IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඊළඟ ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු

අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම කෙසේ වෙතත් එදිනෙදා පැන නැගෙන ප්‍රශ්නවලට උත්තර සොයන්නේ පිටස්තරයන්ගෙනි. 

දේශපාලන, ආර්ථික හෝ සමාජ ප්‍රශ්න පැනනැගීම සාමාන්‍ය දෙයකි. වරින් වර ගැටලු ඇතිවෙයි. නිරාකරණය කරගැනීමේ නොහැකියාවක් නැත. පමා කළහොත් දැවැන්ත අර්බුද බවට පත්වෙන්නේ සුළු ප්‍රශ්න බව සඳහන් කළ යුතුය. නියපොත්තෙන් කඩාදමන්නට හැකි පැළෑටි පොරවකින් කපන්නට පවා නොහැකි තැනට පත්වන තෙක් බලාසිටින්නට සමත්කමක් අපට තිබේ. 

මෙවැනි සඳහනක් කරන්නට හේතු වූයේ ඇයි? මහජනතාව අතිශය පීඩාකාරී තැනකය. ජීවන වියදම මහත් ප්‍රශ්නයකි. භාණ්ඩ හිඟයක් පවතින අතර වෙළඳපොළ පාලනයක් නැත. දේශපාලන පක්ෂ අවුලුවන විරෝධතා සමාජය නොසන්සුන් කර ඇත. කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රවල පවා සංකීර්ණ තත්ත්ව වාර්තා වෙයි. නිදහසට පසු උද්ගත වූ දරුණු ආර්ථික අර්බුදය බව පැහැදිලිය. 

විශාල බලාපොරොත්තු සහිතව ආණ්ඩුවක් බලයට පත්කරගත් පොදු ජනතාව කලකිරීමක සිටින බව සඳහන් කළහොත් එය වරදක් නොවේ. මෙරට ඉතිහාසය මෙවැනි අවස්ථාවලින් බහුලය. ගැටුම්, අර්බුද, විපත් සහ අරගල අලුත් දේ නොවේ. ඒවා අලුත් නොවන හා සමානවම විසඳාගන්නට දරන ප්‍රයත්න ද පැරණි සාම්ප්‍රදායික ආකෘති බව සඳහන් කළ යුතුය. එක පාර්ශ්වයක් යෝජනා කරන කිසිම දෙයකට අනෙක් පාර්ශ්වය එකඟ නොවේ. අනෙක් පාර්ශ්වයකට සවන් දෙන්නට බලය ඇති අය සූදානම් නැත. 

සමාජය එකතු වී එකමුතු වී විසඳුමක් සොයාගන්නට වුවමනාවක් නැත. අවසානයේ සිදුවෙන්නේ කුමක්ද? ක්‍රමය අර්බුදයකට ලක්වීමය. ජනතාව විපතකින් තවත් විපතකට පත්වේ. නායකයන්ගේ වගකීම ජන ජීවිතය අපහසුතාවකට පත් කිරීමද? දැනට උද්ගතව ඇති ව්‍යාකූලත්වය පාලනය කරගන්නට අපට එකතුවිය නොහැකි ඇයි?

එකතුවී සාකච්ඡා කර එකඟත්වයකට පැමිණෙන සූදානමක් නැති අපි, විසඳුම බැහැරින් අපේක්ෂා කරන්නෙමු. ලෝකයේ වෙනත් රටකින් වෙනත් සංවිධානයකින් බලකරන ක්‍රමයකට හැඩගැසෙන්නට සූදානම්ය. මානව හිමිකම් ප්‍රශ්න ඉදිරියේ අර්බුදයක සිටින ශ්‍රී ලංකාවට විසඳුම යෝජනා කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවයි. ආර්ථිකය අර්බුදය සලකා ආදායම හා වියදම ගළපන්නට එන්නේ විදේශ රටවල්ය. ජාත්‍යන්තර සංවිධාන අපට රාමුවක් හදන්නට සූදානම් වෙයි. දෙමළ ජාතිකයන් සිය ප්‍රශ්න ගෙනයන්නේ ඉන්දියාවටය. මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ප්‍රශ්නවලට මැද පෙරදිග රටවලින් සහාය ලැබෙන තෙක් බලා සිටිති. තරුණ පරපුර අනාගතය ගොඩනගාගන්නට තැත් කරන්නේ වෙනත් රටකින්ය. මේවා සාවධානව කල්පනා කළ යුතු කරුණු බව පෙනේ.

