එකම එක සිංහල බෞද්ධ පවුලක්වත් නැති ගමක පන්සලේ දායක සභාවේ භාණ්ඩාගාරික මුස්ලිම් ජාතිකයෙක් වෙද්දී, ලේකම් ධුරය හොබවන්නේ දෙමළ ක්‍රිස්තියානි භක්තිකයෙක් යැයි ඇහුවොත් ඔබ එය විශ්වාස කරනව ද?

අලුත්වල ධම්මරතන හිමි

ජාති, ආගම් හා භාෂා වෙනස්කම් මිනිසුන් අතර දුරක් තනන ලෝකයක, ඒ සියලු‍ සීමා නිහඬව මකා දමමින් බුදු පහනක් දැල්වෙන පුංචි විහාරස්ථානයක් එරාවුර් ගම්මානයේ තිබේ. මේ විහාරස්ථානය වටා කිසිදු සිංහල හඬක් නොඇසෙයි; එකම සිංහල පවුලක් හෝ එහි නැත. ඒ වෙනුවට දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ජීවිත මැද, එකම භික්ෂූන් වහන්සේ නමක් වැඩවසන මේ පුංචි පුදබිම සදහම් සුවඳ බෙදාහරිමින් සිටියි.

එය හුදෙක් විහාරස්ථානයක් පමණක් නොවේ. වෙනස්කම් අතරින් මිනිස්කම සොයාගත හැකි බවත්, ආගම වෙනස් වුවද ගෞරවයටත් කරුණාවටත් මිනිස් හදවතේ ඉඩක් ඇති බවත් කියාපාන නිහඬ පහන් සිළුවකි.

එහෙත් අද නිහඬව බුදු පහනක් දැල්වෙන මේ පුදබිමට අතීතයේ අඳුරු මතකයක් ද තිබේ. 1986 වසරේදී එරාවුර් පුලිනතලාරාම විහාරස්ථානයේ වැඩවිසූ එකම භික්ෂූන් වහන්සේ නම පසළොස්වක පොහෝ දිනකදී ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. උන් වහන්සේගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ ද එවකට පැවැති තත්ත්වය හමුවේ පොලිසියේ සහ යුද හමුදාවේ මැදිහත්වීමෙනි.

ඒ අඳුරු සමයේ විහාරස්ථානයට ද අත්වූයේ එතරම්ම ශෝචනීය ඉරණමකි. ත්‍රස්තවාදීන් විසින් මුළු විහාරස්ථානයම විනාශ කර පොළොවతో සමාట කර තිබිණි. බුදු පහනක් දැල්වුණු, බණ පද ඇසුණු ඒ පුදබිම කාලයත් සමඟ මතකයක් පමණක් ඉතිරි කරගනිමින් නිහඬ විය. කලක් ගත වන විට විහාර භූමිය පුරා ගස්වැල් වැවී මිනිස් පා සටහන් මැකී ගියේය. එහෙත් ඒ බිම තුළ තැන්පත්ව තිබූ අතීත මතකයන් කිසිදා මැකී ගියේ නැත.
වසර ගණනාවක් ගෙවී ගිය පසු, නිහඬව තිබූ ඒ පුදබිමට යළිත් ජීවයක් ලබාදීමේ උත්සාහයක් ආරම්භ විය. පොලිසියේ සහ යුද හමුදාවේ ඉල්ලීම මත හික්කඩුවේ ඥානරතන හිමිපාණන් වහන්සේගේ මැදිහත්වීමෙන් 2012 වසරේදී එහි මුල්ගල තබා කුඩා ශාලාවක් ඉදිකර, එක් භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩවසීමට සලස්වා තිබිණි.

එදා එම භික්ෂූන් වහන්සේගේ දෛනික දානය පවා සපයා දෙනු ලැබුවේ එරාවුර් පොලිසිය විසිනි. සිංහල බෞද්ධ පවුලක්වත් නොමැති ඒ පරිසරයේ, පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් යළිත් බුදු පහනක් දැල්වීම සැබැවින්ම මිනිස්කමේ අපූරු සලකුණක් විය.

එහෙත් විහාරස්ථානයේ පහසුකම් සීමිත වීමත්, දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවීමත් හේතුවෙන් එහි වැඩවසීමට පැමිණි භික්ෂූන් වහන්සේ කිහිප නමකටම වැඩි කලක් එහි රැඳී සිටීමට හැකි වූයේ නැත. මාස කිහිපයක් ගතවීමත් සමඟ උන් වහන්සේලාට විහාරස්ථානයෙන් බැහැරව යාමට සිදුවිය.

”‍හික්කඩුවේ ඥානරතන ලොකු හාමුදුරුවෝ දවසක් මගෙන් ඇහුවා, ‘ධම්මරතන, මේ පන්සල භාරගන්න කැමති ද?‘ කියලා. මං මගේ ලොකු හාමුදුරුවන්ගේ වචනයට කැමති වුණා. ඒ අනුව තමයි 2014 අවුරුද්දේ විතර මම මේ විහාරස්ථානයට ආවේ. ඇත්තටම ඒක ලේසි කාලයක් නෙවෙයි. හරිම අමාරු, දුෂ්කර කාලයක්. විහාරස්ථානයේ පහසුකම් ගොඩක් අඩුයි. ඒත් ලොකු හාමුදුරුවන්ගේ වචනයත්, මේ පුදබිම ගැන තිබුණු හැඟීමත් නිසා මම මේක භාරගත්තා. මට දැන් වයස අවුරුදු හැටනවයයි”‍ යනුවෙන් එරාවුර් පුලිනතලාරාම විහාරස්ථානයේ අලු‍ත්වල ධම්මරතන හිමිපාණෝ ඉරිදා ලංකාදීපයට පැවසූහ.

අක්කර දෙකහමාරක පමණ භූමි භාගයක පැතිරුණු මේ විහාරස්ථානය අද යම් පමණකට හෝ ජීවය ලබන්නේ, වසර ගණනාවක් පුරා නොපසුබස්නා උත්සාහයකින් එය ගොඩනැඟීමට කැපවූ පිරිසකගේ කැපවීමෙනි. විහාරස්ථානයට පැමිණි ධම්මරතන හිමිපාණන් වහන්සේ මුලින්ම ටකරම්වලින් කුඩා මුළුතැන්ගෙයක් සකස් කරගනිමින් තම ජීවිතයට අවශ්‍ය මූලික පහසුකම් සපයා ගත්හ. ඉන් අනතුරුව කුඩා බුදු මැදුරක් ඉදිකරමින්, චෛත්‍යයක් ගොඩනඟමින්, බෝධීන් වහන්සේ නමක් රෝපණය කරමින්, එදා ගස්වැල්වලින් වැසී තිබූ මේ භූමිය යළිත් පුදබිමක් බවට පත් කිරීමේ ගමන ආරම්භ කළහ. ඒ ගමන කිසිසේත්ම තනිව යා හැකි ගමනක් නොවීය. හික්කඩුවේ ඥානරතන හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයත්, එරාවුර් ගම්වාසීන්ගේ නොමසුරු සහයෝගයත් ඒ සෑම පියවරකදීම ශක්තියක් විය. විශේෂත්වය වන්නේ ඒ සහයෝගය ලබාදුන් ගම්වාසීන් අතර බෞද්ධයන් නොසිටීමය. මුළු එරාවුර් ගම්මානයේම ජීවත් වන්නේ දෙමළ හා මුස්ලිම් ජනතාවය.

එහෙත් ඔවුන්ට එම විහාරස්ථානය තමන්ගේ ආගමට අයත් නොවන පුදබිමක් ලෙසින් දුරස්ව සිටීමට හේතුවක් නොවීය. ජාතිය කුමක්ද, ආගම කුමක් ද යන්න නොසොයා, මිනිසෙකුට තවත් මිනිසෙකු වෙනුවෙන් කළ හැකි යුතුකමක් ලෙස ඔවුහු හැකි අයුරින් මේ පුදබිම ගොඩනැඟීමට අත දුන්හ. කෙනෙක් ශ්‍රමයෙන් දායක වූ අතර, තවත් කෙනෙකු අවශ්‍ය ද්‍රව්‍යයක් සපයා දුන්නේය. තවත් අයෙක් තමන්ට හැකි පමණින් කුඩා හෝ උපකාරයක් කළහ.

කාලය ගෙවී යද්දී මේ සහයෝගය තවදුරටත් පුළුල් විය. කිසිදු පක්ෂපාතීත්වයකින් හෝ භේදයකින් තොරව, තමන්ගේ ආගම හෝ ජාතිය ඉදිරියට නොතබා, මිනිස්කම පමණක් පෙරදැරි කරගත් පිරිසක් මේ විහාරස්ථානය වටා එක්වූහ. ඒ නිසාම අද මේ පුදබිම දෙස බැලූ විට පෙනෙන්නේ ගොඩනැඟිලි කිහිපයක් පමණක් නොවේ. විවිධ ජාතීන් හා ආගම් අතර ඇතිවිය හැකි මිනිස් බැඳීමේ සුන්දරත්වය ද එහි සෑම ගඩොලකම, සෑම ගසකම, සෑම පහන් සිළුවකම තැන්පත්ව තිබෙනු දැකිය හැකිය.

සිංහල බෞද්ධ පවුලක්වත් නොමැති ගම්මානයක බුදු පහනක් දැල්වෙන්නේ එම ගම්මානයේ මිනිසුන්ගේ හදවත් තුළ දැල්වෙන මිනිස්කමේ පහන නිසාය. ආගම වෙනස් වුවද, භාෂාව වෙනස් වුවද, එකිනෙකා වෙනුවෙන් දිගු කරන දෑතකට ජාතියක් හෝ ආගමක් අදාළ නොවන බව එරාවුර්හි මේ පුංචි විහාරස්ථානය නිහඬව කියාපාන්නේ එබැවිනි.

”‍අදටත් මේ පන්සලේ ඉන්නේ මම විතරයි. මිදුල අතුගාන එකේ ඉඳලා වැසිකිළි හෝදන එක දක්වා හැම වැඩක්ම කරන්නේ මමමයි. අදටත් මට දානය ලැබෙන්නේ පොලිසියෙන්. හැමදාම පොලිසියට ගිහින් දානය වළඳන්නත් බැහැනේ. ඒ නිසා සමහර දවස්වලට මම දානය ගන්නෙත් නැහැ. මේ ගමේ ඉන්නේ මුස්ලිම් සහ දෙමළ ජනතාව. ඒ හැමෝම මට හරි එකතුයි. පන්සල ඉස්සරහ ඉන්නේ මුස්ලිම් ජනතාව; පන්සල පිටිපස්සේ ඉන්නේ දෙමළ ජනතාව. ඒ හැම කෙනෙක්ගේම මළගෙදරකටම මම යනවා. මුස්ලිම් අයගේ භූමදානය කරන තැනට පවා මම යනවා. මම පන්සලේ නෝമ്പ് ඇල්ලීමේ අවස්ථාවන් පවා සිදුකරලා තියෙනවා මගේ ගමේ මුස්ලිම් ජනතාව වෙනුවෙන්. මුස්ලිම් පල්ලි 36 ක් සහ හින්දු කෝවිල් උත්සව සඳහා මට නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. මම ඒ ආරාධනා බොහොම ගෞරවයෙන් භාරගෙන ඒ සියලු‍ම දේවල්වලට සහභාගි වෙනවා.”‍
”‍ඉස්සර මේ ගමේ තිබුණු සිංහල ගෙවල් ඔක්කොම වගේ විකුණලා. දැන් පන්සලේ දායක සභාවේ ඉන්නෙත් මුස්ලිම් සහ දෙමළ අය විතරයි. දායක සභාවේ භාණ්ඩාගාරික මහත්තයා මුස්ලිම් ජාතිකයෙක්. ලේකම් මහත්තයා දෙමළ කතෝලිකයෙක්.”‍

”‍වසර කීපයකට පෙර මට හිතුණා විහාරස්ථානයේ කඨින පිංකමක් කරන්න ඕනෑ කියලා. මම ඒ ගැන දායක සභාවට කිව්වා. එතකොට දෙමළ ජාතික ආනන්දන් මහත්තයා කිව්වා, ‘හාමුදුරුවනේ, අපි බෞද්ධ ආගමික සිරිත් කරන විදිහ කියන්න; අපේ ගෙදර කඨින පිංකම තියමු‘ කියලා. ඒ කඨින පූජාවේ පෙරහැරට වියදම් දැරුවේ එතුමා...”‍

ඒ විදිහට ගිය වසරේ විහාරස්ථානයේ කඨින පෙරහැර වැඩම කරවනු ලැබුවේ ආනන්දන් මහත්තයාගේ ගෙදර ඉඳන්ය. ඒ පිංකම වෙනුවෙන් මට මේ ගමේ අන්‍යාගමිකයෝ සියලු‍ දෙනා උදව් කළහ.

”‍ඉස්සර මේ ගමේ තිබුණු සිංහල ගෙවල් ඔක්කොම වගේ විකුණලා. දැන් පන්සලේ දායක සභාවේ ඉන්නෙත් මුස්ලිම් සහ දෙමළ අය විතරයි. දායක සභාවේ භාණ්ඩාගාරික මහත්තයා මුස්ලිම් ජාතිකයෙක්. ලේකම් මහත්තයා දෙමළ කතෝලිකයෙක්.”‍

 

ඒ විදිහට දිගටම මේ විහාරස්ථානයේ පිංකම් සිදුකෙරිණි. මේ පාර කඨින පින්කම කරන්නේ පොලිසියේ වැඩ කරන උපාලි මහත්තයාගේ ගෙදරින්ය. උපාලි මහත්තයා සිංහල කෙනෙක් වුණත් එයාගේ බිරිඳ දෙමළ කෙනෙකි.
”‍ඉස්සර නම් පන්සලේ ආරක්ෂාවට පොලිසියේ මහත්වරු ඇවිල්ලා හිටියා. දැන් ග්‍රාමාරක්ෂක මහත්තයෙක්වත් නැහැ. හැබැයි ගමේ මිනිස්සු පන්සලට හරිම ආදරෙයි. මමත් මාසයකට විතර වතාවක් හික්කඩුවේ පන්සලට ගිහින් මට ඕන කරන සිවුරු එහෙම අරගෙන එනවා. පන්සලේ ඉදිවෙමින් තිබුණු ගොඩනැගිල්ලේ වැඩ තාම ඉවර කරලා නැහැ; තව අඩුපාඩු ගොඩක් තියෙනවා. මේ හැම දේමත් එක්ක, මුස්ලිම් හා දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන එරාවුර් ප්‍රදේශයේ මේ පන්සල මම කරගෙන යනවා. මේ ගමේ අන්‍යාගමිකයෝ හිටියත් ඒ ඇත්තෝ පන්සලට වගේම මටත් හරිම එකතුයි. ඒ ආදරය සහ සහයෝගය තමයි මට මේ පන්සලත් එක්ක ඉස්සරහට යන්න ලොකු ශක්තියක් වෙලා තියෙන්නේ.”‍

කලකට පෙර වෙඩි හඬින් නිහඬ වූ මේ පුදබිමේ අද ඇසෙන්නේ බුදුන් වහන්සේගේ දහම් පදත්, මිනිසුන්ගේ හදවත් තුළින් නැගෙන මිනිස්කමේ හඬත් පමණි. සිංහල පවුලක් නොමැති, බෞද්ධ දායකයෙකු නොමැති ගම්මානයක බුදු පහනක් නොනැවතී දැල්වෙන්නේ ඒ පහනට තෙල් දමන්නේ එකම ආගමකට හෝ එකම ජාතියකට අයත් මිනිසුන් පමණක් නොවන නිසාය.

මුස්ලිම් නිවසකින් කඨින පෙරහැරක් පැමිණෙන විටත්, දෙමළ නිවසක දුකකදී භික්ෂූන් වහන්සේ වැඩම කරන විටත්, ඒ සියල්ල අතරින් ඉස්මතු වන්නේ ආගමට වඩා උතුම් වූ මිනිස් බැඳීමකි. එරාවුර්හි මේ පුංචි විහාරස්ථානය අද නිහඬව කියා සිටින්නේද එයමය.

බුදු පහනක් දැල්වීමට ජාතියක් අවශ්‍ය නැත; ආගමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මිනිස් හදවතක ඇති කරුණාව පමණි.

දිශානි ජයමාලි කරුණාරත්න