IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අන්තවාදී සංවිධානයට ලැබුණු කෝටි 100 න් මොනවද කළේ

 
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අන්තවාදී මුස්ලිම් සංවිධානයක ගිණුමකට වසර හතරක කාලයක් රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ගිණුමට බැර කර තිබූ එම මුදල් එම සංවිධානය විසින් වරින් වර ඉවත් කරගෙන තිබෙන බවත් එම ගිණුම අධිකරණය විසින් අත්හිටවනු ලබන විට ඉතිරිව ඇත්තේ රුපියල් 125000 ක මුදලක් පමණක් බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
 
ඩුබායි රටේ සැඟවී සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුරේ රහිම් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ගිණුම සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත. 2013 වසරේ සුබ සාධන ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් ලියාපදිංචි කර ඇති මෙම සංවිධානයේ අධ්‍යක්ෂ මණ්‍ඩලයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන බවත් මෙම මුදල් කුමක් සඳහා යෙදවූයේ ද යන්න සොයා ගැනීම පරීක්ෂණයෙහි අරමුණ බවත් අප ප්‍රවෘත්තිය වාර්තා කර තිබිණි.
 
ඕනෑම ත්‍රස්ත සංවිධානයකට අරමුදල් අවශ්‍ය වේ. මත්ද්‍රව්‍ය ජාවාරම ඉන් ප්‍රධානය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ද ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම වේ. එහි අරමුණු දෙකක් විය. පළමුවැන්න නම් විශාල ආදායමක් උපයා ගැනීමය. දෙවැන්න ඔවුන් නොපිළිගන්නා සමාජ කොට්ඨාසය විනාශ කිරීමය. මෙයින් පැහැදිලි වන්නේ ත්‍රස්තවාදය එක් තලයක පමණක් ක්‍රියාත්මක නොවන බවය. ත්‍රිකුණාමලය අන්තවාදී මුස්ලිම් සංවිධානයක ගිණුමකට රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් බැරවීමේ සිදුවීමත් එය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලියක් හරහා සිදු කිරීමත් බොහෝ සෙයින් විමර්ශනවලට ලක් කළ යුතුවන්නේ එහෙයිනි.
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පමණක් විමර්ශනය කර ෆයිල් වසා දැමුවේ නම් අන්තවාදී මුස්ලිම් සංවිධානයක ගිණුමකට මුදල් බැරවීම සොයා ගැනීමට නොහැකි වනු ඇත. එහෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර අනාගත මහ පිපුරුම් වළක්වාලීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට ප්‍රණාමය පිරිනැමිය යුතුය. සහරාන්ලාට පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට හැකි වූයේ ආරක්ෂක ක්‍රියාදාමයේ තිබූ ලිහිල් බව හා දුර්වලතා නිසා බව ඉතා පැහැදිලිය. ඒ බව පාස්කු කොමිෂන් වාර්තාවේ ද සඳහන්ය.
 
 “හක්කේ බුදු රැස් බොක්කෙ දඩමස්” යනුවෙන් කියමනක් තිබේ. 
ගවයන් සොරකම් කර ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයේ ඉදිරිපස “බුදු සරණයි හෝ ජේසු පිහිටයි” යනුවෙන් සඳහන්ව තිබිය හැකිය. එබඳු ආශිර්වාදාත්මක වැකි සහිතව යමින් මහා පාපී ක්‍රියා නොකරනු ඇතැයි යමකු විශ්වාස කිරීම එයට හේතුවය. 
 
ත්‍රිකුණාමලයේ අන්තවාදී මුස්ලිම් සංවිධානය ලියාපදිංචි කර තිබෙන්නේ 2013 වසරේ දීය. ඒ සුබ සාධන ස්වේච්ඡා සංවිධානයක් ලෙසය. එහෙත් දැන් අනාවරණය වන්නේ එය අන්තවාදී මුස්ලිම් සංවිධානයක් බවය. සුබ සාධන ස්වේච්ඡා සංවිධානයක බෝඩ් ලෑල්ලකට මුවාවී එම සංවිධානය ක්‍රියාත්මක වී තිබෙන්නේ එසේය. එම සංවිධානයේ ගිණුමට බැරවූ රුපියල් කෝටි 100 කට අධික මුදල වරින්වර රැගෙන ඇත්තේ කුමක් සඳහා ද යන්න දැඩි විමර්ශනයට ලක් කළ යුතුය. 
 
පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු කළ පරීක්ෂණවල දී නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන නමින් ලියාපදිංචි කර පවත්වාගෙන යනු ලබන බොහෝ සංවිධානවලට විදෙස් රටවලින් කෝටි ගණන් මුදල් ලැබී ඇති බව අනාවරණය විය. 
 
මෙම මුදල් සත්‍ය වශයෙන්ම ලැබුණේ කුමක් පිණිස ද යන්න සොයා බැලිය යුතුය. මෙම මුදල් අන්තවාදී මත දරන පුද්ගලයන් උද්දීපනය කිරීම සඳහා යොදා ගත්තේ ද යන්න විමසිය යුතුය. සහරාන්ලා ඉබේ බිහිවීමට ඉඩක් නැත. ඒ සඳහා සරු පසක් තිබිය යුතුය. ඔවුන්ට ආධාර උපකාර කිරීමට පිරිස් සංවිධාන සිටිය යුතුය. මේ සම්බන්ධයෙන් නිරන්තර සෝදිසියකින් නොසිටීමේ තාර්කික අන්තය වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය වේ. මුළු රටම ඒ වෙනුවෙන් වන්දියක් ගෙව්වේය.
 
ඕනෑම පුද්ගලයකුට කැමැති කැමැති ආකාරයට සංවිධාන පිහිටුවීමේ ඉඩකඩ අහුරා දැමිය යුතුය. ඕනෑම සංවිධානයක් විනිවිද භාවයෙන් පවත්වාගෙන යා යුතුය. එම ආයතන නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුය. එබඳු යාන්ත්‍රණයක් නොවීමේ ප්‍රතිඵල මුළු රටම අත්විඳ තිබේ. එහෙයින් අතීතයෙන් පාඩම් ඉගෙන වර්තමානයේ සිට අනාගතය සැලසුම් කළ යුතුය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමේ පිළිවෙතින් දුරස් නොවන්නේ නම් පාස්කු ප්‍රහාර වැනි ප්‍රහාරවලට දොරටු විවර වනු ඇත.
 



අදහස් (0)

අන්තවාදී සංවිධානයට ලැබුණු කෝටි 100 න් මොනවද කළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site