

ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය වෙත නව, දේශපාලනික මානයක් එක් කළ ප‍්‍රංශ මනෝවිශ්ලේෂකයකු වූ ෂාක් ලැකාන් වෙත අපි දැන් හැරෙමු. ප‍්‍රංශයේ මොන්ටපැර්නාස් ප‍්‍රදේශයේ මධ්‍යම පාන්තික කතෝලික පවුලක උපත ලැබූ ලැකාන් කුඩා කල සිටම දර්ශනය වෙත නැඹුරුවක් දැක්වී ය. විශේෂයෙන්ම බැරුච් ස්පිනෝසා කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව, ආයතනගත වීම කෙරෙහි පසුකාලීනව ලැකාන් පෙන්වූ විරෝධයෙහි මුල් ලක්ෂණයක් බව ෂෝන් හෝමර් පෙන්වා දෙයි.වෛද්‍ය විද්‍යාව හැදෑරූ තරුණ ලැකාන් මනෝවෛද්‍යවරයකු වීමට පුහුණුව ලැබූ අතර ඔහුගේ මෙම ගමන් මඟ වෙනස් වූයේ සිග්මන් ෆ්‍රොයිඞ්ගේ අදහස් සහ ප‍්‍රංශ අධියථාර්ථවාදී චිත‍්‍රශිල්පියකු වන සැල්වඩෝර් ඩාලිගේ ලිපියක් කියවීමත් සමඟ ය.
සිය වෛද්‍ය විද්‍යාත්මක පුහුණුව ලබන කාලයේ සිටම සයිකෝසියාව පිළිබඳව උනන්දුවක් දැක් වූ ලැකාන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලියූ නිබන්ධනය ”පැරනොයික සයිකෝසියාව සහ පුද්ගල පෞරුෂයට එහි ඇති සම්බන්ධය” නම් විය. මේ වන විට ප‍්‍රංශ මනෝවිශ්ලේෂණ ක්ෂේත‍්‍රය බෙහෙවින් වෛද්‍ය විද්‍යාව මත පදනම් වී තිබුණ ද ලැකාන්ගේ අධ්‍යාපනික පසුබිම සහ මුල් කාලීනව ඔහු අධියථාර්ථවාදී කලාව මෙන්ම ජේම්ස් ජොයිස් ගේ කෘති කියවීමට සහභාගී වීම හරහා මනෝවිශ්ලේෂණය පිළිබඳව ද අවිඥනයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ද වඩාත් පුළුල් සංස්කෘතික ක්ෂේත‍්‍රයක් ආශ‍්‍රයෙන් කියවීමට යොමු වූ බව හෝමර් පෙන්වා දෙයි.
සංස්ථාපිත ප‍්‍රංශ මනෝවිශ්ලේෂණ ආයතන තුළ ලැකාන් විසංවාදයට තුඩු දුන් චරිතයක් විය. මුල සිටම ආයතනගත මනෝවිශ්ලේෂණ සංගම්වලට සහ එහි ඒ වන විට ප‍්‍රමුඛත්වය දැරූවන්ට ප‍්‍රතිවිරෝධාත්මක චරිතයක් ලෙස තමන්ව ප‍්‍රතිනිරූපණය කිරීම ලැකාන් විසින්මත් කරන ලදි. 1934 දි රුඩෝල්ෆ් ලොටෙන්ස්ටයින් යටතේ මනෝවිශ්ලේෂණයට භාජනය වූ ලැකාන්, 1937 වන විට පැරිස් මනෝවිශ්ලේෂණ සංගමයේ පූර්ණ සාමාජිකයකු බවට පත්විය. 1936දී ඔහුගේ ජනප‍්‍රිය ලිපියක් වන ”කැඩපත් අවධිය” ඔහු විසින් ඉදිරිපත් කරන ලද අතර, එක්රී (ලියවීම්) යන කෘතියට ඇතුළු වූ මෙම ලිපියේම සංශෝධිත පිටපතක් ඔහු 1949 දී සූරික්හි පැවති මනෝවිශ්ලේෂණ සංගමයේ කොංග‍්‍රසයේදී ඉදිරිපත් කළේය.(හෝමර් 18). 1949 වන විට, ලැකාන්, පැරිස් මනෝවිශ්ලේෂණ සංගමයේ දීප්තිමත් තරුණ සාමාජිකයකු මෙන්ම එහි ඉතාමත් නිර්මාණශීලී චින්තකයකු ද විය. එහෙත්, ප‍්‍රංශයේ මනෝවිශ්ලේෂණ ව්‍යාපාරයේ ඉතාම දරුණුම බෙදීම්වල කේන්ද්‍රය බවට ලැකාන් පත්වීමට වැඩි කාලයක් ගතවූයේ නැත.
1910 දී ෆ්‍රොයිඩ් විසින් ආරම්භ කරන ලද ජාත්‍යාන්තර මනෝවිශ්ලේෂණ සංගමය, විශේෂයෙන් ඔහුගේ දියණිය වූ ඇනා ෆ්‍රොයිඩ්ගේ බලපෑම යටතේ බෙහෙවින් සම්ප‍්‍රදායවාදී ආයතනයක් බවට 1951 වන විටත් පත් වී තිබිණි. එපමණක් නොව, මනෝවිශ්ලේෂණයේ ප‍්‍රංශ ආගමනය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ සේ පෙනුණ මාර්ග දෙකක් හරහා සිදුවිය. මින් පළමුවැන්න නම් වෛද්‍ය විද්‍යාවයි. දෙවැන්න සාහිත්‍යය සහ කලාව යි. ෆ්‍රොයිඩ් කම්පාවට පත් කරමින්, වසර විස්සක් පුරා තමන් නොදැනුවත්ව මනෝවිශ්ලේෂණ භාවිතාවේ නියැළුණේ යැයි ප‍්‍රංශ ලේඛකයකු වූ අන්ද්‍රේ ගීද් පැවසීය. (ටර්ක්ල් 100). අනෙක් අතින් ප‍්‍රංශයේ මනෝවිශ්ලේෂකයන්ට කිසියම් හෝ වලංගුභාවයක් ලබා ගැනීමට නම් මනෝවිශ්ලේෂණය වෛද්‍ය විද්‍යාව තුළ පිහිටුවිය යුතු බව එහි බොහෝ ආරම්භක මනෝවිශ්ලේෂකයන්ගේ අදහස විය.
මෙම සන්දර්භය තුළ, 1949 දී ලැකාන් විසින් පැරිස් මනෝවිශ්ලේෂණ සංගමයේ ව්‍යවස්ථාවට, වෛද්‍ය පුහුණුවක් නොමැති පුද්ගලයන්ටද මනෝවිශ්ලේෂණ පුහුණුවට ඇතුළත් විය හැකි ආකාරයට නීති සම්පාදනය කළේ ය. එය එම සංගමයේ අභ්‍යන්තර දේශපාලනික අර්බුදයට සෘජු ලෙස බලපෑවේ ය. 1952 වන විට, පැරිස් මනෝවිශ්ලේෂණ සංගමයේ අභ්‍යන්තර අර්බුදයේ ප‍්‍රධාන ප‍්‍රකාශමාන වීම වූයේ ලැකාන්ගේ විචල්‍ය සායනික සැසිවාර පිළිබඳ ගැටලුවයි (එම). 1953 දී, නව මනෝවිශ්ලේෂණ ආයතනයේ අන්තර්වාරික අධ්‍යක්ෂක ලෙස සහ පැරිස් මනෝවිශ්ලේෂණ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ ලැකාන් ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් රැගෙන එනු ලැබූ අතර, 1953 දී ෆ්‍රොන්සුවා ෙදාල්තෝ, ඩැනියෙල් ලගාෂේ ඇතුළු තවත් පිරිසක් සමඟ පැරිස් මනෝවිශ්ලේෂණ සංගමයෙන් ලැකාන් ඉල්ලා අස්විය
ප‍්‍රංශ මනෝවිශ්ලේෂණ සංගමයේ මෙම බෙදීම පුද්ගල චරිත අතර ගැටීමක් මෙන්ම, මනෝවිශ්ලේෂණයේ සායනික ස්වරූපය හා සංවිධාන ව්‍යුහය පිළිබඳ ගැඹුරු ප‍්‍රශ්න ගණනාවක් මතු කළේය. ඉවත් වූ පිරිස විසින් නිර්මාණය කරන ලද ප‍්‍රංශ මනෝවිශ්ලේෂණ සංගමය පිළිගැනීම ජාත්‍යාන්තර මනෝවිශ්ලේෂණ සංගමය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. එහෙත්, 1959 වන විට, තම සංවිධානය හුදෙකලා වීමත්, ඉදිරියේ දී ඇතිවිය හැකි යුද අවස්ථාවක දී තම සාමාජිකයන්ට ජාත්‍යාන්තර වශයෙන් මනෝවිශ්ලේෂණයේ යෙදීමට නොහැකි වේ යැයි යන භීතියත් නිසා, අලුතින් පිහිටුවාගත් ප‍්‍රංශ මනෝවිශ්ලේෂණ සංගමය ද නැවත වරක් ජාත්‍යාන්තර මනෝවිශ්ලේෂණ සංගමයේ සාමාජිකත්වය ඇයැද සිටියේ ය. දෙවැනි වරට ද මෙම බල ගැටුමේ කේවල් කිරීමේ ලක්ෂ්‍යය බවට ලැකාන් පත්වූ අතර, 1963 දී ප‍්‍රංශ මනෝවිශ්ලේෂණ සංගමය, ජාත්‍යාන්තර මනෝවිශ්ලේෂණ සංගමයට ඇතුළු වීමේ කොන්දේසි සපුරාලීමේලා ලැකාන් සිය සාමාජිකත්වයෙන් නෙරපීය.
1964 දී ලැකාන් නැවත වරක් මනෝවිශ්ලේෂණ සංවිධානයක් පිහිටුවා ගත්තේ ය. මෙම නව සංවිධානය පැරීසියේ ෆ්‍රොයිඩියානු ගුරුකුලය යනුවෙන් හඳුන්වන ලදි . තමා විසින්ම පිහිටුවනු ලැබූ සංවිධානය තුළම පවා ලැකාන් විසංවාදයේ කේන්ද්‍රය බවට පත් විය. 1967 දී ලැකාන් ”පාස්” ක‍්‍රමය හඳුන්වා දුන්නේ, කිසියම් පුහුණු මනෝවිශ්ලේෂකයකු තම විශ්ලේෂිතයන් විශ්ලේෂණය කිරීමට සූදානම් බව ප‍්‍රකාශ කරන විට, තම අත්දැකීම පිළිබඳව මනෝවිශ්ලේෂක මඩුල්ලක් ඉදිරියේ විස්තර කළ යුතු යැයි පවසමිනි . මෙය මනෝවිශ්ලේෂණය විධිමත් සහ ආයතනගත කිරීමේ උත්සාහයක සිට, තම හිතවතුන්ට වැඩි වාසියක් ලබා දීමට ලැකාන් විසින් දරන උත්සාහයක් ය යන්න දක්වා විවිධ විවේචනයන්ට මෙම ක‍්‍රමය ලක් විය (එම). 1969 දී මෙම ”පාස්” ක‍්‍රමය ඡන්දයට යොමු කෙරුණු අතර, ඡන්දයෙන් ජයග‍්‍රහණ කළ ද, ලැකාන්ට තම හොඳම ශිෂ්‍යයන් ගණනාවක් මෙම බෙදීම මත අහිමි විය. ප‍්‍රංශ ෆ්‍රොයිඩියානු ගුරු කුලය එහි අවසානය දක්වාම බෙදීම් සහිත වූ අතර, ලැකාන් සිය මරණයට වසරකට පෙර මෙය ද විසුරුවා හැරියේ ය.
අප උක්ත ඉතිහාසය ගෙන හැර දැක්වූයේ මනෝවිශ්ලේෂණය සහ දේශපාලනය අතර සම්බන්ධය ගවේෂණය කිරීමේ දී, ආයතනගත සංවිධානයක් ලෙස මනෝවිශ්ලේෂණයේ පැවැත්මෙහි දුෂ්කරභාවය මතු කිරීමට ය. ශෙරී ටර්ක්ල්, මනෝවිශ්ලේෂණයේ දේශපාලනය පිළිබඳ සිය මානව විද්‍යාත්මක අධ්‍යයනය තුළ පෙන්වා දෙන ආකාරයට, නිසැක ලෙසම ලැකාන්ගේ පෞරුෂය, විශේෂයෙන් පසුකාලීනව ඔහු ආධිපත්‍යවාදී ගුරුවරයකු ලෙස පෙනී සිටීම, මෙම බෙදීම් හා මත ගැටුම්වල කේන්ද්‍රයේ පැවතිණි. අනෙක් අතින් ගත් කල, ටර්ක්ල් පෙන්වා දෙන පරිදි, මෙම බෙදීම් මනෝවිශ්ලේෂණයේ දේශපාලනයෙහි ගැඹුරු ප‍්‍රතිවිරෝධතා විදහා දක්වයි.
