උපුල් වික්‍රමසිංහ
ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලිවල සැකකරුවන් වශයෙන් නම් කරනු ලබන පුද්ගලයන්ගේ අපයෝජිත ඉතිහාසය, සැකකරුවන්ගේ දත්ත යනාදී විස්තර ඒවාට අදාළ විමර්ශන පවත්වනු ලබන ආයතනවලට තනි පද්ධතියක් මගින් ලබාගැනීම සඳහා පහසුකම් සැපයෙන ජාතික දත්ත පද්ධතියක් එළිදැක්වීමට නියමිත බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ජාතික දත්ත පද්ධතිය යටතේ පොලිසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආදී ආයතන සතුව මෙතෙක් වෙන් වෙන් වශයෙන් පැවති තොරතුරු තනි මාර්ගගත පද්ධතියකට ඇතුළු කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් “ඉරිදා ලංකාදීප”යට පැවසුවා ය.
පැමිණිලිවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධ යාවත්කාලීන තොරතුරු ඒවා ගොනු කළ අයට මෙමගින් දැනගත හැකි අතර ඊට අමතරව පැමිණිලිවල ඉතිහාසය, සැකකරුවන්ගේ දත්ත සහ වින්දිතයන්ගේ තොරතුරු (විමර්ශන ක්‍රියාවලියට අදාළ ප්‍රවේශය අවශ්‍ය පාර්ශ්වවලට පමණි) විමර්ශන හා නියාමන යන දෙපාර්ශ්වයට ජාතික දත්ත පද්ධතිය මගින් ලබා ගත හැකි බව ද එම ප්‍රකාශිකාව කීවා ය.
තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂිත මට්ටමේ පවත්වා ගනිමින් ළමා අපයෝජන පැමිණිලිවල සැකකරුවන්ගේ විස්තර ඊට අදාළ විමර්ශන පවත්වන ආයතනවලට මෙම පද්ධතියෙන් ලබා ගත හැකි බව ද ඇය ප්‍රකාශ කළා ය.
යම් ළමා අපයෝජන සිද්ධියකට අදාළව සැකකරුවන් වශයෙන් නම් කරනු ලබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු වන්නේ නම් ඒවා මෙම පද්ධතිය මගින් පොලිසියට ලබා ගත හැකි අතර එවැන්නන් පිළිබඳ පොලිසිය සතු තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද ලබා ගත හැකි යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd