(ශ්‍රීනාත් ගණේවත්ත)
ලංකාවේ අධ්‍යාපනය ඉංගිරිසි බසින් කළ යුතුය යන හඬ වරින් වර නැඟී මැකී යයි. නොබෝ දා රටේ මහ තැන් කිහිපයෙකින් ම ඒ හඬ ඉතා බලවත් වැ නැඟෙන්නට විය. එහෙයින් ඒ ගැන යන්තම් හෝ විමසා බැලීම කාලීන අවශ්‍යතාවක් වැ ඇත්තේය.

සැබැවින් ම නම් පළමු වැ විමැසිය යුතු කරුණ වැ ඇත්තේ අධ්‍යාපනය දෙන භාෂාව නොව කවර භාෂාවෙකින් හෝ වේවා දෙන අධ්‍යාපනය කිමෙක්ද යන්නයි. මෙරට පාසල්හි දැන් දිගුකලක් තිස්සේ කැරෙන අධ්‍යාපනය මගින් බිහි වනුයේ ස්වායත්ත ස්වාධීන චින්තනයෙකින් තොර වූ ද අලුත් දැනුමක් නොඋපදවන අලුත් යමක් නොනිපදවන අනුකාරක පරම්පරාවකැයි ඇතැම් විද්වත්හු පවසති. ඒ ගැන මෙහිලා වැඩිදුර නොවිමැසෙනුයේ මෙහි අරමුණ අධ්‍යාපනය දෙන භාෂාව ගැන විමැසීම හෙයිනි.
මෙ රට ඉංගිරීසින්ගේ පාලනයට නතු වැ පැවැති (1948 ට පෙර) කල්හි අධ්‍යාපනය දෙන ලදුයේ ඉංගිරිසි බසිනි. ඒ අතර ස්වභාෂාවෙන් උගන්වන පාසල් ගණනාවෙකුදු විය ව(ර්)නක්යුල(ර්) ස්කූල්ස් (Vernacular Schools) යනුවෙන් ඒ පාසල් හැඳින්විණි.
මෙයින් ස්වභාෂාව මෙන්ම පහත් නොවැදැගත් බස යන්න ද හැඟැවේ. ස්වභාෂාව පහත් කොට තැකීමේ තැත මේ වදනිනුදු හැඟැවුණු බව ඉන් පෙනේ.
බොහෝ දෙනෙකු සිතනුයේ අධ්‍යාපනය ස්වභාෂාවෙන් දීම ඇරුඹුණේ (1956 දී) සිංහලය රාජ්‍ය භාෂාව වුවාට පසු ය යනුයි. ඒ වුවද එය කැරුණේ එයට ද තෙ වසරකට පෙර 1953 දීය.
මේ වනාහි ස්වභාෂාව විශේෂයෙන් සිංහලය පිළිබඳ විසිවන සියවසේ දී වූ අතිශයින් වැදගත් සිදු වීමෙකි. එතෙක් ස්වභාෂා පමණක් දන්නවුනට නොහිමි වැ පැවැති මහා ඥාන කෝෂ්ඨාගාරයකට දොර එයින් ඇරිණ. ඒ නම් ඉංගිරිසියෙන් වු බොහෝ පොත්පත් වහවහා සිංහලයට පෙරැළිණ. ඒ මතු නොව නුතන සංකල්ප නව ඥානය සිංහලයෙන් පැවැසිය හැකි පරිදි නව වදන් තැනිණ. ඒ හැමට ම වඩා වටනා කරුණ නම් අන්තර්ජාතික වශයෙනුදු පිළිගැනුණු පරිදි මවුබසින් ඉගැනීමේ හිමිකම අයිතිය මෙරට සිසු පරපුරට ලැබිය හැකි වීමයි.
සියලු පාසල්හි මුල සිටම ඉංගිරීසියෙන් ඉගැන්විය යුතු යැයි දැන් යළි දු නැගෙන හඬ මේ හැම ආපසු හරවන්නක් වේ. විශේෂයෙන් ම මවුබසින් ඉගැනීමට ඇති හිමිකම මුලිනුපුටා දැමීම මහත් අපරාධයක් බව නො වළහා කිය යුතුය. මෙයින් වන හානිය සියුම් ව විමසා බැලිය යුත්තෙකි.
මෙරට ජනයාගෙන් අතිමහත් පිරිසක් එදිනෙදා වහරන්නේ සිය මවුබසයි. මෙසේ ගෙදර දී මවුබස වහරන දරුවන් පාසලේදී අමුතු බසෙකින් ඉගැනීම ඔවුන්ගේ භාෂා සංවේදීතාව නැති වීමට හේතුවේ. ඒ මතුනොව කුඩා දරුවන්ගේ මනසට මෙසේ භාෂා දෙකෙකින් කටයුතු කිරීම කිසි සේත් දැරිය හැක්කක් නොවන හෙයින් ඔවුනට එක් බසක් වත් නිසිසේ උගත හැකි නොවනු ඇත.
එය ඔවුන්ගේ භාෂා ශක්‍යතාව විනාශ වීමට හේතුවෙකි. සියබසින් හෝ ඉංගිරිසියෙන් හෝ නිවැරැදි වැ වැකියක් ගලපා ලියාගත නොහැකි පරපුරක් ඇති වුවහොත් පුදුමයෙක් නොවේ. දැනුදු ඊනියා ‘ජාත්‍යන්තර’ පාසල්වල එබන්දන් නොඅඩු වැ සිටින බව ඒ පාසල්හි ගුරුවරු මැනැවින් දනිති. භාෂා ශක්‍යතාව වනාහි බුද්ධීය ශක්‍යතා සියල්ලන් හා අත්‍යන්තයෙන් බැඳී පවතී. භාෂා ශක්‍යතාව හා එක්වැ එ හැම ද පරිහානියට යනු නියතය.
බුද්ධීය ශක්‍යතා පිරිහුණු මිනිසුන් තුළ නිර්මාණාත්මක චින්තනයක් කිසි ලෙසෙකින් ඇති නොවේ. ලොවෙහි හැම දියුණු ජාතියක්ම නිර්මාණාත්මක චිත්තනය මගින් ‘අලුත් අලුත් දෑ’ නිපැදැවීමෙහි යෙදුණු ජාතීහුය. මෙසේ විමසා බලන කල්හි ඉංගිරිසියෙන් ඉගැන්වීම යනු සමස්ත ජාතියේ ස්වාධීන, ස්වායත්ත නිර්මාණාත්මක චින්තනය විනාශ කොට පරිහානිය කරා ඇද දමන්නක් බව මැනැවින් පෙනේ.
භාෂාව වනාහි සංස්කෘතියෙහි ද ප්‍රධාන අංගයක් වේ. යම් ජන වර්ගයක් ජාතියක් බවට පත් වනුයේ ඔවුන් එක් සංස්කෘතියෙක පිහිටි කල්හිය. සංස්කෘතියෙහි පැවැත්ම ඒ අයත් දැයෙහි මවුබස හා බැඳී පවත්නේ නොබිඳිය හැකි ලෙසිනි. එ මවුබස නිවෙසින් ඔබට නොගෙන ගොස් සියලු වැදැගත් කටයුතු වෙනත් බසෙකින් කරන්නට වු කල සංස්කෘතිය ද අනුක්‍රමයෙන් වැනැසෙනු නොවැළැක්විය හැකිය.
මෙරට ජාතික සංස්කෘතිය නසා වනසා දමා බටහිරියන් අනුකරණය කරන දීන සංස්කෘතියේ මුල් පියවර ද මේ ඉංගිරිසියෙන් ඉගැන්වීම මගින් සටහන් වේ. සිංහලයෙහි මුල් සිඳගත් ඉංගිරිසියන් (වෙසෙසින් ඇමෙරිකා ජනයන්) අනුකරණය කිරීමේ මුග්ධ ඕලාරික ‘සංස්කෘතියක්’ දැනුදු මෙරට එක් පිරිසක් අතර පවතී. එය සුජාත බවට පත් කොට සමස්ත ජාතියේ පොදු සංස්කෘතිය කිරීම ඉංගිරිසියෙන් ඉගැන්වීමේ ප්‍රයත්නයේ යටි අරමුණ බව ඉතා පැහැදිලිය.