එක් අතකින් ගත් කල ලැකානියානු මනෝවිශ්ලේෂණය යනුම සංස්ථාපිත ආයතනයන්ට එරෙහිව යන භාවිතාවකි. සායනික අත්දැකීම තුළ, විශ්ලේෂිතයාගේ සුවවීම යනු ඔහු හෝ ඇය කිසියම් වෛද්‍ය විද්‍යාත්මක හෝ සංස්කෘතික ප‍්‍රතිමානයකට හැඩ ගැස්වීම නොව, සායනය තුළ ඇතිවන සංක‍්‍රමණික සම්බන්ධය, එනම් විශ්ලේෂකයා සමඟ ඇතිවන ආශාවේ සම්බන්ධය ඉක්මවා යාමයි. අනෙක් අතින්, සායනික භාවිතාවක් ලෙස මනෝවිශ්ලේෂණයට පැවතීම සඳහා කිසියම් ආයතනගත පැවැත්මක් අවශ්‍යය.
එක් අතකින් ගත් කල ලැකානියානු මනෝවිශ්ලේෂණය යනුම සංස්ථාපිත ආයතනයන්ට එරෙහිව යන භාවිතාවකි. සායනික අත්දැකීම තුළ, විශ්ලේෂිතයාගේ සුව වීම යනු ඔහු හෝ ඇය කිසියම් වෛද්‍ය විද්‍යාත්මක හෝ සංස්කෘතික ප‍්‍රතිමානයකට හැඩ ගැස්වීම නොව, සායනය තුළ ඇතිවන සංක‍්‍රමණික සම්බන්ධය, එනම් විශ්ලේෂකයා සමඟ ඇතිවන ආශාවේ සම්බන්ධය ඉක්මවා යාමයි. අනෙක් අතින්, සායනික භාවිතාවක් ලෙස මනෝවිශ්ලේෂණයට පැවතීම සඳහා කිසියම් ආයතනගත පැවැත්මක් අවශ්‍යය. මනෝවිශ්ලේෂණ තුළ ගැබ්ව ඇති මෙම ප‍්‍රතිවිරෝධය, එනම් ආයතනගත පැවැත්මක අවශ්‍යතාවය සහ එම විද්‍යාව තුළම එබඳ ආයතනගත කිරීම්වලට ඇති නෛසර්ගික විරෝධය, ලැකාන් සහ මනෝවිශ්ලේෂණ ආයතන අතර සම්බන්ධය හරහා පරීක්ෂා කළ හැකි ය.
නූතනවාදී දේශපාලන කතිකාවන් අතර මෙම ව්‍යුහයට සමාන ව්‍යුහයක් දරන දේශපාලනික ප‍්‍රවණතාවක් වන්නේ අරාජිකවාදයයි. අරාජිකවාදය යනුම සංස්ථාපිත ආයතනගත වීමට විරුද්ධව ගොඩනැගී ඇති දේශපාලනික දර්ශනයකි. එවැනි දර්ශනයක් පදනම් කොට ගෙන පක්ෂයක් හෝ සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීම අතිශය දුෂ්කර ය. එහෙත්, එම දර්ශනයන් විසින් මතු කරන්නා වූ ගැටලු සංස්ථාපිත සමාජ ව්‍යුහයන් සම්බන්ධයන් අතිශය වැදගත්ය. මනෝවිශ්ලේෂණයේ දේශපාලනය එහි ඉතිහාසය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව තේරුම් ගැනීමට නිදසුනක් ලෙස සංස්ථාපිත ආයතනයක් ලෙස මනෝවිශ්ලේෂණ සංගම් තුළ ලැකාන්ගේ විසංවාදී ගමන් මග අප ඉහත උපුටා දැක්වූයේ, මනෝවිශ්ලේෂණයේ මෙම ගැඹුරු විරුද්ධාභාසය අවධාරණය කිරීමට ය.
ප්‍රභා මනුරත්න – බුද්ධික බණ්ඩාර
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලැකානියානු මනෝවිශ්ලේෂණයේ දාර්ශනික පැතිකඩ