
දෙහිවල, කවුඩාන සිරිසඟබෝ මාවතේ පිහිටි කුඩා නිවස මුළු මහත් ප්‍රදේශයම දෙදරුම් කවමින් අත්බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේ පසුගිය සිකුරාදා අලුයම් කාලයේදීය. එම අමානුෂික ප්‍රහාරයෙන්, පැදුරු කඩමල්ලක නිදාසිටි අහිංසක දරුවන් දෙදෙනකුගේ ජීවිත සදාකාලිකවම නැවතී ගියේය.
එදින අලුයම 3.10 ට පමණ නිවසේ දොරට යමෙකු තට්ටු කරන ශබ්දයට අවදි වූයේ ත්‍රිරෝද රථ රියදුරෙක් වන හෙට්ටිආරච්චිගේ නලින්ය. ඒ කවුදැයි විපරම් කිරීමට ඔහු දොර විවෘත කරනවාත් සමගම, පිටත සිටි සහසිකයෙක් එකවරම නිවස තුළට අත්බෝම්බයක් දමා ගසා ක්ෂණිකව දොර වසා දැමීය. විදුලි වේගයෙන් ක්‍රියාත්මක වූ බෝම්බකරු, එතැන රැඳී තිබූ රතු පැහැති ත්‍රිරෝද රථයකට නැගී එහි සිටි අනෙක් පුද්ගලයා සමග පලා ගියේය. අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණෙන ආකාරය සහ පලායන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව තිබිණි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පියා සහ පුතුන් දෙදෙනා ‘1990 සුවසැරිය’ ගිලන් රථයකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, 17 හැවිරිදි කසුන් රශ්මික සහ 11 හැවිරිදි හෙට්ටිආරච්චිලාගේ දුමින්ද ගිහාන් යන සොහොයුරන් දෙදෙනා ඒ වන විටත් මියගොස් සිටියහ. දෙපා වලට දැඩි ලෙස හානි සිදුවීම නිසා පියා වන නලින් පසුවූයේ සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ පියාගේ තත්ත්වය මේ වන විට එතරම් බරපතල නොවන බවයි.
නලින්ගේ නිවසට යාබදව ඇත්තේ ඔහුගේ සහෝදරයාගේ නිවසයි. නිවාස දෙක වෙන්වී ඇත්තේ තනි බිත්තියකිනි. දැනට ඩුබායි හි සැඟව සිටින ‘සැන්ඩෝ‘ නැමැති පාතාල කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ යැයි කියන මෙම සහෝදරයා මෙන්ම, ඔහුගේ ලොකු පුතාද ‘බඩෝවිට අසංක‘ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ නිරත අයෙකි. මෙම බෝම්බ ප්‍රහාරය පියා සමග තිබූ මතභේදයක් මත එල්ල වූවක්ද, එසේත් නැතිනම් යාබද නිවසේ පදිංචි අසංකගේ සමීපතමයාගේ නිවසට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ වැරදීමකින් නලින්ගේ නිවසට එල්ල කළ එකක්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දැනට ඩුබායි හි සිටින ‘සැන්ඩෝ‘ සහ ප්‍රතිවාදී පාතාල නායකයකු වන ‘කොස් මල්ලි‘ ඇතුළු පිරිස මෙන්ම ‘බඩෝවිට අසංක‘ සහ ‘අවිශ්ක‘ පාර්ශවයන් අතර පවතින දීර්ඝ කාලීන වෛරය හේතුවෙන් පසුගිය කාලයේ ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල ප්‍රදේශවල වරින් වර වෙඩිතැබීම් හා බෝම්බ ප්‍රහාර සිදුවිය. පසුගිය 9 වනදාද කළුබෝවිල ශ්‍රී විමලසිරි පාරේ පිහිටි නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබිණි. උසස් පොලිස් නිලධාරියකු පැවසූ පරිදි, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ‘කොස් මල්ලි‘ගේ කල්ලියේ වෙඩික්කරුවෙකු වන ‘ජනිත්‘ නැමැත්තා බවට සැක කෙරේ.
දරුවන් කුඩා අවදියේදීම බිරිඳ අතහැර ගිය පසු, ත්‍රිරෝද රථය පදවා ලැබෙන සොච්චම් මුදලින් දරුවන් දෙදෙනා රැකබලා ගත්තේ නලින්ය. කුලී ගමනක් නැති දිනවල අසල්වැසියන්ගේ උපකාරයෙන් කුසගින්න නිවාගත් මේ පුංචි පවුලේ ලොකු පුතා, සාමාන්‍ය පෙළ සමත්ව සිටියේය. ”තාත්තාට බරක් නොවී මල්ලිට උගන්නන්න ඕන හින්දා මං සඳුදා ඉඳන් පෙට්‍රල් සෙඩ් එකක වැඩට යනවා”යි කසුන් පුතා මීට දින කිහිපයකට පෙර මිතුරන්ට පවසා තිබුණි. අටවැනි වසරේ ඉගෙනුම ලැබූ බාල පුතුද මෑතකදී මළගෙදරක ගොස් පැමිණ ”මටත් මොනවා හරි වෙයිද දන්නේ නෑ”යි මිතුරන් සමග පවසා තිබූ කතාව අද අසල්වැසියන්ගේ නෙතඟට කඳුළු උනයි.
අපරාධකරුවන් පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකළ රතු පැහැති ත්‍රිරෝද රථය පාදුක්ක ඉහළ බෝපෙ ප්‍රදේශයේ අතහැර දමා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත. මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා කළ පරීක්ෂාවේදී එම අංකය බණ්ඩාරගම ප්‍රදේශයේ අයකුට අයත් එකක් බව හෙළිවූ අතර, සැබෑ හිමිකරු අදාළ ත්‍රිරෝද රථය සහිතව පොලිසියට ඉදිරිපත් වී ඇත. ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් වෙනත් ස්ථානයකින් සොරාගත් ත්‍රිරෝද රථයකට මෙම ව්‍යාජ අංකය යොදාගෙන ඇති බවට සැක කෙරේ.
සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙණීය මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණ පැවැත්වූවාය. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර, දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ එක්ව පාතාලයේ මෙම අමානුෂික ඝාතකයන් සොයා පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
අශෝක නිශ්ශංක ,බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ වැල්ලවත්ත බී. ජානකගේ වාර්තා ඇසුරිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd