ගෝලීය වශයෙන් බලපා ඇති එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවටත් මේ වන විට තීරණාත්මක බලපෑමක් කරමින් සිටියි. ඒ බව රජරට ප්‍රදේශය ඇතුළුව තවත් පළාත් කිහිපයක පවතින දැඩි වියළි කාලගුණයෙන් විද්‍යමාන වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව, මෙම එල්නිනෝ තත්ත්වය ලබන වසර දක්වාම බලපැවැත්වීමට ඉහළ සම්භාවිතාවක් ඇති අතර, ඒ හේතුවෙන් ජලය, ආහාර නිෂ්පාදනය, බලශක්තිය ආදී අංශ රැසකට සෘජු මෙන්ම වක්‍ර බලපෑම් රැසක් එල්ල වනු ඇත.

ආපදාවට පත් පවුල්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පසුගිය 10 වැනිදා නිකුත් කරනු ලැබ තිබූ සවිස්තරාත්මක තත්ත්ව වාර්තා සාරාංශයට අනුව, එදින වන විට එල්නිනෝ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක පවුල් 42,244 කට අයත් පුද්ගලයෝ 137,217 දෙනෙක් පීඩාවට පත්ව සිටියහ. දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පානීය ජල ගැටලු‍වට ද මුහුණ දී සිටින අතර, ඒ සම්බන්ධයෙන් ද මේ තත්ත්ව වාර්තාවෙන් තොරතුරු ඉදිරිපත් කරයි. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක පවුල් 41,703 ක් සඳහා පානීය ජලය බෙදා දෙනු ලබන අතර, පානීය ජලය ලබන පුද්ගලයන් සංඛ්‍යාව 135,037 කි. එලෙස පානීය ජලය බෙදා හරිනු ලබන දිස්ත්‍රික්ක වන්නේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, මාතලේ, පොලොන්නරුව සහ රත්නපුරය. ඉකුත් දිනවල මාධ්‍යවල ඡායාරූප ද සහිතව අනුරාධපුර, පොලොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන දැඩි වියළි කාලගුණ තත්ත්වය වාර්තා කර තිබූ අතර, බොහෝ වැව්වල ජලය සිඳී ගොස් ඇති බවක් දැකගත හැකි විය. මේ අතර ඉකුත් සතියේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යයට පවසා තිබුණේ පවතින වියළි කාලගුණය හමුවේ එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා වැව් 15,000 කට අධික ප්‍රමාණයෙන් සියයට 70 ක පමණ ජලය සැලකිය යුතු අගයකින් අඩු වී ඇති බවය.

මේ සියලු‍ කාරණා පෙළගැස්වූයේ එල්නිනෝවෙන් දැනට රටට වී ඇති වින්නැහියේ තරම කියා පෑමටය. එහි ඉදිරි ස්වරූපය කෙසේ විය හැකිදැයි අපට කිව නොහැකිය. එහෙත් ජල කළමනාකරණය, කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව සහ බලශක්තිය යන අංශවලට මෙයින් ඉදිරියේදී විය හැකි අහිතකර බලපෑම් ගැන පුරෝකථන ඉදිරිපත් වේ. හානිය අවම කිරීම වෙනුවෙන් දැනටමත් ගනු ලැබ ඇති සහ ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග ගැන ද සාකච්ඡා වේ. එම සාකච්ඡාව තවත් ඉදිරියට ගෙන යමින් එල්නිනෝවෙන් සෘජු බලපෑම් එල්ල වන අංශ කිහිපයක ආයතන ද සම්බන්ධ කරගනිමින් මේ කරුණු අපි ඉදිරිපත් කරමු.

ජලාශ හා වැව්වල තොරතුරු

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය යටතේ පවතින විශාල වැව් සහ ජලාශවල ජල මට්ටම ද මේ වෙද්දී සියයට 35 සීමාවට පහළ බැස ඇති බව ප්‍රකාශ වන අතර, එය තවදුරටත් අඩු වුව හොත් ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනය ද සැලකිය යුතු අගයකින් පහළ යනු ඇත. 

මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ජේ. කේ. හේරත් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ, මහවැලි ජලාශවල පවතින ජල මට්ටම අනුව ජල විදුලි නිෂ්පාදනය සඳහා නිකුත් කරනු ලබන ජල ප්‍රමාණය ද අඩු කර ඇති බවය.

“අගෝස්තු මාසය වෙනකන් ජල විදුලි නිෂ්පාදනය සඳහා උපරිම ධාරිතාවෙන් ජලය නිකුත් කළා. ඒත් දැන් ටිකක් අඩුකරලා දෙන්නෙ. ඔක්තෝබර්-නොවැම්බර් වෙන කොට වර්ෂාව ලැබෙන බව පුරෝකථනය කරලා තියෙනවානෙ. ඒ නිසා ඒ වෙනකන් ජලාශවල තියෙන ජල ප්‍රමාණය අපට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා දැනට තියෙන ජලයෙන් මහ කන්නය ඔක්තෝබර් මුල ඉඳන් පටන් ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ. මේ මාසෙ 18 වැනිදා තියෙන කන්න රැස්වීමේදි ගොවියො එක්ක සාකච්ඡා කරලා ඒක හරියටම තීරණය කරනවා” යැයි හෙතෙම පැහැදිලි කළේය.

පසුගිය 8 වැනි දින වන විට මහවැලි අධිකාරිය යටතේ පවතින කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 52 ක්, පොල්ගොල්ල ජලාශයේ සියයට 89 ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 70 ක්, රන්දෙනිගල ජලාශයේ සියයට 61 ක්, රන්ටැඹේ ජලාශයේ සියයට 65 ක් සහ ඩයරබා ජලාශයේ සියයට 61 ක් වශයෙන් පැවති බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ දත්ත පෙන්වා දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන ජලාශ 74 ක් ද මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 160 ක් පමණ ද ඇති අතර, පවතින වියළි කාලගුණය හමුවේ ඒවායෙහි ජල මට්ටම ද සැලකිය යුතු අගයකින් අඩු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“සමස්තයක් වශයෙන් ගත්තම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තියෙන වැව් හා ජලාශවල ජල මට්ටම තියෙන්නෙ සියයට 34 ක වගේ අගයක. අම්පාර දිස්ත්‍රික්කයේ මේ මට්ටම සියයට 20 ගණන්වල තියෙන්නෙ. මඩකලපුවෙ තියෙන්නෙ සියයට 25 ක වගේ අගයක. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම සියයට 50-60 මට්ටමක තියෙනවා. ඔක්තෝබර් මුල් සතියේ වැසි ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ වැස්සෙන් ජලාශවලට ජලය එකතු වෙයි කියලත් අපි හිතනවා. මේ අවුරුද්දෙ මැයි ජූනි මාසවල ඉඳන්ම එල්නිනෝ තත්ත්වයක් ගැන අනතුරු අඟවලා තිබුණු නිසා ඒ අනුව අපි යල කන්නය සැලසුම් කළා. යල කන්නය දැන් අවසන් කරලා තියෙන නිසා මේ මාස දෙකේ විශාල වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා ජලය නිදහස් කිරීමට අවශ්‍ය වෙන්නෙ නෑ. පානීය ජලය සඳහා ජලය සපයන එක විතරයි තියෙන්නෙ. සැප්තැම්බර් අවසානය වෙන තෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව පානීය ජල අවශ්‍යතා සඳහා ජලය සපයන්නත් පුළුවන්” යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති වැලිගෙපොළගේ ‘ඉරිදා ලංකාදීප’යට සඳහන් කළේය.

වැව් සහ ජලාශවල තැන්පත් වී ඇති රොන් මඬ ඉවත් කිරීමෙන් ඒවායෙහි රැඳවිය හැකි ජල ධාරිතාව වැඩි කරගැනීමට පිළිවන. වර්ෂාව අඩු මේ කාලය ඒ සඳහා යෝග්‍ය බව බොහෝ අය පෙන්වා දෙති. මහවැලි අධිකාරිය යටතේ පවතින බෝවතැන්න ජලාශයෙන් ඒ කටයුත්ත ආරම්භ කළ බව කී මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම කටයුතු රන්ටැඹේ ඇතුළු තවත් ජලාශ කිහිපයක ඉදිරියේදී සිදු කරන බව ද පැවසීය.

“බෝවතැන්න ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අපි ඒ කටයුතු ආරම්භ කළා. ජලාශවල රොන් මඩ ඉවත් කර ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට විශාල මුදලක් වගේම යන්ත්‍ර සූත්‍ර බොහෝ ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. බෝවතැන්න, පොල්ගොල්ල සහ රන්ටැඹේ ජලාශවල තමයි වැඩිවශයෙන් රොන් මඬ පිරිලා තියෙන්නෙ. ඒවා ඉවත් කිරීමේ කටයුතු මේ අවුරුද්දෙ පටන් අරගෙන ටික ටික කරගෙන යනවා. මේ අවුරුද්දෙ කොටසක තමයි රොන් මඬ ඉවත් කරන්නෙ. ඊළඟ වසරෙ පෑවිල්ල තියෙන කාලෙදි ඉතිරි කොටස කරනවා. මහ කන්නයෙදි වැටෙන වර්ෂාවෙන් ජලාශ පිරුණට පස්සෙ ඒ වතුරෙන් මහ කන්නයට වතුර අරගෙන ජලාශ හිස් වුණොත් ඒ ජලාශවල රොන් මඬ ඉවත් කරනවා. එහෙම නැත්නම් ඒ ඉතිරි වෙන ජලය ඊළඟ යල කන්නය වෙනකන් රඳවා ගන්නවා. නැවතත් යල කන්නය ඉවර වුණහම අපිට යම් කාලයක් ලැබෙනවා” යැයි ඔහු කීවේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් සහ ජලාශවල රොන් මඩ ඉවත් කරන්නේදැයි කළ විමසීමේදී එහි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති වැලිගෙපොළගේ පැවසුවේ විශාල වැව්වල රොන් මඬ ඉවත්කිරීම සඳහා සූදානමක් නැතත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන කුඩා වැව් රැසක රොන් මඬ සහ ජලජ ශාක ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවය.

“වාරි මහිම අපේ උරුම ව්‍යාපෘතිය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන කුඩා වැව් රැසක රොන් මඬ ඉවත් කිරීමත් ජලජ ශාක ඉවත් කිරීමත් සිදුකරලා ඒවායේ ජල ධාරිතාව වැඩිකර ගැනීමට සැලසුම් කරලා තියෙනවා. ලබන වසරේ ජනවාරි සිට මැයි දක්වා වර්ෂාව අඩුවෙන් ලැබෙන බව තමයි කාලගුණ අනාවැකිවලින් දැනට කියන්නෙ. ඒ කාලය සඳහා සූදානම්වීම තමයි දැන් අපට අවශ්‍ය කරන්නෙ. ඉදිරි මාසයේදී වර්ෂාව ලැබුණට පස්සෙ ඒ ජලය උපරිම විදියට පරෙස්සම් කරගනිමින් මහ කන්නය කිරීමට තමයි අපි බලන්නෙ. ඒ නිසා තමයි අපි ගොවියන්ට නිතරම කියන්නෙ පස් සැකසීම් කටයුතු සඳහා වැව්වල ජලය භාවිත නොකර වැහි ජලයෙන් කරන්න කියලා. මහ කන්නයේදී වර්ෂාව ලැබෙන නිසා එයින් පිරෙන ජලාශවල ජලය මහ කන්නයට යොදා ගෙන ලබන පෙබවාරි වෙන කොට කොතරම් ජල ප්‍රමාණයක් ජලාශවල ඉතුරු කරගන්නවාද කියන කාරණය මත තමයි පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස තුන සැලසුම් කරන්න වෙන්නෙ” යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

විදුලියට වන බලපෑම්

එල්නිනෝ තත්ත්වය හමුවේ ජලාශ හා වැව්වල ජල ධාරිතාව සම්බන්ධ තත්ත්වය එපරිදි වන විට, මීළඟට විමසා බැලිය හැක්කේ ජල විදුලි නිෂ්පාදනයට එයින් ඇති කරනු ලබන බලපෑම්ය. පසුගිය සැප්තැම්බර් 9 වැනි දින වන විට ජල විදුලි නිෂ්පාදනය ගිගා වොට් පැය 15.95 ක් වූ බව තවමත් යාවත්කාලීන වන ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්විණි. එය එදින සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 28.8 කි.

ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කළේ, සාමාන්‍ය කාලවලදීත් ජලාශවලින් නිකුත් කරනු ලබන ජලයෙන් සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් ජල විදුලිය උත්පාදනය කරන බවත්, පසුගිය 9 වැනි දින වන විට එම ප්‍රතිශතය සියයට 30 ක පමණ මට්ටමක පැවති බවත්ය.

