විමුක්ති එස්. රුද්‍රිගු

මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලයේදී රජය ගත් කැබිනට් තීරණ 357ක් විශ්ලේෂණය කිරීමේ දී ඉන් තීරණ 107ක් හෙවත් සියයට 30ක් ජාතික ජන බලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දු සමග සම්බන්ධයක් නොමැති බව පැෆ්රල් සහ මාර්තු 12 ව්‍යාපාරය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ඔවුන් ඒකාබද්ධව නිකුත් කළ 2026 ජනවාරි සිට ජුනි දක්වා තෙවන අර්ධ වාර්ෂික අධීක්ෂණ වාර්තාවේ මේ බව සඳහන් වේ. 

එම කාලයේදී විශ්ලේෂණය කළ කැබිනට් තීරණ 357න් තීරණ 92ක් හෙවත් සියයට 26ක් ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ඉහළ අදාළත්වයක් ඇති තීරණ ලෙසත්, තීරණ 81ක් හෙවත් සියයට 23ක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රතිපත්තිවලට අදාළ තීරණ ලෙසත් වාර්තාව වර්ගීකරණය කර තිබේ. තවත් තීරණ 77ක් හෙවත් සියයට 21ක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්තිවලට යම්තාක් දුරට අදාළත්වයක් ඇති තීරණ ලෙසත්, එම වාර්තාව සඳහන් කරයි.

මේ අනුව අදාළ කාලසීමාවේ දී, කැබිනට් මණ්ඩලය ගෙන ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්තිවලට කිසියම් හෝ මට්ටමකින් අදාළත්වයක් ඇති කැබිනට් තීරණ සංඛ්‍යාව 250ක් වන අතර, එය විශ්ලේෂණය කළ සමස්ත තීරණ සංඛ්‍යාවෙන් සියයට 70කට ආසන්න වේ.

මේ අතර, ජාතික ජන බලවේග රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන පොරොන්දු 1,333ක් අංශ 25ක් යටතේ හඳුනාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඉන් පොරොන්දු 407ක් හෙවත් සියයට 31ක් ප්‍රතිපත්තිමය පොරොන්දු ලෙසත්, 523ක් හෙවත් සියයට 39ක් සංවර්ධනමය පොරොන්දු ලෙසත්, 403ක් හෙවත් සියයට 30ක් ප්‍රතිපත්තිමය සහ සංවර්ධනමය යන දෙඅංශයටම අයත් පොරොන්දු ලෙසත් වර්ගීකරණය කර තිබේ.

කෙසේ වෙතත්, රජයේ පොරොන්දු කොපමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉටුකර තිබේ ද? යන්න ප්‍රතිශතයක් ලෙස තීරණය කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බව ද පැෆ්රල් සහ මාර්තු 12 ව්‍යාපාරය පෙන්වා දෙයි. 

අමාත්‍යාංශ 25කින් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළ ද, පළමු වාර්තාවේ දී අදාළ ප්‍රගති වාර්තා ලබාගත හැකි වී ඇත්තේ අමාත්‍යාංශ 15කින් පමණක් බවත්, දෙවන වර්තාවේදී අමාත්‍යාංශ ප්‍රගති වාර්තා ලබාදීම ඊටත් වඩා සීමිත මට්ටමක පැවති බවත් වාර්තාවේ සඳහන් වේ. එබැවින් ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය හෝ සම්පූර්ණයෙන් ඉටුකර ඇති පොරොන්දු ප්‍රමාණය මැනීම වෙනුවට, මෙම අධීක්ෂණයේ දී රජයේ කැබිනට් තීරණ, පනත් සහ අයවැය වෙන්කිරීම් ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග කොපමණ දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයට පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.