සුජිත් හේවාජුලිගේ

විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හෝ වෙනත්  අංශ විමර්ශන ආරම්භ කිරීමෙන් පසු බොරු ලෙඩ මවාපාමින් විදේශ ගතවීමට උත්සාහ දරන දේශපාලනඥයන් රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගැන පුළුල් තොරතුරු සොයා බැලීමක් කර වාර්තාවක් බාරදෙන ලෙස රජය, බුද්ධි අංශවලට දැනුම් දී  ඇත.

මේ අනුව බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් එවැනි පිරිස් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවෙයි.

මේ අතර චෝදනාවලට ලක් වූ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරිපත්කර ඇති වෛද්‍ය වාර්තා සත්‍ය ඒවා දැයි සොයා බැලීම සඳහා විමර්ශන පැවැත්වීමට ද තීරණය කර ඇත.

යම් යම් විමර්ශන ආරම්භ වීමෙන් පසු විදේශගත වී නොපැමිණි දේශපාලනඥයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද බුද්ධිඅංශ මේ දිනවල කරුණු සොයා බලාගෙන යන බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔවුන් මෙරටට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන බව ද සඳහන් ය. දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රජයේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 60කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන පවත්වයි.

මේ අතර විවිධ පොදුසමා යටතේ  නිදහස් කෙරුණු ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් පැවැත්වෙයි. එම අය එසේ නිදහස් කිරීම නීත්‍යනුකූල ආකාරයකට සිදුවූයේ දැයි සොයා බැලීම එහි අරමුණ බව  අධිකරණ අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.