“මේ දවස්වල දෛනික විදුලි අවශ්‍යතාව ගිගා වොට් පැය 60 ක් විතර වෙනවා. ඒ ගිගා වොට් 60 න් ඊයේ (09) සියයට 30 ක පමණ විදුලියක් නිෂ්පාදනය කිරීම සඳහා ජලය නිකුත් කරලා තියෙනවා. ඉස්සර ඉඳන්ම අපි විදුලිය නිෂ්පාදනය සඳහා ජලය නිකුත් කරන්නෙ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 25 ක් 30 ක් අතර විදුලියක් උත්පාදනය කිරීම සඳහා” යැයි හෙතෙම පැහැදිලි කළේය.

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ වුව ජල විදුලි නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමක තිබුණ ද, ඉදිරි කාලයේ උද්ගත වන තත්ත්වය නිවැරදිව පුරෝකථනය කිරීම අපට අපහසුය. එහෙත් විදුලි බල ක්ෂේත්‍රයේ නිලධාරීන් සතුව ඒ සම්බන්ධ ගණනය කරන ලද පුරෝකථන තිබිය හැකිය. ඒ සම්බන්ධව විමසීමට අප ජාතික පද්ධති මෙහෙයුම් (NSO) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන ආචාර්ය එම්.එන්. සුසන්ත පෙරේරා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට සිදුවේ. වෙසෙසින්ම මේ දිනවල වැඩිමනත් අවධානයක් යොමු වී ඇත්තේ ළඟ එන මහ කන්නය පිළිබඳවය. මහ කන්නයේ වගා කටයුතු කල් තියා ආරම්භ කිරීම ගැන ද අවධානය යොමු වී තිබේ. එල්නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් හා නිලධාරී කමිටුවක් පත් කරන ලද්දේ ද මේ සියලු‍ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහාය. කෘෂිකර්මයට අදාළව සකස් කරනු ලැබ ඇති සැලසුම් ගැන දැනගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ දැරූවද ඒවා ව්‍යර්ථ විය.

මේ අල්ලපනල්ලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් එළැඹෙන මහ කන්නයේ වී වගාව කලාප අනුව වගා කිරීමේ වැඩසටහනක් යෝජනා කරනු ලැබ ඇති බව ඉකුත් 10 වැනිදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව ඒ වෙනුවෙන් කාලසටහනක් ද යෝජනා වී ඇති අතර, වලව කලාපය ඔක්තෝබර් පළමු වැනිදාත්, අල්ල කලාපය ඔක්තෝබර් 15 වැනි දිනත්, කවුඩුල්ල කලාපය නොවැම්බර් 01 වැනි දිනත්, ඇළහැර කලාපය නොවැම්බර් 10 වැනි දිනත් වශයෙන් දින යෝජනා කර ඇති බව මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

අලුත් වගා සැලැස්මක්

ඉහතදී ද සඳහන් කළ පරිදි පවතින වියළි කාලගුණය ලබන ඔක්තෝබර්-නොවැම්බර් ඇද හැළෙන වර්ෂාපතනයත් සමඟ තාවකාලිකව අවසන් විය හැකිය. එහෙත් එය ද අඩු වැඩි වශයෙන් වෙනස් වීමට පිළිවන. සිහි තබා ගත යුතු වැදගත් ම කාරණාව වන්නේ එල්නිනෝ තත්ත්වය ලබන වසර දක්වාම පැවතීමට ඉහළ ඉඩක් පවතින බවය. 

ඕනෑම අවුරුද්දක ජනවාරි සිට මාර්තු දක්වා වැසි වැටෙන්නේ නැත. 2027 දී එම පොදු රටාවට එල්නිනෝ හි තියුණු බලපෑම ද එක් වනු ඇත. එවිට ජල කළමනාකරණය, විදුලි බල උත්පාදනය, කෘෂිකර්මය මේ ආදී ප්‍රධාන අංශ හා ඒවා හා බැඳි තවත් අනු අංශ ගණනාවක් පෙර නොවූ විරූ අහිතකර බලපෑම්වලට ලක්වීමට ඉඩ තිබේ. එහෙත් සැලසුම් සහගතව නිවැරදි දත්ත මත පදනම් වූ වැඩසටහන් මත කටයුතු කිරීමෙන් අවදානම අවම කර ගැනීමට හැකි වනු ඇත

උපුල් වික්‍රමසිංහ