අපට විසඳුමක් නැති, විසඳුමක් සොයාගන්නට ප්‍රයත්නයක් නැති පසුබිමක පිටස්තරයන් වෙත නැඹුරුවෙන ප්‍රවණතාවක් ඇත. අපේ ජනතාව ලෝකයේ වෙනත් තැනකින් උත්තර සොයන තැනට පත්වීම ගැන අප සියලුම දෙනා වගකිව යුතුය. ජාතික, ආගමික හා දේශපාලන නායකයන් කම්පාවට පත්විය යුතු අතර තමන්ගෙන් ඉටුවිය යුතුව තිබුණ කාර්ය භාරය සාක්ෂාත් නොකිරීම ප්‍රශ්නවලට මුල බව වටහා ගත යුතුය. පවතින අර්බුද මෙනෙහි කර ජනතාව හමුවට පැමිණ ස්වයං විවේචනයක් කළ යුතුව ඇති අතර එය මෙම තීරණාත්මක අවස්ථාවේ ගත හැකි එක වැදගත් තීන්දුවකි.

ත්‍රස්තවාදය තුරන් කළ අපට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කළ හැක. කොවිඩ් වසංගතය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට සමත් වූ අපට පැවැත්ම ආරක්ෂා කරන්නට බැරිකමක් නැත. ආදායම හා වියදම ගැන අවබෝධයක් ඇති, ණය බර ගැන දන්නා අපට අලුත් උත්පාදන අවකාශයක් ඇති කරන්නට ගත හැකි පියවර නොදන්නවා නොවේ.

ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණයකට යා යුතුය. ජනප්‍රියත්වය ගැන හිතන, ඊළඟ ඡන්දයක මනාප ප්‍රමාණය ගණින මෙරට දේශපාලන පක්ෂ විසඳුමක් සඳහා තීරණ ගන්නේ නැත. අලුත් ආකෘතියකට ජනතාව සූදානම් නොකරන අතර ප්‍රායෝගික තීරණ ගන්නට ඉඩ දෙන්නේ ද නැත. එහි භයානක ප්‍රතිඵල අද අප හමුවේ තිබේ. එය ගණනකට නොගෙන තව තවත් කල් හරිමින් සිටිමු. මුලින් සඳහන් කරන ලද පරිදි වෙනත් කොතැනකින් හෝ විසඳුම් ලැබෙන තෙක් පොදු ජනතාව බලා සිටිති. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය. තවත් අදහස් www.milindaprashna.wordpress.com අඩවියෙන් කියැවිය හැකිය.

- මිලින්ද මොරගොඩ



අදහස් (3)

ඊළඟ ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු

විනිවිද Friday, 25 March 2022 07:06 AM

විසඳුම් සෙවීමට නොහැකි දේශපාලකයින් පාර්ලිමේන්තුවට පත්කොට ආර්ථික සමාජීය සහ දේශපාලන අර්බුද සඳහා ඔවුන්ගෙන් විසඳුම් බලාපොරොත්තු වන්නේ නම් එය කිසිදා සිදු නොවන බව රටේ පුරවැසියන් තේරුම් ගත යුතුවේ...

:       1       4

hesa Tuesday, 29 March 2022 09:47 PM

විසඳුම් සෙවීමට නොහැකි දේශපාලකයින් පාර්ලිමේන්තුවට පත්කොට ආර්ථික සමාජීය සහ දේශපාලන අර්බුද සඳහා ඔවුන්ගෙන් විසඳුම් බලාපොරොත්තු වන්නේ නම් එය කිසිදා සිදුනොවන බව රටේ පුරවැසියන් තේරුම් ගත යුතුවේ. අපිට හොඳට කාලා ඇඳල ඉන්න, අපේ රට ගැන පම්පෝරි ගහනවා වගෙම, ඒ බව සත්‍ය කර ලොවට පෙන්වන්නත් අපට ඕන නේද.. ඊට විසඳුම් සොයන්න දේශපාලකයින් පාර්ලිමේන්තුවට යැව්වෙත් අපිම නේද? දැන් අපිම තව තවත්, රටේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වහා විසඳුම් ඉල්ලලා උද්ඝෝෂණය කරන්නෙත් අපිම නේද..? මේවා කිරීමෙන් රටේ තත්ත්වය යහපත් මගට හැරෙනවද..? මෙවන් අවස්ථාවක මේ තුට්ටු දෙකේ වැඩ පෙන්වා අපි බලාපොරොත්තු වන්නේ ඇත්තටම මොනවද..? අපි අපේ රටට අවංකවම ආදරය කරමු. එහෙම සිතිවිල්ලෙන් මෙම "බොර දියේ මාළු බාන" ව්‍යාපාරය නතර කරමු. එදා මනාප දුන් අයම නේද මේ පාරේ යන්නේ පොර කකා.. දැන්වත් මේ අධම ක්‍රියා නතර කරමු නේද? නැත්නම් අපට ලැබෙන්නේ (ඊළඟ වාරයෙදිත් වන්නේ) ආපසු කැරකැවී අප දෙසටම සුන්වූ බලාපොරොත්තු ගොන්නක් නේද..?

:       0       0

fairoos Wednesday, 30 March 2022 02:01 PM

ජාතිවාදයෙන් රටක් ගොඩනගන්න බෑ.. ඒක බහුතර සිංහල ජනතාව තේරුම් ගන්නකොට රට බංකොළොත් වෙලා ඉවරයි... ඊළඟ සැරේත් ඕකම තමයි වෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 425 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site