IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙයි


ඇල්ප්ස් කඳුකරයේ, ඉතාලි ස්විට්සර්ලන්ත දේශසීමාවේ, ඉතාලියට අයත් භූමියේ පිහිටි අවන්හලක් සහ නිවාඩු නිකේතනයකි. ලොව නන්දෙසින් සංචාරකයෝ මෙහි පැමිණෙති. ඒ, හිම ක්‍රීඩා කරමින් විනෝදවීමටය. මෙම අවන්හල සහ නිවාඩු නිකේතනය ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ ය. මෙය ඉතාලි අවන්හලක් සහ නිවාඩු නිකේතනයකි. නවාතැන් පහසුකම්, ප්‍රණීත ආහාර සහ සිරුර උණුසුම් කරන බීම වර්ගවලට මෙම අවන්හල කියාපු තැනකි.  සැබෑම ඉතාලි අත්දැකීමක් ලබා ගැනීමට නම් ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ අවන්හලට යා යුතු යැයි කියමනක් ද පවතී. ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනය මුල්කොට ගනිමින් අනපේක්ෂිත සිදුවීමක් සිදුවෙමින් පවතී. ‘තියෙඩෝල්’ නමැති ග්ලැසියරය, එසේත් නැතිනම් හිම තට්ටුව පිහිටා ඇත්තේ ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනයට යාබදවය.

ගෝලීය උණුසුම ඉහළ යෑමේ අහිතකර ප්‍රතිඵලයක් හේතුවෙන්, මේ වනවිට ‘තියෙඩෝල්’ ග්ලැසියරය වේගයෙන් දියවීමට පටන්ගෙන ඇත. ග්ලැසියරය දියවී, භූමිය වෙනස් වෙද්දී, ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ පුංචි ඉතාලි අවන්හල සහ නිවාඩු නිකේතනය සෙමින් සෙමින්, ස්විට්සර්ලන්තය දෙසට ගමන් කරන බව පැවැසෙයි.

යුරෝපයට අයත් ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අසල්වැසි රටවල්ය. දෙරටේ භූමි දේශසීමාව දිව යන්නේ, ඇල්ප්ස් කඳුකරයේ උසින් වැඩිම කඳු මුදුන් දිගේය. එය ඉතාලියත් ස්විට්සර්ලන්තයත් අතරේ නිර්මාණය වුණු ස්වාභාවික දේශසීමාවකි. පහල සානුවල දේශසීමාව සලකුණු කළ කුඩා ගල් කනු 8,000 ක් තැනින් තැන දකින්න ලැබේ. ඇතැම් දේශසීමා ගල් කනු ස්ථානගත කර ඇත්තේ 16 වැනි සියවස තරම් ඈත කාලයක සිටය. ඒත් කඳු මුදුන්වල සලකුණු දකින්න ලැබෙන්නේ නැත.  ගෝලීය උණුසුම ඉහළ ගොස් ග්ලැසියර දිය වෙද්දී, ඇල්ප්ස් කඳුකරයේ කඳු වැටි දිගේ දිවෙන දේශසීමා මායිම් වෙනස් වී ඇති බැවින්, එම මායිම් යළි නිර්ණය කිරීමට සිදුවී ඇතැයි ඉතාලි මෙන්ම ස්විට්සර්ලන්ත බලධාරීහු ද පවසති.

ඇල්ප්ස් කඳුකරයට අයත් විශාලතම කඳු වැටිය ලෙස සැලකෙන්නේ ‘මැටර්හෝන්’ කඳුවැටියයි. මේවනවිට එම කඳුවැටියේ ග්ලැසියර හිම තට්ටු ‘තියෙඩෝල්’ ග්ලැසියරය මෙන්ම, වේගයෙන් දියවීමට පටන් ගෙන ඇත. මෙසේ ග්ලැසියර දියවීම ආරම්භ වී ඇත්තේ අද ඊයේ නොවන බවත්, එය ආරම්භ වී ඇත්තේ, 1920 දශකයේ පමණ බවත් ඉතාලි මෙන්ම ස්විට්සර්ලන්ත මිනින්දෝරු දෙපාර්තමේන්තු බලධාරීන් විසින් පැහැදිලි කර ඇත.  ග්ලැසියර දියවීම ඉතා මන්දගාමීව ආරම්භ වූ බවත් කාලයාගේ ඇවෑමෙන්, මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ග්ලැසියර දියවීම වේගවත් වූ බව පැවැසෙයි. 2018 වසර වෙද්දී මෙම තත්ත්වය දරුණු විය. මේ වන විට ග්ලැසියර දියවී, භූමිය වෙනස් වෙද්දී, දේශසීමාව මීටර් 150 කින් පමණ වෙනස් වී ඇතැයි ද සඳහන්ය. 

දේශසීමාව මීටර් 150 කින් වෙනස් වෙද්දී, ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනය අයත් වන්නේ ඉතාලියට නොව, ස්විට්සර්ලන්තයටය. රටවල් දෙකකට අයත් ස්වාභාවික දේශසීමා, මේ අයුරින් ස්වාභාවිකව වෙනස් වෙද්දී, එම රටවල් එකිනෙකා සමඟ සාකච්ඡා පවත්වා දේශසීමා නිර්ණය කර ගැනීම සිදු කරයි. ඒ, කාටවත් අවාසියක් නොවන ආකාරයටය. කෙසේ නමුත් ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකිනෙකා සමඟ විශේෂ එකඟතාවකට 2009 වසරේදී අත්සන් කර ඇත. 

ඒ අනුව ඉතාලි ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරයේ දේශසීමාව සැලකෙන්නේ ‘චලන දේශසීමාවක්’ වශයෙනි. වෙනස් වන දේශසීමාවේ පිහිටි, ජනතාව ගැවසෙන එකම ස්ථානය මෙම ‘රුෆීජියෝ ගුයිඬේ දෙල් ට්‍රොවීනෝ’ අවන්හල සහ නිවාඩු නිකේතනයයි. දේශසීමා වෙනස් වී, අවන්හල සහ නිවාඩු නිකේතනය ස්විට්සර්ලන්ත භූමියට අයත් වුවහොත්, එය ස්විට්සර්ලන්ත නීතියට යට වෙයි. ස්විට්සර්ලන්ත නීතියට අනුව ඔවුන්ට බදු ගෙවීමට සිදුවෙයි. ඒත් ඉතාලි රජය හෝ ස්විට්සර්ලන්ත රජය හෝ මේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැත. 

මේ අයුරින් ග්ලැසියර් දියවීම ඇල්ප්ස් කඳුකරයේ පමණක් නොව, හිමාල කඳුකරයේත්, අන්දීස් කඳුකරයේත් සිදුවෙයි. එසේ වුවත් මේ අයුරින් දේශසීමා වෙනස්වීමක් සිදුවන්නේ ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර දියවෙද්දී පමණි. ඇල්ප්ස් කඳුකරයේ ග්ලැසියර් දියවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ග්ලැසියර් නිරීක්ෂණ පද්ධතිය නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවෙයි. මෙම පද්ධතිය හැඳින්වෙන්නේ ‘ග්ලැමොස්’ යන නමිනි. චන්ද්‍රිකා තාක්ෂණය මේ සඳහා භාවිතයට ගැනෙයි. ඇල්ප්ස් කඳුකරයේ ඇති ග්ලැසියර පමණක් නොව, ස්විට්සර්ලන්තයට අයත් සෙසු ග්ලැසියරවල ඝනකම ද 2022 දී සියයට 4 කින් ද 2023 දී සියයට 6 කින් ද ක්ෂය වී ඇත. ග්ලැසියරයක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන අයිස් තට්ටුවකි. සාමාන්‍යයෙන් මෙහි පහත් බිම්වලට ජලය ලැබෙන්නේ ග්ලැසියර නිසාය. මිහිමත පැවැත්මට, මිනිස් අපේ පැවැත්මට, ග්ලැසියරවල ඇති වැදගත්කම වචනයෙන් විස්තර කිරීම අසීරුය. වසර දහස් ගණනකට පෙර අතීතයේ පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් ග්ලැසියර්වලින් ආවරණය වී තිබුණු බව භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

සාමාන්‍යයෙන් ග්ලැසියර දකින්න ලැබෙන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශවලය. අයිස්ලන්තයේ, ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවට අයත් ප්‍රදේශවල විශාල ග්ලැසියර දකින්න ලැබේ. යුරෝපයේ ඇල්ප්ස් කඳුකරයේ පමණක් නොව, උතුරු ඇමෙරිකාවේ රොකී කඳු වැටියේ සහ දකුණු ඇමෙරිකාවේ අන්දීස් කඳුකරයේද දකින්න ලැබෙන්නේ ප්‍රමාණයෙන් කුඩා ග්ලැසියරය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස්ලන්තයට අහිමිවුණු පළමු ග්ලැසියරය ලෙස සැලකෙන්නේ ඔකියෝකුල්ය. 2019 වසරේ දී, මෙම ග්ලැසියරය වෙනුවෙන් අවමංගල උත්සවයක් ද පැවැත්විණි. ඒ, ග්ලැසියරය පිහිටි ස්ථානයට රැස්වුණු සියයකට වැඩි අයිස්ලන්ත වැසියන් පිරිසකගේ සහභාගීත්වයෙනි. අයිස්ලන්ත බලධාරීන් සහ පරිසර සුරැකීමේ සංවිධාන නියෝජනය කරන ක්‍රියාකාරීහු ඒ අතර සිටියහ.

එදා අයිස්ලන්ත අගමැති කාටින් ජැකොබ්ස්රින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මේරි රොබින්සන් ද අවමංගල්‍යයට එක් වූහ. “ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් හැටියට ‘ඔකියෝකුල්’ ග්ලැසියරය අපට අහිමි වෙලා. 

මේක සුළුවෙන් තකන්න බැහැ. ගෝලීය උණුසුම ඉහළ යන්නේ මිනිස් අපේ ක්‍රියාකාරකම් නිසා. දැන්වත් අපි කවුරුත් එක්වෙලා පරිසරය ආරක්ෂා නොකළොත් අපේ වළ අප විසින් කපා ගත්තා වේවි” යැයි මේරි රොබින්සන් එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නාය.

බීබීසී ඇසුරිනි.

  • ලු‍සිත ජයමාන්න



අදහස් (0)

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site