චින්තනය මෙන්ම වින්දනය ද ජාතියෙක ශිෂ්ටත්වයේ සාධකයෙකි. ලලිත කලා මෙන්ම ප්‍රබන්ධ සාහිත්‍යයේ ද චින්තනයේ ප්‍රධාන ප්‍රභව වේ. සම්පූර්ණ අධ්‍යාපනය ඉංගිරීසියෙන් ලද්දෙන් කෙසේ නම් සිංහලයෙන් ප්‍රබන්ධ කරණයේ යෙදේද? යන්තම් හෝ එබන්දෙක් යමක් ලියන්නේ නම් ඒ ව්‍යක්ත භාෂාවෙන් නොව එතැනින් මෙ තැනින් අහුලාගත් රොඩු බස් වහරෙකින් වනු නිසැකය. සියබසෙහි වියරණය වත් ව්‍යඤ්ජන ශක්තිය වත් නොදැන ඉංගිරිසියෙන් ලෑටි ගාගත් සිංහලයෙකින් ලියන්නෝ දැනුදු දුලබ නොවෙති. ඉතින් චිත්තනයෙන් පිරිහුණු වින්දනයෙන් පිරිහුණු ඉංගිරිසි දැනුමේ මානයෙන් ඉදිමුණු ජාතියක් කවර නම් දියුණුවකට යෙයිද?
මේ සියල්ල පසකට කොට ඉංගිරීසියෙන් ඉගැන්වීමට හේතු සේ දැක්වෙන කරුණු මඳක් විමසමු. අනාගත ලෝකයට මුහුණ දීමට නම් ඉංගිරීසිය දත යුතු යැයි යනු එහිලා ප්‍රධාන හේතුව සේ දැක්වේ. ලොව දිනන පුරවැසියන් බිහි වන්නේ ඉංගිරීසි දැනුම නිසා යැයි ද කියනු ලැබේ. එසේ නම් එයට එක් ම පිලියම වනුයේ ඉංගිරීසිය මැනැවින් ඉගැන්වීමයි. කවුරු නම් එයට එරෙහිවෙත්ද? ඉංගිරීසිය ඉගැන්වීමත් ඉංගිරීසියෙන් ඉගැන්වීමත් ඉඳුරා වෙනස් කාර්ය දෙකක් යැයි මොවුනට නොවැටැහීම කවර පාපයක් ද? ඉංගිරීසිය ඉගැන්වීමට ගුරුවරුන් නැති පාසල් මෙරට බෙහෙවින් වේ. කොළඹ පවා එ බඳු පාසල් ඇති කල ගම ගැන කියනු කවරේද? තතු එ බඳුවැ තිබිය දී ඉංගිරිසියෙන් උගන්වන්නට යෑම නිකම්ම විහිළුවක් බව නොකිව මනාය. දේශපාලකයන් මෙබඳු විහිළු කිරීම ඉවැසිය හැකි වුවද බුද්ධිමතුනැයි කියා ගන්නවුනුදු මේ විහිළුව කිරීම නම් ඉවැසිය නොහැකිය. තව සියවසෙකිනුදු ප්‍රායෝගික වැ කළ හැක්කෙකැයි නොපෙනෙන මෙ බඳු ලිහිල් කිරීමෙන් මොවුන්ගේ හීනමානයේ තරම මනාවැ පෙනේ.
යම් හෙයකින් මේ ඊනියා අදහස ක්‍රියාවට නැගුණහොත් ප්‍රායෝගික වැ නිසැක වැ සිදුවන සේ පහසුකම් ඇති නාගරික විද්‍යාලයවල ඉංගිරීසියෙන් ද පහසුකම් නැති ග්‍රාමීය විද්‍යාලයවල ස්වභෂාවෙන් ද උගන්වන්නට වීම කොතරම් දරුණු භේදයකට ඉඩ සලසනු ඇත්ද? එය බලවත් සමාජිය වෛරයකට මඟ නොපැදතියි කිය හැකිද?
පෙරහරකට පෙර කසකරුවන් එනු සිරිතෙකි. ඒ මෙන් මැද කලකට පෙර නීති විද්‍යාලයේ අධ්‍යාපනය මුළුමනින් ම ඉංගිරිසියෙන් දීමට ගත් බලවත් ප්‍රයන්තය ව්‍යර්ථවැ ගිය සැටි දක්නා හැකි විය. මුට්ටිය බිඳුණ ද දැන් සොරා කෙසේ හෝ ගෙට රිංගන්නට මාන බලයි. මේ හීන දීන ප්‍රයත්නය වළකාලන්නට නව භාෂා හිතකාමි දේශමාවත ජාතිමාමක සකල ජනයා එක් විය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ අදහස් පෙළක් මහාචාර්ය තුමනි...!
මගුලක් කතා කරන්න එපා.. මේ සිංහල මගුල 2500 ඉතිහාසය ගැන කයිය ගහලා අද මේ වෙනකොට ලංකාව ලෝකයේ දුප්පත්ම රටක්... ඉංග්‍රීසි නැතුව මොකුත් කරන්න බැහැ..
අපේ දරුවන්ට හැකිතාක් ඉංග්‍රීසි බසින්ම ඉගැන්විය යුතුයි.. නැතිනම් ඔවුන් ලොව තනිවෙනවා.
රැකියාව සඳහා ළදරුවන්ට සිංහලෙන් සුරංගනා කතා කරන රැකියාවක් ලබා ගැනීමට නම්, සිංහලෙන් ඉගෙනගත්තාට ගැටළුවක් නැහැ. ජනතාව පිටරටවලට විකුණා පාලකයින් නඩත්තු වෙන රටක ජනතාවට සිංහලෙන් ඉගෙනගෙන ඒ රටවලට ගොස් බිම් කොටන්න කියලද ඔබ මේ දොඩවන්නේ.? තක්කඩි පාලකයින්ගේ මුසා වලට රැවටෙන, ලෝකය ගැන කිසිවක් අවබෝධ කරගැනීමට නොහැකි ගෝත්‍රිකයින් රැලක් නිර්මාණය කිරීමට නේද ඔබ මේ අරාඳින්නේ? එදා ඉංගීසි මාධ්‍යෙයන් උගත් අය හා වර්තමානයේ උගත් මෝඩයින් අතර වෙනස අපිට නම් පැහැදිලියි.. එදා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් සිංහල ගුරුවරුන්ගේ සැබෑ උගත්කම අද තියනවාද.? එදා අධ්‍යාපනය ලද්දෙකු තුළ තියන වැදගත් කම අද තියනවාද..? ලංකාවේ මහලොකු උගත් මෝඩයින් තමන්ගේ දරුවන්ට පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදී අනෙක් දරුවන්ට සිංහලෙන් උගැන්වීම සුදුසුයි කියලද මේ කියන්නේ..? ඉංග්‍රීසි මාධ්‍යෙයන් අධ්‍යාපනය ලබාදීමට හැකි ඉංග්‍රීසි උගත් විෂය දැනුමැති බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා නමුත් නුසුදුස්සන් මෙන් හිඟන වැටුපකට ඔවුන්ගේ දැනුම ලබාදීමට ඔවුන් එකඟ වෙන එකක් නැහැ. කයිවාරු වලට නොරැවටී ඉංග්‍රීසි හොඳින් ඉගෙනගෙන පිටරටකට පැනගෙන ජීවිතය ගොඩනගා ගනිල්ලා තරුණ දරුවනේ...!
මෙතුමා පවසන දේ සංවේදීයි, නමුත් අප වැනි රටකට ලෝකයට යන්න ඉංග්‍රිසි බස නැතුව බැහැ. වත්මන් රැකියා වෙළඳපල හා ව්‍යාපාර ලෝකය ඉංග්‍රිසි පදනම් කරගෙන ඉදිරියට යන්නක්. එම මගෙහි යනවිට ස්වභාවයෙන්ම සමහර භාෂාවන් අභාවයට යනවා...!
ඉංග්‍රීසි වලට අපොස සාමාන්‍ය පෙලට සම්මානයක් තිබුණත් ගම්බද ප්‍රදේශයක හැදී වැඩුණු මට ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරි වුණු නිසා උපාධියක් තිබුණත් හරි හමන් රැකියාවක් හොයාගන්න බැරිවුණා. අන්තිමට මම ඔක්කෝම වැඩ පැත්තකට දමලා මාස 6ක් ඉංග්‍රීසි කෝස් එකක් කරලා තව මාස 6 සංචාරක හෝටලේක අඩු පඩියට වැඩට ගිය ඉංග්‍රීසි ඉගෙන ගන්න. මගේ උපාධියටත් වටිනා කමක් ලැබුණේ ඉංග්‍රීසි චතුර ලෙස කතාකරන්න පුළුවන් වුණාට පස්සේ... අද මම ප්‍රකෝටිපතියෙක්, රටවල් 40 ක පමණ සංචාරය කරලා තිබෙනවා. සාර්ථක හෝටල් ව්‍යාපාරිකයෙක්, මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැතිනම් අනිවාර්යයෙන්ම කොහේ හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වාඩිවෙලා නිකරුනේ කාලය ගත කරනවා.. මහත්මය මිනිස්සු අමාරුවේ දමන්න එපා.. ඉංග්‍රීසි නැතුව අද මොකක්වත් කරගන්න බැහැ. ජංගම දුරකථනයක් වත් නිසිලෙස හසුරවා ගන්න බැහැ.. ඉදිරියට ඔක්කෝම සිදුවෙන්නේ QR කෝඩ් සහ ඇප් මගින්, මේවා බැරිවුණොත් වෙන්නේ පාර අතුගාන්න.. ඉංග්‍රීසි හෝඩියේ පන්තියේ ඉඳන් උගන්වන්න ඕනේ, ඉංග්‍රීසි ඉගෙන ගන්න එක සිංහල ඉගෙන ගන්නවාට වැඩිය ලේසියි.. කුඩා කල ඉඳන් ඉගෙන ගන්නවා නම්, ඉස්පිලි, පාපිලි, ඇලපිලි නොමැති නිසා, ඉංග්‍රීසි ජාතිකයෝ අවුරුදු 100 වැඩි කලක් රට පාලනය කළත් ලංකාවේ මිනිස්සුන්ට සිංහල බැරි වුණේ නැහැ...
මේ වගේ අදහස් මිනිස්සුන්ට දෙන්න එපා...
අද යම් කෙනෙකුට ඕනේකමක් තිබේ නම්, අන්තර්ජාලය හරහා පහසුවෙන්ම නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගත හැකියි. මීට උදාහරණයක් නම් DP Education වැඩ සටහන. නමුත් බොහෝ දෙනා තවමත් පුරුදු වී සිටින්නේ අන්තර්ජාලය අනවශ්‍ය ඕපාදූප සෙවීමට භාවිතා කරමින්, රටේ ඉංග්‍රීසි ගුරු හිඟය ගැන මැසිවිලි කීමටයි...!
එදිනෙදා කතාබහට සහ ගෙදරදොර භාවිතයට මිස සිංහල බස සමග යා හැකි දුරක් නැත. බණ්ඩාරනායකලා සිය පංතිය රැකගන්නට ගෙනා සිංහල පමණයි වැඩ පිළිවෙල නොවන්නට ලාංකිකයින්ට බොහෝ දුරක් යන්නට ඉඩකඩ තිබිණි. ඒ වරද නිවැරැදි කරන්නට හදන මේ අවස්ථාවේ මෙවැනි ගෝත්‍රික අදහස් නැත්තේනම් මැනවි...!
මේ වගේ බයියන් ඉන්නකන් රට එතැනමයි.
ඉංග්‍රීසි භාෂාවේ දැනුම වර්තමාන ලෝකයට අවශ්‍ය වේ...!
විකාර...!
මෙහෙම අය අදත් ඉන්නවනේ. සිංහලෙන් උගන්වලා රටත්, ජාතියත් හැදිලා තියෙන තරම දන්නෝ දනිති...!
ළින් මැඩියෝ කියන්නේ මෙයාලාටම තමයි...
කන්න බොන්න වත් හරිහැටි නැති රටක සංස්කෘතියක් ගැන කතා කීරීමම කොපමණක් නුවණට හුරුද යන්න වෙනම සංවාදයක්... භාෂාවක ප්‍රධාන අරමුණ වන්නේ තොරතුරු හෝ විධාන සන්නිවේදනය කිරිමයි. ලොකේ හොයන්නේ ඉංග්‍රීසි (හෝ වෙනයම් බහුලව භාවිතා වන බසක්) දන්න මිනිස්සුන්ට වඩා ඉංග්‍රීසියෙන් (හෝ වෙනයම් බහුලව භාවිතා වන බසක්) වැඩකරන මිනිස්සු. නැත්තම් සිංහලෙන් හෝ වෙනයම් භාෂාවකින් ඉගෙන ගත්ත දේ ඉංග්‍රීසිවලට ට්‍රාන්න්ස්ලේට් කරලා පවිච්චි කරන මිනිස්සු නොවේ. ලොකයේ බහුලවම භාවිතා කරන භාෂා වලින් ලංකාවේ මිනිස්සුන්ට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් ඉංග්‍රීසි විතරයි.
චීනය කැමතිද ලංකාවට දෙන චීන ණය වෙල්ලාලයන් හරහා ඉංදියාව ගන්නවාට... ණය ලංකාවට... වාසිය ඉන්දියාවට...!
මොහු කියන්නේ බොරු... - 1958 වර්ෂයේදීත් මා ජේෂ්ඨ විභාගයට පෙනී සිටියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්... මගේ සිංහල හැකියාව අද සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා බොහෝ දෙනෙකුට ඉහළයි. සිංහල පිළිබඳ මහාචාර්ය ජේ.බී. දිසානායක ඉගෙන ගත්තේත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සිංහල, ඉංග්‍රීසි ශබ්ද කෝෂය සකස්කළ චාල්ස් කාර්ටර් සුද්දෙක්...
ඉඳහිට මෙවැනි ලිපියක් කියවීමට ලැබීම නම් යෙහෙකි. නමුත් කතුතුමා ලෝකය වේගයෙන් වෙනස් වන බව නොසලකා හැරීම අපට නොසලකා හැරිය නොහැක. මීට දශක කිහිපයකට පෙර අප සමග දුප්පත් යැයි සලකන ලද අප්‍රිකාවේ බොහෝ රටවල්, මෙන්ම නැගෙනහිර අසියාතික බොහෝ රටවල් සිය මව් භාෂාව පාසලේ ඉගැන්වීම ඇරඹීමට පෙර හෝ ඒ සමගම ඉංග්‍රිසි භාෂාව උගන්වයි. ඒ මගින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් අත්කර ගෙන සිටී. උදාහරණයක් ලෙස මීට දශක 3කට පමණ පෙර අපගේ රටේ සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා වැඩි ශීෂ්‍යත්ව ගණනක් ලැබුනේ යුරෝපීය රටවලිනි. නමුත් අපට දැන් එම අවස්ථා අඩුවී ඇත. සැබවින්ම අපට ඒ අවස්ථා අඩුවීම නොවේ. සිදුව ඇත්තේ එම ශීෂ්‍යත්ව සඳහා අවශ්‍ය ඉංග්‍රිසි අවශ්‍යතා සපුරා ගැණීමට අපගේ සිසුන් අසමත් වීමයි. එම ශිෂ්‍යත්ව අප්‍රිකානු සිසුන් දිනාගනී. අවශ්‍යව ඇත්තේ ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් මිස හණමිටි කරුවන් නොවේ. භාෂාව සන්නිවේදන මාධ්‍යයකි. බහුතරයක් සමග සන්නිවේදනය කළහැකි භාෂාවක් ඉගෙන ගැනීම අවාසියක් වන්නේ කෙසේද?
මේ අය දන්නේ හැම එකටම ඇමරිකන් කාරයා දාගෙන යන්න විතරයි. අපරාදෙ සල්ලියැ. අපට අහවල් තැනින් හිනායැ...
