තවමත් ලලිත්ගේ සැබෑ ඝාතකයන් සොයන ලේකම්වරිය, ෂාමිලා පෙරේරා කියන කතාව-2

 

(ඉකුත් සතිය හා සම්බන්ධයි)


ඉන්පසු සිදුවූයේ ලලිත්, ගාමිණී දෙපළගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය හෙවත් රාජාලියා කණ්ඩායම බිහිවීමයි. එය මෙරට දැවැන්ත විකල්ප බලවේගයක් බවට පත්වෙමින් තිබිණි. 1991 සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධානය කළ රාජාලියා කණ්ඩායම මෙරට යුග පෙරැළියකට අත පොවන බව පෙනෙන්නට තිබිණි. නිද්‍රාශීලීව සිටි විපක්ෂය ද අවදි විය. එක්සත් ජාතික පක්ෂ විරෝධයක් රට පුරා නැගෙන්නට විය.   


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණු අතර ලලිත් ඇතුලත්මුදලි බස්නාහිර පළාත් සභාවටත්, ගාමිණී දිසානායක මධ්‍යම පළාත් සභාවටත්, ප්‍රේමචන්ද්‍ර වයඹ පළාත් සභාවටත් වශයෙන් තරග කිරීමට සැලසුම් කෙරිනි. රට පුරා රැස්වීම් සඳහා දස දහස් ගණන්‍් ජනතාව ඒකරාශි වූහ. බල පෙරැළියකට රටම සූදානම් වෙද්දී 1993 අවුරුදු දිනයේ සවස තේ පානයේ දී ශ්‍යාමිලා තම ගුරුවරයාට මෙසේ කීවාය.   
“අපිට බයයි, ඔබතුමාට මොනවා හරි කරදරයක් කරාවි කියලා. ඒ නිසා තවත් පරෙස්සම් වෙන්න ඕනැ.”   
“නෑ. මට අත තියලා ඒ අයට වැඩි දවසක් ඉන්න වෙන්නේ නෑ.” ඒ ඔහුගේ පිළිතුර විය.   


ඊට දින ‍කිහිපයකට පසු මහරගම රැස්වීමකට පැමිණි පුද්ගලයකු කිරුළපන රැස්වීමක් පැවැත්විය යුතු බව කියා සිටියේය. ඔහු ඉල්ලා සිටියේ 23 වැනි දා සවස් කාලයයි. දිනපොත පවත්වාගෙන යන්නේ ශ්‍යාමිලා විසිනි. ඇය කැඳවූ ලලිත් ඇතුලත්මුදලි රැස්වීම සඳහා දිනයක් දෙන ලෙස කීවද ශ්‍යාමිලා ඊට කැමති වූයේ නැත. නමුත් උදේ කුරුණෑගල, හලාවත ප්‍රදේශවල ‍ගොස් සවස අලු‍ත්කඩේට පැමිණෙන බැවින් ඉන් පසු කිරුළපන රැස්වීම සංවිධානය කරන්න යැයි ඔහුගේ උපදෙස විය. ශ්‍යාමිලා ද අකැමැත්තෙන් ඊට කැමති වූවාය. රැස්වීමට දිනය නියම විය. 

 
“23 වැනිදා උදේ පාන්දරම මුන්නේෂ්වරම් යමු කියලා එතුමාගේ දෙමළ මිත්‍රයෙක් ආරාධනා කරලා තිබුණා. ඒ නිසා උදේම ගියා. මේ යනකොට ඇමැතිතුමා පොඩි නින්දක ගිහින් තියෙන්නේ. මීගමුවේ දී දුම්රිය හරස් පාරේ ලයිට් එක තිබිලා නෑ. එතනින් වාහනය දාන්න හදනකොටම කෝච්චියේ ශබ්දය ඇහිලා රියැදුරා එකපාරටම කාර් එක නවත්තලා. තව තත්පරයක් එහාට වුණානම් කාර් එක කෝච්චියේ වදිනවා. කාරය බ්‍රේක් ගහපු පාරට ගැස්සිලා ඇහැරිලා ඇමැතිතුමා අහල තියෙනවා අනූනවයෙන් බේරුණා නේද කියලා.   


එතුමා ගියාට පස්සේ උදේ ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා කාර්යාලයට ඇවිත් ඇමැතිතුමාව හෙව්වා. පස්සේ ශ්‍රීමනී මැතිනිය ගැන ඇහුවා. එතුමියට කතා කරලා කිව්වා අද ලලිත්ට පරෙස්සම් වෙලා ඉන්න කියලා. නරක දවසක් භයානක දෙයක් ගැන තොරතුරු තියෙනවා කියලා. අපිට සැකය තිබුණේ අලු‍ත්කඩේ ගැන. ඒ නිසා පෞද්ගලික ආරක්ෂකයන් යොදා එතැන ආරක්ෂාව තහවුරු කළා. නමුත් සිදුවුණේ හිතුවෙ නැති දෙයක්.”   
ශ්‍යාමිලා පවසන්නේ කිරුළපනට එනවිට අවදානම ඔවුන්ගේ හිතෙන් පහව ගොස් තිබූ බවයි. විදුලි ආලෝකය විසන්ධි වී තිබූ බවත් කිරුළපන වෙළෙඳ සංකීර්ණය අසල රැස්වීමට ඉල්ලු‍ව ද එය නොදී මුගලන් පාරේ පිට්ටනියට රැස්වීම යොමුකර තිබූ බවත් ඇය පවසන්නීය. රැස්වීම් භූමියේ එදා කිසිදු ආරක්ෂකයකු සිටියේ නැති බව ද ඇය පවසයි.   


“මමත් අපේ මාධ්‍ය ලේකම් උදය මානවසිංහත් හිටියේ මගේ කාර් එකේ. ඒ අතර තමයි රතිඤ්ඤා පුපුරනවා වගේ ඇහුණේ. මිනිස්සු දුවන්න පටන්ගත්තා. වෙඩි තියලා වෙඩි තියලා කියලා කෑ ගැහුවා. ඇමැතිතුමාව අරගෙන යනවාවත් අපි දැක්කේ නැහැ. අපි දෙන්නා කෙළින්ම ජයවර්ධනපුර රෝහලට ගියා. එහේ නෑ. කොළඹ ජාතික රෝහලට ගියා. රෝහලට රැගෙන යනවිටත් එතුමාගේ පණ තිබිලා. ශල්‍යාගාරයට ගන්න විට තමයි මියගිහින් තියෙන්නේ.”

   
අවසානයේ දී එය කොටි ත්‍රස්තයන්ගේ ගිණුමට බැර කෙරිනි. නමුත් මේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අවස්ථාවේ දී සාක්ෂි දුන් විදුලි කාර්මිකයකු වන රජගල්ගොඩ විමල් කවින්ද්‍ර මෙසේ කියා තිබේ.   


“ලලිත් මහත්තයා කතා කරද්දි වැස්ස වැඩි වුණා. වැස්සෙන් බේරීමට මිනිස්සු වේදිකාව ගාවට ආවා. විනාඩි 10ක් විතර යනකොට තොප්පියක් දමාගත්තු අවුරුදු 30ක් විතර වෙන කෙනෙක් වැස්සෙන් බේරෙන්න වගේ මෙතැනට ආවා. එයාගේ කොණ්ඩය කොටටම කපලා තිබුණා. ලා කොළ පාට ෂර්ට් එකකුයි නිල්පාට ඩෙනිම් කලිසමකුයි ඇඳ සිටියා. මෙයා මම වාඩිවෙලා හිටපු පුටුවේ ඇන්දේ වාඩිවුණා. මිනිහා ඇම්ප්ලිෆයර් එක දිහා බලලා ‘සෙට් එක තෙමනවා නේද?’ කියලා හොඳට සිංහලෙන් ඇහුවා. වැස්ස පෑව්වම මිනිහා ස්ටේජ් එකේ දකුණු පැත්තට ගියා. එතකොට ලලිත් මහත්තයා කතාව පටන් අරන් විනාඩි 10ක් විතර ඇති. එකපාරටම සාක්කුවෙන් පිස්තෝලයක් ඇදල අරන් වෙඩි තියන්න ගත්තා. ලලිත් මහත්තයාගේ ආරක්ෂකයන් වෙඩි තිබ්බාම මිනිහත් ඇදගෙන වැටුණා. ඒත් නැවත පැනල ගියා.”   


ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්‍රිෂ්ණන් යැයි ද ඔහු කොටි වෙඩික්කරුවෙක් යැයි ද රජය ප්‍රකාශ කළේය. නමුත් ගාමිණී දිසානායක ඇතුළු පිරිස ඊට දැඩි විරෝධයක් දැක්වූහ.   
කෙසේ වෙතත් ඝාතකයා තවමත් අභිරහසකි. මේ ඝාතනය පිළිබඳ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පවා පරීක්ෂණ පැවැත්වුව ද ඒ වාර්තා සියල්ල අතුරුදන්ය. 

 
ශ්‍යාමිලා පවසන්නේ එදා වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද ඝාතකයා ලලිත් ඇතුලත්මුදලි මියයන ආකාරයට වෙඩි තබා තිබූ බවයි.   


ලලිත් ඇතුලත්මුදලි වමත්කාරයෙකි. වමත ඔසවන විට වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද කිහිල්ලට යටින් වෙඩි උණ්ඩයක් හෘදය දක්වා යැවීමට දක්ෂ වෙඩික්කරුවකුට හැකියාව ඇත. වෙඩි තබා ඇත්තේ එලෙස ඉලක්කය ගනිමිනි. කාරයේ තිබූ වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද ඔහු මරා දැමීමට මේ වෙඩික්කරුවාට හැකියාව ලැබෙනු ඇත.   


ලලිත් ඇතුලත්මුදලි ජීවතුන් අතර සිටිය දීම ඔහුගේ චරිතාපදානය ලියූ ප්‍රවීණ ගත්කතුවර රංජිත් අමරකීර්ති පලිහපිටිය එම චරිතාපදානයේ මෙසේ සටහන් කර ඇත.   


“මා මියගිය දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති. රංජිත් ඒ තමයි, ‘මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිසුන් ඔහුට බෙහෙවින් ආදරය කළහ.’ ඔහු වෙනුවෙන් ඉදිවූ ස්මාරකයේ අදටත් ඒ වැකිය ලියා තිබේ.   


ලලිත් ඇතුලත්මුදලිගේ නීති ශිෂ්‍යාවක වූ ශ්‍යාමිලා “නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” (හංසයා පක්ෂය) නම් දේශපාලන පක්ෂයේ ලේකම්වරියයි. ඇය මේ වනවිට දේශපාලනයෙන් ඈත්ව “ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ නායකත්වය සඳහා වූ ආයතනය” පිහිටුවා තරුණ නායකයන් පුහුණු කිරීමේ නියැලී සිටින්නීය.   


ඇගේ පක්ෂය මෙරට නායකයන් බිහිකිරීමට උර දී තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍‍ෆොන්සේකා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේම වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයෙනි. රජුන් තැනුව ද ඇයට තවමත් තම ගුරුවරයා සේම සද‌ාදරණීය නායකයාගේ සැබෑ ඝාතකයන් සොයා ගැනීමට හැකි වී නැත.   

 

 

සජීව විජේවීර