ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ රජයට අයත් ශ්‍රීලංකන් එයා ලයින්, ශ්‍රී ලංකා ටෙලි කොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ප්‍රතිව්‍යූහගත කරන බව සඳහන් වේ. රජයට අයත් ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණා දැමීමට යන බවත් එය රත්තරන් බිජු දමන කිකිළියක් එකවර බිත්තර සියල්ල ගැනීම සඳහා මරා දැමීමට සමාන ක්‍රියාවක් බවත් සමහර අය ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලියට මුලපිරූ මෙරට රාජ්‍ය නායකයන් වන්නේ ආර්. ප්‍රේමදාස මහතා සහ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියයි. ප්‍රේමදාස මහතා ජනසවිය, නිවාස දස ලක්ෂයේ වැඩසටහන වැනි යෝජනා ක්‍රම ඔස්සේ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ නායකයෙකි. එහෙත් එතුමා, රජය විසින් සමහර නිෂ්පාදන සහ සේවා ආයතන පවත්වාගෙන යාම අකාර්යක්ෂමතාවට හේතු වන බවත් එබැවින් එම ආයතන පෞද්ගලිකකරණය කළ යුතු බවත් තරයේ විශ්වාස කළේය.

රුසියාවේ ජනාධිපති මිහයිල් ගොර්බචොෆ් (Mikhail Gorbachev) එරට සමාජවාදී ආර්ථික ක්‍රමය වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට පරිවර්තනය කිරීම පිළිබඳව සතුටට පත්ව සිටියේය. ගොර්බචොෆ්ගේ එම වැඩපිළිවෙළ පෙරෙස්ත්‍රොයිකාව (Perestroika) නමින් හඳුන්වනු ලැබීය. ප්‍රේමදාස මහතා  රුසියාවේ පළ වූ පෙරෙස්ත්‍රොයිකා නම් කෘතිය සිංහලට පරිවර්තනය කරවා මුද්‍රණ සංස්ථාව ලවා ප්‍රකාශයට පත් කළේය.

ප්‍රේමදාස මහතා පෞද්ගලිකකරණය (Privatization) යන වචනයට කැමැති වූයේ නැත. එනිසා ඔහු එය ජනතාකරණය (Peoplization) වශයෙන් හැඳින් වූයේය. පෞද්ගලික අංශයට අලෙවි කරන රාජ්‍ය සංස්ථාවල අයිතියෙන් කොටසක් සේවක කොටස් සහ මහජන කොටස් ලෙස මහජනතාවට අයත් වන බවත් එබැවින් එය ජනතාකරණය ලෙස හැඳින්වීම වඩාත් සුදුසු වන බවත් ඔහුගේ අදහස විය.

රජයේ අයවැය ලේඛනයේ ආදායම හා වියදම අතර පරතරය පියවා ගැනීම සඳහා පෞද්ගලිකකරණයෙන් ලබාගන්නා ආදායම යොදා ගැනීමට ඔහු කටයුතු කළේය. 1989 දී පෞද්ගලිකකරණය ආරම්භ කළ අතර එම වර්ෂයේ ඒ තුළින් ලැබූ ආදායම රුපියල් මිලියන 95ක් විය. එම ක්‍රියාවලිය 1993 වසර දක්වාම ක්‍රියාත්මක වූ අතර 1993 දී ජනාධිපති ධුරයට පත්වූ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා ද එම පිළිවෙත දිගටම අනුගමනය කළේය.

ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් එවක රජයට විශාල ආදායමක් ලබාදුන් ශ්‍රී ලංකා ස්කාගාර සංස්ථාව (ඩිස්ටිලරීස්) 1992 පෙබරවාරි මස 20 දින පෞද්ගලික අංශයට අලෙවි කිරීමට කටයුතු කරන ලදී. ලාභ ලබන ස්කාගාර සංස්ථාව විකුණා දමන බවට කිසිවෙක් චෝදනා කළේ නැත. එය රජයට ආදායම් ලබාදෙන, විදේශ ආයෝජකයන් සමඟ එකතුව නව නිෂ්පාදන බිහිකරන, රටේ ප්‍රධාන නිෂ්පාදන ආයතනයක් බවට පත්විය.

චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට මානුෂික මුහුණුවරක් ලබාදෙන බව ප්‍රකාශ කළාය. ආර්ථිකයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහාත් රජයේ ආදායම් - වියදම් පරතරය පියවා ගැනීම සඳහාත් රජය සතු ව්‍යාපාරික ආයතන පෞද්ගලිකකරණය කළ යුතු බව ඇය ද තරයේ විශ්වාස කළාය. එතුමියගේ කාලය තුළ සෑම වසරකදීම කවර හෝ රාජ්‍ය ආයතන ගණනක් අලෙවි කර අයවැය හිඟය පියවා ගැනීම සඳහා මුදල් ලබා ගත්තාය.

පෞද්ගලිකකරණයෙන් රජය වැඩිම ආදායමක් ලැබූ වර්ෂය වන්නේ 1997 වර්ෂයයි. එම වර්ෂයේ රජයේ අයවැය හිඟය රුපියල් මිලියන 64,642ක් විය. එයින් රුපියල් මිලියන 22,499 ක් එනම්, හිඟයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් පියවා ගන්නා ලද්දේ රාජ්‍ය ආයතන අලෙවිය මඟිනි.

චන්ද්‍රිකා රජය 2003 දී ලාභ ලබමින් සිටි තවත් රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කළේය. කිසිවෙක් එය පෞද්ගලික අංශයට විකුණා දැමීම පිළිබඳව මතක තිබෙන ආකාරයේ විරෝධතාවක් ඉදිරිපත් නොකළේය. රක්ෂණ සංස්ථාව මිල දී ගනු ලැබුවේ. ලංකා ඩිස්ටිලරීස් සමාගම විසිනි. රක්ෂණ සංස්ථාව විසින් ඉන්දියානු ජාතිකයන්ට අයත්ව තිබූ ඇපලෝ රෝහල 2006 දී මිලදී ගෙන ලංකා හොස්පිටල් ලිමිටඩ් ලෙස නම් කළේය.

එය 2007 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කිරීම විධිමත් නොවන බැවින් එම ගනුදෙනුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේය. නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2009 ජූනි 04 දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම ගනුදෙනුව අවලංගු කළේය. රක්ෂණ සංස්ථාවත් එය විසින් මිල දී ගත් ලංකා හොස්පිටල් ආයතනයත් රජයට පැවරිණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආරම්භ කරන ලද්දේ 1852 දී බ්‍රිතාන්‍ය පාලන සමයේය. රටේ දුරකතන ඒකාධිකාරය 1990 දශකය වන තෙක් එයට හිමිව තිබූ නමුදු දේශීය දුරකතන ඉල්ලුම සපුරාලීමට එයට නොහැකි විය. දුරකතනයක් ලබාගැනීමට වසර තුන හතරක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදු විය. 1997 දී ජපානයේ NTT ආයතනයට එහි කොටස්වලින් සියයට 44.98ක් අලෙවි කළ අතර ඉන්පසු ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම සහ අඩුම මිලට දුරකතන සේවා සපයන රට බවට පත් විය. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය පිළිබඳව මේ දිනවල විවිධ මත ප්‍රකාශ කරන බව පෙනී යයි. ඒවා බොහෝදුරට දේශපාලන අරමුණු අනුව කෙරෙන මත දැක්වීම් බව පැහැදිලිය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මීට පෙර පෞද්ගලිකකරණය කරන ලද අවස්ථාවේ දී අද විරෝධතා එල්ල කරන අයගෙන් කිසිදු විරෝධතාවක් ප්‍රකාශ නොවුණ ද දැන් ඒ ආකාරයට කටයුතු කරන්නේ කවර හේතු නිසා ද යන්න විමසා බැලිය යුතුව ඇත.

ශ්‍රීලංකන් එයා ලයින් ගුවන් සේවය විකුණා දැමීම පිළිබඳව කිසිවකුගේ විරෝධතාවක් නැත. එයට හේතුව එය මාස්පතා විශාල පාඩුවක් ලබන, විශාල වශයෙන් ණය වී ඇති ආයතනයක් නිසාය. ගුවන් සේවා සැපයීමට සම්බන්ධ ශ්‍රී ලංකා කේටරින් සහ ගුවන් තොටුපොළ මෙහෙයුම් සමාගම යන දෙක ලාභ ලබන බැවින් ඒවා විකිණීමට විරුද්ධය. පාඩු ලබන, ණය වී සිටින ආයතන මිල දී ගැනීමට ආයෝජකයන් ඉදිරිපත් වනු ඇතැයි එම අය අදහස් කරති. 

ශ්‍රීලංකන් ආයතනය එක්තරා කාලයක ලාභ ලැබූ ඉතා තරගකාරී ආයතනයක් විය. එහෙත් රාජ්‍ය අංශයේ ආයතන එක්තරා කාලයක ලාභ ලැබුව ද අවසානයේ ඒවා අලාභ ලබන සුදු අලි බවට පත්වේ. එම තත්ත්වයට පත්වීමට පෙර රජයේ ව්‍යාපාර ආයතන අලෙවි කර දැමීම සුදුසුය. 

රාජ්‍ය අංශයට ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම තුළ ලැබෙන අමුතු ප්‍රතිලාභයක් නැත. අකාර්යක්ෂමතාව, අධික සේවක සංඛ්‍යාව, වංචා සහ දූෂණ වැනි ක්‍රියාකාරකම් නිසා ඒවා පාඩු ලබන තත්ත්වයකට පත් වේ. ව්‍යාපාර පවත්වාගෙන යාම පෞද්ගලික අංශයට පවරා නියාමනය කිරීමේ වගකීම රජය විසින් භාරගත යුතුව ඇත. රජය ව්‍යාපාර පවත්වාගෙන යන තාක් ඒවා නඩත්තු කිරීමේ වගකීම මහජනතාවට පැවරේ. 

එක්තරා කාලයක රෙදිපිළි, ලෝහ භාණ්ඩ, තුනී ලෑලි, කඩදාසි වැනි නිෂ්පාදන ආයතන රැසක් රජය සතුව පැවතිය ද ඒවා පෞද්ගලිකකරණය කිරීමෙන් පසු දැන් ඒවා නැත්තටම නැතිව ගොස් ඇතැයි චෝදනා කෙරේ. එවැනි කර්මාන්තශාලා බොහෝමයක්ම ආරම්භ කරන ලද්දේ ඒවාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පමණක් නොව අමුද්‍රව්‍ය, යෙදවුම් සහ අතරමැදි භාණ්ඩ ආනයනය කිරීම මගිනි. එවැනි කර්මාන්ත ලෝක තරගය හමුවේ නැතිවී යාම කිසිවකුටත් වැළැක්විය නොහැකිය.

1989 දී රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් ආරම්භ වී 2005 දී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගෙන් අවසන් වන තුරු වසර 16 ක කාලයක් තුළ දී රජය එවැනි ලාභ ලබන, ලාභ නොලබන ලොකු කුඩා රාජ්‍ය ව්‍යාපාර ආයතන විශාල ගණනක් විකුණා දමන ලදී. ප්‍රේමදාස මහතාගේ කාලය තුළ තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, දන්කොටුව පෝසිලේන්, ලංකා පෝසිලේන්, ලෝහ භාණ්ඩ සංස්ථාව, ලංකා සෙරමික්, ඩිස්ටිලරීස්, ජාතික සංවර්ධන බැංකුව, හිඟුරාන සීනි කම්හල ඇතුළු රජයේ ආයතන 26ක් පෞද්ගලිකකරණය කරන ලදී. ඩී.බී. විජේතුංග මහතාගේ කාලය තුළ රාමඩා හෝටලය, ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලය, කන්තලේ සීනි සමාගම, ගිංතොට තුනී ලෑලි සංස්ථාව ඇතුළු ආයතන 21ක් පෞද්ගලිකකරණය කරන ලදී.

චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ කාලයේ දී 1997 දෙසැම්බර් දක්වා පමණක් වැවිලි සමාගම්, වානේ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා ලුණු සමාගම ඇතුළු ආයතන 24ක් පෞද්ගලිකකරණය කළේය. ඒවායේ ලැබුණු ආදායම මුළුමනින්ම පාහේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා යොදන ලදී. 

රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීම මගින් රජයට, මහජනතාවට මෙන්ම ආර්ථිකයට ද වාසි රැසක් අත් කර ගැනීමට හැකි විය. පාඩු ලබන ආයතන පෞද්ගලිකකරණය කළ විට ඒවාට මුදල් යෙදවීමේ බරින් රජය නිදහස් වේ. එසේම රජයට ඒවා විකිණීමෙන් ආදායමක් ලබා ගැනීමට ද හැකි වේ.

පෞද්ගලිකකරණය මගින් ලබා ගන්නා ආදායම රජයේ දේශීය සහ විදේශීය ණය පියවීම සඳහා ද යොදාගත හැකිය 1997 දී පෞද්ගලිකකරණය මගින් ලබන ලද ආදායමෙන් අධි පිරිවැයක් සහිත රාජ්‍ය ණය රුපියල් මිලියන 14000ක් පියවීම නිසා රජයේ පොලී වියදම විශාල ලෙස අඩු විය.

අද රට මුහුණපා සිටින විශාල ආර්ථික අර්බුදය හමුවේ විදේශ ආයෝජන සහ විදේශ විනිමය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස ඉහත කී ආයතන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යොදාගත හැක. බොහෝ දෙනකු ඒවාට විරුද්ධ වන්නේ රජයේ ආයතන විකිණීමට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම දරාගත නොහැකි වන නිසා ද යන සැකය මතු වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර