IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළොම්තොට කලඑළි කරන නවම් මහ පෙරහර

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහර මෙවර මේ මස 5, 6 යන දෙදින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

හැත්තෑව දශකයේ මුල් භාගයේ ඇරඹි මෙම පෙරහර එවකට ආරම්භ කර ඇත්තේ ඇසළ මාසයේය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අනුස්මරණය කරනු වස් මෙම බුද්ධ වන්දනාව ආරම්භ වී ඇති බැව් ඒ හා බැඳි අඩසියවසකට අධික ඉතිහාසය ආවර්ජනය කිරීමේදී මොනවට පැහැදිලිවේ. 

එවකට හුණුපිටිය ගංගාරාම විහරස්ථානයේ අධිපතිත්වය දැරූ දෙවුන්දර වාචිස්වර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය ආරම්භ කර ඇත. අනතුරුව වසර කිහිපයක් ඉක්මයාමේදී විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම නාහිමියන් ගිලන්වීම  හේතුකොට ගෙන ඉතා කෙටි කලක් නැවතී ඇත. පසුව වර්ෂ 1979 දී නවම් මස නැවත පෙරහර ආරම්භ වී කොළඹ නවම් මහ  පෙරහර ලෙසින් ප්‍රකට විය. තුනුරුවන් කෙරෙහි පවත්වනු ලබන මහා පූජෝත්සවයක් ලෙස අද දක්වාම එතුළින් දේශයේ අග නගරය කලඑළි කරනු දැක ගත හැකිය 

පෙරහර නැවත ආරම්භ කිරීම සඳහා කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එවකට මැදකොළඹ පළමු මහජන මන්ත්‍රී වූ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ මෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ද ක්‍රියාකාරී දායකත්වය ලැබී ඇති අතර එය නවම් මහ පෙරහර අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙන්ම එහි අභිවෘද්ධියටද මහත් පිටිවහලක් වී ඇති බවට කරුණු ගෙනහැර පායි. එතැන් පටන් දේශයේ ආගමික සිද්ධස්ථාන නගාසිටුවීම මෙන්ම පරාර්ථකාමී මෙහෙවර උදෙසා තම ධනය පරිත්‍යාග කළ සතර පේරුවේ දායක කාරකාදීන්, ප්‍රභූවරුන්, ප්‍රකට ව්‍යාපාරිකභවතුන් මෙන්ම පරිත්‍යගශීලීන්ගෙන් සැදුම්ලත් ශක්තිමත් දායක සභාවක් ගංගාරාම විහාරස්ථානයේ ස්ථාපිත වීම තුළ නවම් මහ පෙරහරේ ශ්‍රී විභූතිය වසරින් වසර දේශයට උරුම වී ඇත.

මෙහිදී විශේෂයෙන් විජයවර්ධන පරපුරේ දම්පතීන් කළ මෙහෙවර අමතක කළ නොහැකිය. එතුමන්ලා මෙම පුදබිමේ චිරස්ථිතිය උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර අද ද විජය පුවත්පත් ආයතනයේ නිර්මාතෘ රංජිත් විජයවර්ධන මහතා විහාරස්ථානයේ ප්‍රධාන දායකත්වය දැරීම එයට හොඳම නිදසුනකි. 

වසර 30ක් තිස්සේ පැවැති රුදුරු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ පවා නවම් මහ පෙරහර මනා ලෙස පවත්වා ජන හදවත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය මතු කරන්නට සමත් විය. ලංකාවේ පැවැත්වෙන පෙරහර අතර වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් මෙන්ම නානාවිධ නර්තන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වන පෙරහරක් ලෙස නවම් මහ පෙරහර විරුදාවලිය ලබා ඇත. එය දෙවැනි වන්නේ සෙංකඩගල පුරවර පැවැත්වෙන දළදා පෙරහරට පමණි. 

කොළඹ ජීවත්වන බෞද්ධ ජනතාව පමණක් නොව අන්‍යාගාමිකයන්ගේද පූජෝපහාරයට බඳුන් වූ මෙම පෙරහර සඳහා ඔවුන් දක්වන සහයෝගය ප්‍රශංසනීයය. දින ගණනක් පුරාවට පැවැත්වෙන මහා පින්කම් මාලාවේ අවසන් දෙදින වන නවම්පුර පසළොස්වක පොහෝ දින සහ ඊට පසු දින පෙරහර පැවැත්වේ. එය නැරඹීම සඳහා කොළොම්පුරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඒකරාශී වන පිරිස අතිමහත්ය. මේ අතර විදේශිකයෝද වෙති. පැය කීපයක් පුරාවට වීදි සංචාරය කෙරෙන නවම් මහ පෙරහර සිත්සේ නරඹන්නට අවශ්‍ය සියලු පහසුකම් උපරිම අයුරින් සලසා තිබීමද පැසසුම්සහගතය. 

පෙරහරක චිත්තාකර්ෂණීය බව ගෙන දෙන කසකරුවාගේ පටන් හස්ති පාලකයන්, නර්තන ශිල්පීන් දක්වා සෑම සියලු දෙනාටම ඔවුන්ගේ සිත් සතුටුවන ආකාරයට මිල මුදල් පරිත්‍යාග කිරීම මෙන්ම ඔවුන්ගේ පවුල් ජීවිත යථාවත්ව පවත්වාගෙන යාම උදෙසා රන් භාණ්ඩ, ගෘහ උපකරණ පවා පරිත්‍යාග කිරීමද නිබඳව සිදුවී ඇති බැව් දැනගත හැකිය. එය පෙරහර කර්මාන්තයේ යෙදෙන්නන්ට තවදුරටත් අපගේ නර්තන සම්ප්‍රදායන් සුරක්ෂිතව පවත්වාගෙන යාමට ලැබෙන මහත් වාරුවකි. මේ නිසා ඔවුන් ගංගාරාමයේ පෙරහරට සම්බන්ධවීමට දක්වන්නේ ඉමහත් අභිරුචියකි. 

වසරින් වසර  හෙළ නර්තන සම්ප්‍රදායන්ගේ නව නිර්මාණවලට අවස්ථාව සලසා දෙමින් නරඹන්නන්ගේ සිත් ප්‍රබෝධවත් වන ආකාරයට මෙය පැවැත්වීමද විශේෂත්වයකි. මෙවරද ඊට අදාළ සියලු කටයුතු නාහිමියන්ගේ පූර්ණ මගපෙන්වීම ප්‍රකාරව එහි මහා බර කරටගත් විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත විහාරස්ථානයේ වැඩ සිටින මහා සඟරුවන, දායක සභාව, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනයේ සිසු දරුවන්ගේ කැපවීමද, සෙසු සංවිධානවල සහයද පෙරහරේ සාර්ථකත්වයට මහත්සේ හේතුපාදක වී ඇත. 

දකින නරඹන සෑම සියලු දෙනාගේම හදවත්වල තුනුරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇතිවන ආකාරයට ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමලංකෘතව නිර්මාණය වී ඇති ගංගාරාම පුදබිමට දෛනිකව වන්දනා මාන කිරීමට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය පිරිස් ද බොහෝය. 

මෙම විහාරස්ථානය විවිධ තත්ත්වයන් විද්‍යාමාන වන සිද්ධස්ථානයකි. ඒ අනුව වරෙක මෙය කෞතුකාගාරයකි. තවත් වරෙක කලාභවනකි. ඒ වාගේම අතිවිශාල දරුවන් පිරිසකට විවිධ භාෂා ශාස්ත්‍ර උගන්වන අධ්‍යාපනික ආයතනයකි. තවත් වරෙක කාර්මික විද්‍යාලයකි. ඒ වාගේම කතරගම ආදී ප්‍රදේශවල නේවාසිකාගාර පවත්වාගෙන යමින් සැදැහැවතුනට  පිහිටවන තැනකි. තවද වෙහෙර විහාරස්ථානවලට ඇවැසි බොහෝ දේ පරිත්‍යාග කරන පුණ්‍ය ආයතනයකි. 

නන්දලාල් සමරවීර 
කැලණිය.



අදහස් (0)

කොළොම්තොට කලඑළි කරන නවම් මහ පෙරහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site