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම එකක්. එය අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන්නේ ඊට වඩා බොහෝ වෙනස් කාරණයක්. අප ඉංග්‍රීසි භාෂාව පමණක් නොව හැකිතාක් වෙනත් විදේශීය භාෂාවන් ද උගත යුතුයි. දැනටමත් බොහෝ අය ජපන් කොරියන් වගේ භාෂා ඉගෙන ගන්නවා. පාසල් දරුවන්ට මූලික අධ්‍යාපනය මවු භාෂාවෙන් ලබා නොදී වෙනත් භාෂාවකින් ලබා දීම එරටේ ජාතික අනන්‍යතාව මෙන්ම සභ්‍යත්වයද වඳ කිරීමේ මූලික හා සඵලදායී පියවර වෙනවා. කතෘවරයා අරහෙන් මෙහෙන් කරුණු කාරණා අලලා වක්‍රාකාරව කියන්න උත්සාහ කර ඇත්තේ අන්න ඒ කාරණාවයි. ඒ නිසයි මෙතන හුඟක් දෙනෙක් ප්‍රශ්නය වැරැදි තැනකින් අල්ලාගෙන විවේචනය කරන්නේ. භාෂාව යනු හුදෙක් සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොවන බවද සිහිකළ යුතුයි. පුවත්පත් අන්තර්ජාල පුස්තකාල යනාදියෙන්කෙනෙකුට අවශ්‍ය නම් ඕනෑ හැටියට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්...
රනිල් ඉංග්‍රීසි කතන්දරේ ගේන්නේ එයාලාගේ පන්තිය රැකගැනීමේ වුවමනාවට නමුත්..., දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුමයි... ග්‍රාමීය කොටස්වලට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම රජයේ වගකීමක්... - ඊට අමතරව අපි කවුද අපේ භාෂාව මොකක්ද කියන එක දරුවෝ දැනගත යුතුයි..!
යම් යම් අය මොන දේ කරත් අනිවාර්යයෙන්ම මව් භාෂාවට පළමු තැන...
මහාචාර්ය තුමාට තියෙන්නේ තරහක් වගේ ඉංග්‍රීසිත් එක්ක. එතුමා කියන්නේ ඉංග්‍රීසියෙන් ඉගැන්නුවාම අපේ සංස්කෘතිය නැති වෙනවායි කියලා ඒත් අපේ සංස්කෘතියේ මහගෙදර ඉන්දියාව උගන්වන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යෙයන්. ඉන්දියාවට මොකක්ද වෙලා තියෙන්නේ? ඔවුන් ලෝකයේ වේගයෙන් ඉදිරියට යනවා...
ගොත්‍රික ළින් මැඩියෝ කියන්නේ කව්ද කියලා ඇහුවොත් මෙයාව පෙන්වන්න...!
ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරිනම් දමිළ භාෂාවත් ඉගෙන ගන්න බලන්න. අඩුම ගානේ තමිල්නාඩුවටවත් ගිහිල්ලා ජිවිතේ ගැට ගහගන්න පුළුවන් වෙයි...!
මහාචාර්යතුමා පී.එච්.ඩී. කළේ සිංහලෙන්ද?
එතකොට අර සිංගප්පූරුවේ අය ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන ගත්තාට චීන භාෂාව බැරි සිංගප්පූරු චීන ජාතිකයෙක් නැහැ. දැන් සිංහලේ රාජ්‍ය භාෂාව කරායින් පස්සේ සිංහලේට වුණු සේවය කාටවත් පේන්න තියෙනවාද?
මේක නම් හොඳ වැඩක්. ගස් නගින්න ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරන්න, පාරවල් වල වැඩට අයත් එපැයි...
ඉංග්‍රීසි කතා කරන්න හොඳ වලව් පැලැන්තියට පමණද? රාජ්‍ය භාෂාව සිංහල කරපු වලව් කාරයා ඉගෙන ගත්තේ ඔක්ස්ෆෝර්ඩ්වල දරු දෙන්නත් ඉගෙන ගත්තේ පැරිස් නුවර සහ එංගලන්තේ..., ඔහුගේ ලණුව කාලා අපි අපේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරගත්තා... මහත්මයා අපට ලණු දෙන්නේ නැතුව වෙන වැඩක් බලාගන්න...
පීඩිත පන්තියේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය විනාශ කළාට, ඔවුන්ගේ සහ කොළඹ 7 වලවූ පැලැන්තියේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම දිගටම කරගෙන ගිය, අපේ උපාධිවල වටිනාකම පහළ වැටීමට ප්‍රධාන හේතුවක්, උසස් අධ්‍යාපනයට අදාල පොත පත බහුතරයක් පලවී තිබෙන්නේ ඉංග්‍රීසි, ස්පැනිෂ්, ප්‍රංශ, ජර්මන්, රුසියන් වැනි භාෂාවලින්, ඉංග්‍රීසි හෝ කලින් සඳහන් කළ භාෂා බැරි කෙනෙකුට මෙම පත පොත පරිශීලනය කරන්න බැහැ...
දැන් සිංගප්පූරුව විනාශ වෙලාද? මේ වගේ අයට වියදම් කිරීමත් අපරාධයක්...
මහාචාර්ය තුමා ඇතිද අහගත්තා... දැන් ඉන්න මිනිස්සුන්ට ඉස්සර වගේ බොරු ජාතිවාදය සහ ඊනියා දේශප්‍රේමය මාර්කට් කරන්න බැහැ.. දැනට අවුරුදු 3 කට කළින්නම් මේවා මාර්කට් කරන්න පුළුවන්... දැන් මිනිස්සු දෙයක් විශ්වාස කරන්න ඉස්සරවෙලා සිතල බලනවා. ඉංග්‍රීසි ජාතිකයෝ රට පාලනය කළා කියලා අපට සිංහල අමතක වුනේ නැහැ... අපි සිංහල කතා කරනවා... නමුත් අනාගතේදී ගොඩයන්න නම් අපිට අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනවා...!
දෙමව්පියෝ කරුණාකර කුඩා කල සිට ළමුන්ට ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව හොඳට උගන්වන්න බලන්න. එහෙම කරලා මුදල් තිබෙනවා නම් O/L වලින් පස්සේ SLIT වැනි ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක ෆවුන්ඩේෂන් කොර්ස් එකක් කරලා උපාධිය හදාරන්න යොමු කරන්න.. ළමයට වයස 22-23 ලෝකෙම පිළිගන්න උපාධියක් සහිත පුද්ගලයෙක් වේවි... පරණ ක්‍රමයට ගියොත් රජයේ පාසල්වල A/L කරලා ටියුෂන් කඩවල ලැගලා අන්තිමට විශ්වවිද්‍යාලවල යන්න ලකුණු මදි වෙලා ගෙදර ඉඳීවි. 10% කට පමණක් පුළුවන් රජයේ විශ්වවිද්‍යාල වල යන්න, එකේ ගිහින් ගුටිකාලා, නවක වදය විඳලා ඉගෙන ගෙන එළියට එනකොට වයස 28-30 වෙලා , ඊට පස්සේ පුළුවන් රැකියා ඉල්ලමින් මහපාරේ උද්ගෝෂණ කරන්න. වරද රටේවත්, ජනතාවගේවත් නොවේ සම්පුර්ණ වැරදිකාරයෝ මේ අධ්‍යාපන ක්‍රමය නවීන ලෝකෙට, රටට සහ රටේ ආර්ථිකයට ගැලපෙන ලෙස වෙනස් කරන්න කටයුතු නොකරන මහාචාර්යවරු සහ ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියාකරන 8 සමත් ගොබ්බ දේශපලුවන්ගේය...
මෙයාගේ මූණ බැලුවාම කවුද කියලා
ඇත්තෙන්ම කුණුකන්දල්...!
එහෙනම් ඉතින් සිංහලෙන් උගන්වලා ජාතිය ගොඩදාලා පෙන්නන්නකෝ...?
කැමැති අයට සිංහලෙන් ඉගෙන ගන්න කියන්න... කැමැති අය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන් ඉගෙනගත්තොත් ලෝකය දකින්න පුළුවන් සිංහලෙන් ඉගෙන ගෙන ගමේ ඉන්න පුළුවන්... ආයේ ඕක ගැන සංවාද කරලා ඵලක් නැහැ...