කොවිඩ්-19 වසංගතය ලෝපුරා ව්‍යාප්ත වීම ආරම්භ වී මේ වෙනවිට අවුරුද්දකට වැඩි කාලයක් ගත වී ඇත. එය තවමත් අඩු වැඩි වශයෙන් පැතිරෙමින් බොහෝ රටවල ජනතාව බිලිගනිමින් පවතී. මේ වෙනවිට ලෝකයේ විවිධ රටවල කෝටි 12කට වැඩි ජනතාවකට කොවිඩ්-19 ආසාදනය වී ඉන් ලක්ෂ 25කට වැඩි ජන සංඛ්‍යාවක් ලෝකයෙන් ඉවත් කර ඇත. ඇතැම් රටවල දිගින් දිගටම වයිරසය බෝවීමත් මිනිසුන් මියයාමත් පාලනය කරගත නොහැකි තරමට සිදුවෙයි. කොවිඩ්-19 බෝවීම ආරම්භ වී මේ දක්වා එය ලෝකය පුරා සියලු රටවල හැසිරුණු ආකාරයත් ඒ ඒ රටවල කොවිඩ්-19 වයිරසයේ හැසිරීම කෙරෙහි මිනිසුන් ප්‍රතිචාර දක්වන ලද ආකාරයත් නිරීක්ෂණය කළ විට අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඒ තුළ ඇති බව පහසුවෙන් හඳුනාගත හැකිය.   


එහිලා ප්‍රධානතම කාරණය වන්නේ කොවිඩ්-19 වයිරසයේ බෝවීම පැතිරීම ඇතුළුව එහි හැසිරීම හා ඒ වෙනුවෙන් ඒ ඒ රටවල මිනිසුන් එය කෙරෙහි ප්‍රතිචාර දක්වන පිළිවෙළ අනුව ලෝකයේ රටවල් දල වශයෙන් බටහිර රටවල් හා පෙරදිග රටවල් වශයෙන් කාණ්ඩ දෙකක් ලෙස පැහැදිලි ලෙස වෙන්වී සිටීමයි. මෙයම වඩාත් වෙනස් ආකාරයට කියන්නේ නම් පූර්ණ ලෙස ලිබරල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන රටවල් සහ පූර්ණ ලෙස ලිබරල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක නොකරන රටවල් වශයෙන් කොවිඩ්-19 සම්බන්ධයෙන් රටවල් කාණ්ඩ දෙකක් ලෙස පැහැදිලිව වෙන්වී සිටින බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බිත්‍රාන්‍යය, ප්‍රංශය, බ්‍රසීලය, ඉතාලිය, කොළොම්බියාව, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය වැනි රටවල් පූර්ණ ලෙස ලිබරල් ආර්ථිකයන් පවත්වාගෙන යන රටවල්ය. එමෙන්ම බටහිර රටවල්ය. අනෙක් අතට චීනය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියව, කාම්බෝජය, බංග්ලාදේශය වැනි රටවල් පූර්ණ ලෙස ලිබරල් ආර්ථිකයන් පවත්වාගෙන නොයන රටවල්ය. එනම් පෙරදිග රටවල්ය.   


