාෂ්ප ද රැගෙන සුළං හමන විට ඒ අනෙක් තැන්වල තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩුවෙයි. නියං තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩිය කියන්නේ ඒ ජල වාෂ්ප අඩුවීම පාදක කරගනිමිනි.
එල්නිනෝ තත්ත්වයක අවදානමක් ගැන කලින් කියන්නට බැරිදැයි ඔබ මගෙන් අසයි. කලින් කියන්නට පුළුවනි. එහෙත් අවුරුදු ගණනාවකට පෙර නොවෙයි. ගෝලීය දත්ත මත පදනම් වෙමින් මේ අවුරුද්දේ මාර්තු මාසයේ දී අපත් ප්‍රකාශ කළේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සියයට පනහක හැටක පමණ සම්භාවිතාවක් පවතින බවය.
එහෙත් ගෝලීය වශයෙන් සියයට අනූවක පමණ සම්භාවිතාවකින් එල්නිනෝ තත්ත්වයක ලක්ෂණ දක්නට ලැබෙන බව ප්‍රකාශයට පත් වුණේ මේ අවුරුද්දේ ජූලි මාසයේදීය. හැම පුරෝකතනයක්ම කෙරෙන්නේ සම්භාවිතාවක් අනුවය. ගිය මාසයේ දී කිව්වෙත් සියයට 90ක සම්භාවිතාකින් එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවය. සියයට 100ක තහවුරුවකින් මේ දේ වෙනවාමය කියා කාටවත් කිව නොහැකිය.
ලංකාවේ මීට පෙර එල්නිනෝ තත්ත්වයක් ඇති වුණේ 2015 අවසන් භාගයේ සහ 2016 මුල් මාසවලදීය. 2016 සහ 2017 කියන්නේ ලංකාවට නිදහස ලැබුණාට පසුව දරුණුම නියඟයක් ඇති වූ වසර දෙකයි. 2016 වගා කන්න දෙකත් 2017 යල් කන්නයත් වශයෙන් කන්න තුනක් එක දිගට නාස්ති වුණේ ඒ අවුරුදු දෙකේදීය.
වර්ෂාවත් ජලයත් නොමැතිකම නිසා එසේ සිදුවිය. 2017 අග භාගය වෙද්දී අපේ රටට අත්‍යවශ්‍ය හාල් මෙට්‍රික් ටොන් 7,47,000ක් පමණ ආනයනය කරන්නට සිදුවූයේ අපට වගාව හරිහැටියට කරගන්නට බැරි වූ නිසාය. එහෙත් 2015 ඉතාමත්ම හොඳ වසරකි. එය ඉතාමත් හොඳින් අස්වැන්න වැඩි වූ වසරකි. යළි මේ එල්නිනෝව ඇතිව තිබෙන්නේ අවුරුදු හතකට පසුවය. මා ඉහත සඳහන් කළේ වරක් පැමිණ ගියාට පසු අවුරුදු තුනක් හෝ හතක් අතර කාලයක දී එල්නිනෝ යළිත් පැමිණෙන බවයි.
දේශගුණික විපර්යාස නිසා එල්නිනෝ ඇතිවීමේ සම්භාවිතාව වැඩිවන්නේ දැයි දැන් ගෝලීය වශයෙන් විද්‍යාඥයෝ පර් යේෂණ කරගෙන යති. ඒ පර් යේෂණ දැනටත් කරගෙන යති. දේශගුණික විපර්යාස නිසා එල්නිනෝ ඇති වන අවස්ථා ගණන වැඩි වනවා කියා තවමත් විද්‍යාත්මකව තහවුරු වී නැත.
ගෝලීය උණුසුම කියන්නේ දේශගුණික විපර්යාස අපට දැනෙන ආකාරයයි. එල්නිනෝ තත්ත්වය පරිසරයේ උෂ්ණත්වය වැඩි කිරීමට, ඉහළ දැමීමට තවත් එකතුවක් කරයි. ලෝකයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබෙන්නේ පසුගිය ජූලි මාසයේදීය. ලෝකයේ උෂ්ණත්වය ඒ ජූලියේ දී එසේ ඉහළ ගියේ කාර්මික විප්ලවය පටන් ගත් 1850න් පසු පළමු වරටය.
ඇතිවන මේ තත්ත්වයට අප බිය විය යුතු නොවේ. කළ යුත්තේ හොඳින් සූදානම්වීමය. අද වන විටත් මේ පවතින තත්ත්වයෙන් පෙනෙන්නේ ඒ සූදානම මදිකමකි. බොහෝ ප්‍රදේශවල ගොයමට හානි වූයේ ඒ නිසාය. ඒ හානියට එක් හේතුවක් වන්නේ වගා කන්නය පසුවී ගොවිතැන් ආරම්භ කිරීමය. එහෙත් ජලය හොඳින් කළමනාකරණය කළේ නැති බව තහවුරු කිරීමට මෙය හොඳම උදාහරණයකි. අපේ කෘෂිකර්මාන්තයට ජලය ලබා ගන්නේ වාරි පද්ධතියකිනි.
මිනිසාගේ සහ සතුන්ගේ ඍජු පරිභෝජනයට, පාවිච්චියට ගන්නේත් ඒ වාරි පද්ධතියෙන් සැපයෙන ජලයයි. ජල විදුලිය නිපදවීමට ගන්නෙත් ඒ ජලයයි. ජලයෙන් විදුලිය නිපදවීමටත් අපට අත්හළ නොහැකිය. එය අපේ ආර්ථිකයේ විශේෂ පැතිකඩකි. ඒ කටයුත්ත කරගන්නා ගමන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීමේ ක්‍රියාවලිය නිසි කළමනාකාරිත්වයකින් යුතුව, සැලසුම්සහගතව කිරීමේ අවශ්‍යතාව අපට මෙලෙස දිගින් දිගටම පෙන්වා දෙයි.
සමනල වැවේ ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා උඩවලව ප්‍රදේශයට මුදා හැරීමට තීරණය කළේ ගොවි ජනතාව පාරට බැහැලා කෑ ගහලා මැසිවිලි නැගුවාට පසුවය. එහෙත් එය ඊට පෙර කළ යුතු බව අපිත් විද්‍යාඥයොත් පෙන්වා දුන්නෙමු. විද්‍යාඥයන්ගේ හඬට සවන් නොදී අඥානයන්ට එහෙයි කීම ලංකා දේශපාලනයේ නිදන්ගත රෝගයකි. අප හැමදාම කියන්නේ ගොවිතැන් කරන්නේ ගොවීන් නිසා ඔවුනට අවශ්‍ය සහාය අප කවුරුත් එක්ව ලබා දිය යුතු බවය.
බඩ පුරවාගෙන කළුවරේ සිටීමයි, ලයිට් දාගෙන බඩගින්නේ සිටීමයි එකක් නොව දෙකකි. මා කතා කරන්නේ තුලනය ගැනය. ප්‍රශ්න ඇතිවන්නේ තුලනය නැති විටය. එහෙයින් තුලනය පවත්වාගෙන යාම සඳහා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. එල්නිනෝ අද ඇතිවී හෙට නැතිවන දෙයක් නොවේ. එල්නිනෝවක් මාස හයක සිට අවුරුද්දක් දක්වා පැවතිය හැකිය. ලංකාවේ වර්ෂාපතන කාල හතරකි.
පළමුවැනි අන්තර් මෝසම කියන්නේ මාර්තු අප්‍රේල් කාලවලදී ලැබෙන සංවහන වර්ෂාවයි.
මැයි මාසයේ සිට අගෝස්තු දක්වා පැමිණෙන්නේ නිරිත දිග මෝසම් කාලයයි. අගෝස්තු මාසය වහින මාසයක් බව ඉන් නොකියැවෙයි. ජූලි අගෝස්තු කියන්නේ වැස්ස
තුලනය වෙමින් යන කාලයයි.
පළමුවැනි අන්තර් මෝසමත් නිරිත දිග මෝසමත් එකතු වී යල් කන්නය හැදෙයි. මහ කන්නය පටන් ගන්නේ දෙවැනි අන්තර් මෝසමෙනි. ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී දෙවැනි අන්තර් මෝසම පැමිණෙයි.
ඊට පසුව දෙසැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාසය දක්වා ඊසාන දිග මෝසම පැමිණෙයි. එල්නිනෝ තත්ත්වයකින් දැඩි බලපෑමක් ඇතිවිය හැක්කේ මහ කන්නයේ ගොවිතැන් කෙරෙන ඊසාන දිග මෝසමටය. එහෙයින් මහ කන්නය දුර්වල වීමට තිබෙන සම්භාවිතාව ඉතා ඉහළය.
එහෙත් ඊට සමගාමීව අපට තවත් හොඳ දෙයක් විය හැකිය. එය මේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල ලැබෙන්නට නියමිත සංවහන වර්ෂාව හෙවත් දෙවැනි අන්තර් මෝසම ඉතා දැඩිව ලැබෙන්නට ඉඩකඩ තිබේ. ඇතැම් විට හොඳට වහියි. හොඳට වැස්සොත් ජලාශ පිරී ඉතිරී යයි. එසේ වේවි කියා දැනට තිබෙන ජලය රිසි සේ භාවිත නොකළ යුතුය. නාස්ති නොකළ යුතුය. දැනට තියෙන ජලය කිරා මැන බලා අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කළ යුතුය. එසේ කළහොත් එළඹෙන මහ කන්නයත් මේ එල්නිනෝවලින් ඇතිවන බලපෑම් වලින් තොරව සාර්ථක කරගන්නට හැකි වේවිය කියා විශ්වාස කළ හැකිය.
ඒ සඳහා අප අනිවාර්යයෙන්ම කළ යුත්තේ මහ කන්නය ආරම්භ වන දෙවැනි අන්තර් මෝසමත් සමග ලැබෙන වර්ෂාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මහ කන්නයේ වගාව සඳහා බිම් සැකසීමය. ඊසාන දිග මෝසම පැමිණෙන දෙසැම්බර් මාසය තෙක් බලා නොසිට බිම් සැකසිය යුතුයි.
ඔක්තෝබර් මාසයේ ලැබෙන වැස්සෙන් උපරිම ප්‍රයෝජන ගෙන බිම් සැකසිය යුතුය.
එසේ කළහොත් ජලාශවල ඉතිරි වී තිබෙන ජල ප්‍රමාණය නිසියාකාරව සාර්ථකව ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගත හැකිය. අප එසේ නොකළොත් ඊළඟ යල් කන්නයේදී නැවතත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙයි. එසේ විය හැක්කේ ජලය හිඟවීමෙනි. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත්, මහවැලි අධිකාරියත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් විදුලිබල අමාත්‍යාංශයත් එකතු වී සැලසුම් සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුය.
වගා කිරීම හොරෙන් කළ හැකි දෙයක් නොවේ. කොච්චර වගා කර තිබේද කියා බිම් මට්ටමේ සිටින නිලධාරීන් මගින් තොරතුරු රැස්කර ගත හැකිය. එසේම ඒ වගා කළේ කවදාද, පටන් ගත්තේ කොයි කාලේ ද කියා නිරවුල්, පැහැදිලි, නිශ්චිත සහ සත්‍යය තොරතුරු රැස්කර ගත හැකි යාන්ත්‍රණය බිම් මට්ටමේ සිටම ක්‍රියාත්මක වෙයි.
වගා කළ කාලය පැහැදිලිව දැනගත්විට අස්වැන්න නෙළන්නේ කොයි කාලෙ ද කියා නිශ්චිතව නිශ්චය කළ හැකිය. ඒ කාලය දක්වා සැපයීමට ජලය ප්‍රමාණවත් ද කියා ඒ තොරතුරු මත විශ්ලේෂණය කරගත හැකිය. අද ඇති වී තිබෙන්නේ එසේ කටයුතු නොකිරීම නිසා උද්ගත වූ තත්ත්වයකි. වරද නිවැරදි කර ගත්තේ පහු වෙලාය. ඒ ගැන සතුටුය. එහෙත් වරද නිවැරැදි කරගත්තේ ගොවි ජනතාව පාරට බැස කෑ ගැසුවාට පසුවය.
මෙවැනි තත්ත්වයක් යළිත් ඇති නොවන තැනට කටයුතු කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. කෘෂිකර්මාන්තයේ පිබිදීමක් ඇතිවන්නේ අභාග්‍ය සම්පන්න අවුරුද්දකට පසුවය. 2022 ගොවි ජනතාවට ඉතාමත් දරුණු අවුරුද්දකි. එසේ වූයේ දේශපාලකයන් ගත්ත වැරැදි තීරණ නිසාය. 2022 කෘෂිකර්මාන්තයට හැඩුවේ කණ කොකාය. මේ වසරේ ගොවීන් යළි ගොවිතැන් වැඩ පටන් ගත්තේ උද් යෝගයකිනි. ගොවීන්ගේ ඒ උද් යෝගයත් මේ විශ්වාසයත් නැති නොකළ යුතුය. ඒ වගකීම තිබෙන්නේ දේශපාලකයන්ට සහ නිලධාරීන්ටය.
ගොවි ජනතාවගේ විශේෂත්වය වන්නේ ඔවුන් නිෂ්පාදකයන් වන්නා සේම පාරිභෝගිකයන් ද වීමය. ඔබ සහ මා පාරිභෝගිකයන් මිස නිෂ්පාදකයන් නොවේ. ගොවීන්ගේ ජීවනාලිය ගොවිතැනයි. ඔවුනට අවශ්‍ය යෙදවුම් සහ ස්වභාවික සම්පත් අවශ්‍ය ප්‍රමාණයට සැපයීම වගකිව යුත්තන්ගේ වගකීමයි. ඒවා නිසි පරිදි කළමනාකරණයකින් යුතුව භාවිත කිරීම සහ උපයෝගී කරගැනීම ගොවි ජනතාවගේ වගකීමයි. ගොවීන් ද වගවීමකින් යුතුව ගොවිතැන් කළ යුතුය. ඇතිවන ඇතැම් ප්‍රශ්නවලට ගොවීන්ගේ වගවීමකින් තොර ක්‍රියා කලාප ද හේතු වන බව ගොවියෝ ද තේරුම් ගත යුත්තෝය.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂීකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධ මාරඹේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදෙමින් පවතින දරුණු නියඟ තත්වය අවබෝධ කොට නොගෙන නිසි පුරෝකථනයකින් තොරව නිසි ආකාරයට කළමනාකරණය කර නොමැති නිසා රටතුළ මතුව ඇති බිමට, වගාවන්, වී වගාවන්, විදුලිබලට ජලය ප්‍රමාණවත්ව නොමැතිවීමේ හේතුව වගකිව යුතු පුද්ගලයන් හෝ නිලධාරීන්ගේ යම් මගහැරීමක් සේ සැලකිය හැකිය. මෙවැනි තත්ව මිට පෙරද ( /-) මුහුණ දීමට සිදුව තිබේ. මෙවැනි ජාතික සොබාවික ගැටළු අර්බුද අවස්ථාවන්හිදී නිලධාරීන්ගේ වගවීම සහ වගකීම සහ මැදිහත්වීම වැදගත් වේ. මොවුන් සියලු දෙනාම ක්‍රියාත්මක වියයුතු වන්නේ දේශපාලකයින්ගේ උපදෙස් මත නොවේ. දේශපාලකයින් තීන්දු ගනු ලබන්නේ අර්බුදය විසඳීමට නොව මෙයින් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් බව තේරුම් ගත යුතුවේ. ඉදිරියේදී ජල විදුලිබලය නිපදවීමෙන් ඔබ්බට ගොස් nuclear power මගින් විදුලිය ලබාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී සහ බහුතරයක් ලෝකයේ රටවල් nuclear power මගින් විදුලිය නිපදවීමට තීරණය කර තිබේ. වර්තමානයේ පවතින තාක්ෂණික දියුණුවත් ගෝලීය වෙනස්කම් සමග න්‍යෂ්ටික බලාගාර මෙහෙයුම් ආරක්‍ෂාව, සයිබර් ආරක්‍ෂාව සහ හදිසි සූදානම සඳහා ඉහළම ප්‍රමිතියක් පවත්වාගෙන යයි.
ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදන සමාගම් 25කට අධික ප්‍රමාණයක් ඇත. රට කුඩා වුවත් ජලය පොළවෙන් ලැබෙන නිසා දෝ සමාගම් විශාල ප්‍රමාණයක් ඇත. කිසිඳු වියදමකින් තුරාව පොළවේ තිබෙන්නා වූ ජලය විකිණීම පිළිබඳව දැඩි නීති පැමිණ විය යුතුවේ. මේ කිසිවකුට නොපෙනෙන පරිසර වේදීන් නොදකින කිසිවකු විසින් කතා නොකරන පරිසර හානියේ තවත් පැති කඩකි. මේ වනවිට ඇමෙරිකාවේ ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදන සමාගම් නිසා සිදුව තිබෙන්නා වූ හානිය කොපමණද කියා සොයා බලන්න. රාජ්‍යයන් රවටා, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන මැදිහත්වීම මත දුෂිත ගනු දෙනු කරමින් මෙම සමාගම් නොමිලයේ පොළවෙන් ලබෙන්නා වූ පිරිසිදු ජලය බෝතල් කර බිලියන ගණනින් මුදල් ඉපැයීම සිදුකරයි. රට තුළ දැඩි ජල අර්බුදයක් පවතින අවස්ථාවේ මේ පිළිබඳව කිසිවකු අධිකරණයට යාම කළයුතුවේ. කිසිදු දේශපාලන පක්ෂයක් මේ පිළිබඳව කතා නොකිරීමද කණගාටුවට කරුණකි.
ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදන සමාගම් 25කට අධික ප්‍රමාණයක් ඇත. රට කුඩා වුවත් ජලය පොළවෙන් ලැබෙන නිසාදෝ සමාගම් විශාල ප්‍රමාණයක් ඇත. කිසිඳු වියදමකින් තුරාව පොළවේ තිබෙන්නා වූ ජලය විකිණීම පිළිබඳව දැඩි නීති පැමිණ විය යුතුය.
කඩපිල් වල දාම් අදින්න ඕනෑ අය ඉහළ තනතුරු වලට ආවාම ඔහොම වෙනවා. එල්නිනෝ කියන්නේ මොකක්ද කියලා වත් දන්නේ නැතුව ඇති. හැබැයි වොයිස් කට් දෙනවා දිගට හරහට පැනික් නොවූ මූණ ඉස්සරහට දාගෙන. ජපානය වගේ රටවල නායකයින් proactive , මෙහේ එකාලා reactive.
දැන් නියගයටත් අවසානයේ ගොවීන්ද වග කියන්න ඕනෑ...? ගොවියෝ මොනවා කරලද වතුර නාස්ති කරන්නේ...? අවශ්‍ය ප්‍රමාණයට මිස, අනවශ්‍ය ලෙස වතුර භාවිතය ගොවිතැනට නුසුදුසු බව ඔබ නොදන්නවා වුණාට, ගොවියෝ ඒ ගැන දැනුවත් බව දැන ගන්න... වනාන්තර විනාශ කොට ගස් කැපීම මේ අධික රස්නයට හා නියඟයට හේතුව බව ඔබට වැටහෙන්නේ නැද්ද....? ඔක්සිජන් පවා අනවශ්‍ය බව කිව්ව දේශපාලන අම්බරුවන් මේ රටේ සිටි බව අමතකද...?
මහාචාර්යතුමෝ, 1950 කාර්මික විප්ලවයෙන් පසුව, මේ වසරේ ජූලි මාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුනේ කොහෙන්ද? ග්‍රීස්ම සෘතුව පවතින සමයක ජූලි මාසයේ උෂ්ණත්වය වැඩිවීම සාමාන්‍ය දෙයක්. පුහු සමාජ මතවාද පතුරවලා, සාමාන්‍ය ජනතාවට හා ගොවියාට දොස් නගන තියරිය ඉගෙන ගත්තේ කොහෙන්ද...? වර්ෂාවකට පසුව ඉක්මනින් වැව් සිදී යන්නේ ගොවියන්ගේ වරදින්ද...? ගොවියෝ වතුර අනවශ්‍ය ලෙස භාවිතා කරන ක්‍රමය පැහැදිලි කරන්න පුළුවන්ද...? රොන්මඩ පිරුණු වැව් ප්‍රතිසංස්කරණය කළයුත්තේ ගොවියන්ද..? පහුගිය කාලේ ලංකාවේ ගොවිතැන විනාශ කළෙත් මෙවැනි බක පණ්ඩිත මහාචාර්යවරුන්ගේ උපදෙස් ක්‍රියාත්මක කරලා තමයි...