“කිලෝ 471ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවා ද?” යන ශීර්ෂය යටතේ පසුගිය සතියේ පළවූ ප්‍රවෘත්තියේ ඇති කරුණක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රික් වුට්ලර් විසින් නිවැරදි කිරීමක් අප වෙත යොමු කරනු ලැබ ඇත.

ඒ අනුව, එම පුවතේ සඳහන් පරිදි අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටකට පැන්නීමේ කුමන්ත්‍රණයක් පැවති බවට වූ කරුණ පදනම් විරහිත බව ඔහු අවධාරණය කරයි. පොලිස් නිලධාරීන්ගේ කඩිනම් සහ දැඩි මෙහෙයුම් හමුවේ එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කරයි. 

රට ඇතුළත මත්ද්‍රව්‍ය ජාලය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා පොලිස්පතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධරයන් විසින් දිවා රෑ අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙවැනි විශාල මත්ද්‍රව්‍ය ජාවාරම් හෙළිදරව් කර ගැනීමට හැකි වී ඇත්තේ එම නිලධාරීන්ගේ දැඩි කැපවීම හා කාර්යක්ෂමතාව හේතුවෙන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.