මේ රටවල් කාණ්ඩ දෙකෙන් බටහිර රටවල් පූර්ණ ලෙස ලිබරල් ආර්ථිකයන් පවත්වාගෙන යනු ලබන රටවල් ලෙස වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් මෙන්ම, වැඩිම මරණ සංඛ්‍යාවක් ද වාර්තා කළ රටවල්ය. අනෙක් අතට පෙරදිග එනම් පූර්ණ ලෙස ලිබරල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක නොකරන රටවල්, බටහිර රටවල් සමග සංසන්දනය කළ විට අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් සහ අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන රටවල්ය. සංඛ්‍යා ලේඛන අනුව බැලූ විට මහා බිත්‍රාන්‍යයේ දල වශයෙන් දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ අනුපාතය 1.6ක් වෙන අතර ශ්‍රී ලංකාවේ එය 0.6ක් වේ. ඉන්දියාවේ හැරුණුකොට ​අනෙක් ආසියාතික රටවල ද එම අගය ඊට ආසන්න ප්‍රමාණයක් පවතී. මින් පැහැදිලි වෙන්නේ පූර්ණ ලෙස ලිබරල් ආර්ථිකයන් පවත්වාගෙන යන රටවල එනම් බටහිර රටවල කොවිඩ්-19 වයිරසය නිසා සිදුවෙන දෛනික මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩිවෙන බවත්, පූර්ණ ලෙස ලිබරල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක නොකරන රටවල එනම් පෙරදිග රටවල දෛනික මරණ අනුපාතය බෙහෙවින් අඩුවෙන බවත්ය. අනෙක් අතට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් පසු සුවය ලැබීමේ අනුපාතය ද ඒ ආකාරමය වෙන්නේය. ඉන් පැහැදිලි වෙන්නේ ආසියාතික රටවල කොවිඩ්-19 ආසාදනය වූ විට එය සුව වීමේ වේගයේ වැඩි බවකුත් යුරෝපීය හා අනෙකුත් බටහිර රටවල සුව වීමේ වේගයේ අඩු බවකුත් පවතින බවයි. ආරම්භ අවස්ථාවේ සිටම මේ දක්වාම ලෝකයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇතතේ වැඩිකොට බටහිර රටවල්වලින්ය. එසේම වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද එම රටවලින්මය. සංසන්දනාත්මකව බැලූ විට චීනය, ශ්‍රී ලංකාව, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, බංග්ලාදේශය වැනි බොහෝ ආසියාතික රටවල ආසාදිතයන්ගේ සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් බෙහෙවින්ම අඩුය. කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් පසුව එය සුව වීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේදී සියයට 85 ඉක්මවා සිටින ඉහළ අගයක් ගන්නා අතර එක්සත් රාජධානියේ සියයට 59ට ආසන්න පහළ ප්‍රමාණයකුත්, බ්‍රසීලයේ සියයට 45ක පමණ අඩු ප්‍රමාණයකුත් පවතින බව පැහැදිලි කරුණකි. කණ්ඩායම් දෙකට අයත් අනෙක් රටවල ද ඒ හැසිරීම ඒ ආකාරම වෙන්නේය. රටවල සංඛ්‍යා ලේඛන සැලකිල්ලට ගත් විට වුව ද අපට දැකගත හැකිවෙන්නේ, බටහිර රටවල දල වශයෙන් ඉතා පහළ සුව වීමේ අනුපාතයකුත් ආසියාතික රටවල දල වශයෙන් ඉතා ඉහළ සුව වීමේ අනුපාතයකුත් පවතින බවය. 

 
කොවිඩ්-19 වයිරසය ලෝකය පුරා රටවල එදා මුල් අවස්ථාවේ සිට මේ දක්වාම පැවැති තත්ත්වය පිළිබඳව සමාලෝචනය කළ විට පෙනෙන පොදු කාරණය වෙන්නේ පූර්ණ ලෙස ලිබරල් ආර්ථිකය පවත්වාගෙන යන බටහිර රටවලට පාර්ශ්වික වශයෙන් ලිබරල් ආර්ථිකයක් පවත්වාගෙන යන එනම් පූර්ණ ලිබරල් ආර්ථිකයක් පවත්වාගෙන නොයන ආසියාතික රටවලට වඩා කොවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක් පැවැති බවයි. මේ වැනි තත්ත්වයක් ලෝකය පුරා රටවල ඇතිවීමට හේතුව ලෙස පහසුවෙන්ම කෙනෙකුට දැක්විය හැක්කේ, ඒ ඒ රටවල ජනතාව තම ජීවන පිළිවෙත පවත්වාගෙන යන ආකාරයන්හි වෙනස්කම්ය. විශේෂයෙන් ලෝකයේ හැම රටකම ජීවත්වෙන ජනතාවගේ ජීවන පිළිවෙත කුමක්දැයි තීරණය වෙන්නේ ඒ ඒ රටවල් තම තමන් අනුගමනය කරන ආර්ථික ක්‍රමය අනුවය. ඒ ඒ රටවල් තම තමන් අනුගමනය කරන ආර්ථික ක්‍රමය අනුව වුව ද සැලකිල්ට ගත් විට බටහිර රටවල් හා ආසියාතික රටවල් කැපී පෙනෙන ලෙස කඳවුරු දෙකක සිටින බව කවුරුත් දන්නා කරුණකි.   


බටහිර රටවල් පැහැදිලි ලෙසම, පූර්ණ ලෙස ලිබරල් ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාමට කැපවී සිටින, ඒ වෙනුවෙන් පෙනී සිටින රටවල්ය. ආසියාතික රටවල් බොහෝමයක් තවමත් ඔවුන්ගේ රටවල කාලාන්තරයක් තිස්සේ පැවැති දේශීයමය වූ ආර්ථිකයන් සමග ලිබරල් ආර්ථිකයේ ඇතැම් ලක්ෂණ පමණක් යොදාගෙන මිශ්‍ර ආර්ථිකයන් පවත්වාගෙන යන රටවල්ය.   


ලිබරල් ආර්ථිකය 19 වැනි සියවසේ යුරෝපයේ පැවැති ආගමික යුද්ධ හේතුවෙන් ඇති වූ ලිබරල්වාදය නිසා ඇති වූවකි. එය යුරෝපයේ සහ ඇමෙරිකාවේ ඇති වූ කාර්මික විප්ලවය සහ දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් දියුණු ලිබරල් ආර්ථික ක්‍රමයක් බවට පත්වී පසුව ලෝකය පුරා පැතිර ගිය ආර්ථික හා සමාජ බලවේගයක් බවට වර්ධනය විය. ලිබරල්වාදය ලෝකයේ ආණ්ඩුවල බලය සීමා කරන පුද්ගල අයිතීන් හා අසීමිත පුද්ගල නිදහස වෙනුවෙන් පෙනී සිටින, දේශපාලන හා ආර්ථික මතවාදයක් ලෙස ගොඩනැගී පසුව ඒ මත ලිබරල් ආර්ථිකයක් ලෙස එය ඒ රටවල සංවර්ධනය විය. එහි මූලික පදනම වෙන්නේ රටේ ආර්ථික ජීවිතයට රාජ්‍ය මැදිහත්වීම නතර කොට නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. රටේ ජනතාවගේ සෞභාග්‍යය උදා කරගත හැකි වෙන්නේ ඒ ඔස්සේ පමණක් බව ලිබරල්වාදීන්ගේ පිළිගැනීමයි. ලිබරල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන මූලික කාරණය වෙන්නේ සමාජය තුළ පූර්ණ ලෙස පුද්ගල නිදහස පැවැතිය යුතු වීමයි. එය සියලු ආකාරයේ පුද්ගල නිදහසක් වෙන්නේය. එය නිදහස් වෙළෙඳපොළ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික සාධයක් ද වේ. ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ මැදිහත්වීමෙන් ලෝක සංවිධාන හරහා ඇතිකරන විවිධ ප්‍රඥප්තිවලින් එයට අවශ්‍ය නීති පද්ධති ප්‍රවාහයක් ලෝකය පුරා සියලු රටවලට නිදහස් කර ඇත. ඒ හරහා බොහෝ රටවල් ලිබරල් ආර්ථිකයට අවශ්‍ය නීතිරීති සකසා ඇත. අද ලෝකයේ බොහෝ රටවල් පවතින්නේ එහි උච්ච අවස්ථාවේය. බටහිර රටවල් එහිලා විශේෂත්වයක් දක්වයි.     
ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් ගත් විට තත්ත්වයට ගොදුරු වෙන්නේ කාලාන්තරයක් තිස්සේ දේශීය හුරුපුරුදුකම් ඇතිව ජීවිතය සියලු අංශවලින් සමබර ලෙස පවත්වාගෙන ගිය ජනතාවගෙන්ම කොටසකි. තම ශරීරය දේශීය වෛද්‍ය ක්‍රමවලට අයත් ගති සිරිත් ඇතිව, ඇවතුම් පැවතුම් ඇතිව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන අයට ඒ වැනි අභාග්‍යසම්පන්න අවස්ථාවලට මුහුණදීමට සිදුවෙන්නේ අවම වශයෙනි. ජීවිතයේ සියලු ක්‍රියාකාරකම්වලට මැදිහත් වෙමින් සියලු අංශ වෙත විහිදුණු දේශීය වෛද්‍ය ක්‍රමයක් අප රටේ ඈත අතීතයේ පටන් පැවැත එමින් තිබිණ. තවමත් ඒවායෙන් ඇතැම් කොටස් අපේ රටේ බහුතරයක් ජනතාව තුළ ඉතිරි වී ඇත. ඒ හරහා ඔවුන් යම් ප්‍රමාණයකට අධික සීනිවලින් තොර අධික කොලෙස්ටරෝල්වලින් තොර සහ වෙනත් බෝ නොවන රෝගවලින් තොරව සමබර ලෙස ජීවත්වීම සඳහා අවස්ථාව ඇති කරගෙන සිටිති. එය වඩාත් ස්ථාවර වෙන්නේ රතු කල්කය, කළු කල්කය, පස් පංගුව, කොළ කැඳ, ඉඟුරු කොත්තමල්ලි පානය, විවිධ පලා වර්ග භාවිතය වැනි දහසකුත් එකක් දේශීය වෛද්‍ය ක්‍රමවලින් හඳුන්වා දී ඇති ජීවන හුරුපුරුදුකම් අනුගමනය කිරීම හරහා ඔවුන් වුව ද ලිබරල් ආර්ථිකයට හසු නොවී බේරී සිටින්නේ අමාරුවෙනි. කෙසේ වුව ද ඒ වැනි බහුතර ජනතාවක් තවමත් මේ රටේ සිටිති. දේශීය වෛද්‍ය ක්‍රමවලට අයත් පාරම්පරික දැනුම තවමත් ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය තුළ ඇත.   


කොවිඩ්-19 වයිරසය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වැනි පසුබිමක් පැවැතියදීය. එවැනි පරිසරයකට වැටුණු කොවිඩ්-19 වයිරසයේ බෝවීමත් එය මිනිසුන් අතර පැතිරී යාමත් එය වැළඳුණු පසුව ඉන් සුව වීම හා එහි වේගයත් අනෙක් අතට ඉන් සිදුවෙන මරණත් යන සියල්ල සිදුවෙන ආකාරය අපට පෙන්වා දෙන්නේ ලිබරල් ආර්ථිකයට ගොදුරු වී ඇති අය හා පූර්ණ ලෙස එයට ගොදුරු නොවී තවමත් පැරැණි දේශීය ඇවතුම් පැවතුම් ඉතිරි කරගෙන ජීවිතය පවත්වාගෙන යන අය අතර පැහැදිලි වෙනසක් ඇති බවය. ඒ වෙනසින් අපට පැහැදිලි කරදෙනු ලබන්නේ ලිබරල් ආර්ථිකයට එතරම් ගොදුරු නොවී දේශීය වෛද්‍ය ක්‍රමවලින් පෝෂිත ජීවන පුරුදු සහිතව ජීවත්වෙන අය වඩාත් සාර්ථක ලෙස මේ තත්ත්වයට මුහුණ දෙන බව හා ලිබරල් ආර්ථිකයට ගොදුරු වී ඇති අය වඩාත් සාර්ථක ලෙස මේ තත්ත්වයට මුහුණ දෙන බව හා ලිරබල් ආර්ථිකයට ගොදුරු වී ඇති අය වඩාත් වැඩි ජීවිත අවදානමකට මුහුණ දෙන බවය. මේ නිසා සරල ලෙස රුධිරයේ සීනි මට්ටම, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම, අධි රුධිර පීඩනය වැනි ලක්ෂණ වැඩි බෝ නොවන රෝගවලින් පීඩාවට පත්ව සිටින අයට කොවිඩ්-19 වඩාත් අවදානම් බව දැන් සියලුදෙනා දනිති. මේ නිසා අපට ඉන් පැහැදිලි කර දෙන්නේ ලිබරල් ආර්ථිකයට උපරිම ලෙස ගැති වෙමින් ජීවිතය ගෙන යන අයට වඩා සාර්ථක ලෙස පෙරදිග ආගම්වලින් සහ දේශීය වෛද්‍ය ක්‍රමවලින් පෝෂිත දේශීය වූ ආර්ථික ජීවිතයක් ගෙන යන ජන කොටස් කොවිඩ්-19 වයිරසයට වඩාත් සාර්ථක ලෙස මුහුණ දෙන බවයි. අනෙක් අතට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, බ්‍රසීලය ඇතුළු අනෙකුත් බොහෝ රටවල පාලනය කරගත හැකි නොහැකි තරමට කොවිඩ්-19 වයිරසය පැතිර ගියේත් ඉන් අධික ලෙස මිනිසුන් මරණයට පත් වූයේත් ලිබරල් ආර්ථිකයේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ඒ රටවල ජනතාව පුරුදු වී සිටින අධිපරිභෝජනය හේතුවෙන් අවසානයේදී උරුම කරගත් ශාරීරික දුබලතා නිසා ශාරීරික ප්‍රතිශක්තිය ඇතුළු සියලු දෙය අනුන් මත යැපීමේ ජීවන පිළිවෙත් නිසාය. ස්වයං ශක්තිය කෙරෙහි විශ්වාසය නොතැබීම නිසාය. දැන් ඒ කාරණය ලෝක සම්මතයක් බවට පත් වී ඇත. ලිබරල් ආර්ථිකයට ගොදුරු වී ඇති ජන කොටස් අතර බෝ නොවෙන රෝග බහුලය. එය මේ වෙනවිට ලිබරල් ආර්ථිකයේ මූලික ලක්ෂණයක් බවට පත්වී ඇත. සීමාවකින් තොරව පරිභෝජනය කිරීම ඇතුළු ලිබරල් ආර්ථිකයේ ඇවතුම් පැවතුම් නිසා තමන්ගේ ශරීරය තුළ පවත්නා ස්වභාවික ප්‍රතිශක්තිය පවත්වාගැනීමට අසමත් වීමෙන් ස්වයං ශක්තිය කෙරෙහි විශ්වාසයක් නොතබා බෙහෙත් හා වෛද්‍යවරුන් වැනි බාහිර සාධක මත යැපීම ලිබරල් ආර්ථිකයේ අනිසි ප්‍රතිඵලයක් බව මේ සියලු කරුණු කාරණාවලින් අපට පෙන්වා දී ඇත.   
මේ නිසා සමස්ත කොවිඩ්-19 ක්‍රියාවලිය විසින් අපට අවබෝධ කොට දී තිබෙන්නේ වඩාත් නීරෝගි ලෙස ජීවත්වීම සඳහා ආසියාතික රටවල අවුරුදු දහස් ගණනක් තිස්සේ මුල් බැසගෙන තිබුණු පෙරදිග ආගම්වලින් පෝෂණය වූ දේශීය වෛද්‍ය ක්‍රමය හරහා නිශ්චිත කරන ලද දේශීයමය වූ ජීවන පිළිවෙත් අනුගමනය කළ යුතු බවයි. ලිබරල් ආර්ථිකයෙන් මිදීමට දැන් කිසිදු රටකට පුළුවන්කමක් නොමැති නිසා අප විසින් කළ යුතු වෙන්නේ ලිබරල් ආර්ථික ක්‍රමයේ හානිදායක මූලික කාරණා වහාම අත්හැර දැමීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවට අප විසින් තවදුරටත් රඳවාගත යුතු ඵලදායි දේශීය ක්‍රම සොයා ඒවා යළිත් ජන ජීවිතයට හුරු කිරීමයි. එසේ නොවුවහොත් අනාගතයේදී පැමිණිය හැකි මීට වඩා භයානක ආපදාවකදී මීටත් වැඩි ව්‍යසනයක් සිදුවිය හැකිය. ඒ නිසා මෙදා කොවිඩ්-19 අපට ඉගැන්වූ ලොකුම පාඩම වෙන්නේ අප වැනි ආසියාතික රටවල ජනතාව පමණක් නොව ලෝකයේ සියලු රටවල ජනතාව ද ඇස් කන් පියාගෙන අනුගත වීමට පෙළැඹී සිටින ලිබරල් ක්‍රමය පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කිරීම කළ නොහැකි නිසා එහි පවතින හානිකර අංග දැන්වත් ප්‍රතික්ෂේප කර ඵලදායි දේශීය ක්‍රමවලට යොමු විය යුතුය යන්නයි.

 

 

විමලදාස සමරසිංහ   
හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකි