අන්තිමට මියගිය බන්ධනාගාර නියාමකගේ ආදරණීය බිරිඳ හැඬූ කඳුළින් කියයි

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ අමානුෂික පහරකෑම්වලට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දින නමයක් තිස්සේ දෝලනය වෙමින් සිටි බන්ධනාගාර නියාමක සන්දික ලෂාන් ගුණවර්ධන දිවිසැරිය නිමකළේ බිරිඳට ආදරණීය සැමියකු ද, පුතකුට සෙනෙහබර පියකු පිළිබඳ මතකය පමණක් ඉතිරි කරමින්ය.

සන්දිකගේ  අකල් වියෝවත් සමග ඔවුන්ගේ සෙනෙහසේ කැදැල්ල ගිනි ගත්තේය.

මේ දිග හැරෙන්නේ ලෂාන්ගේ කඳුළු කතාවයි.

සන්දිකට සිටියේ එකම පුතෙකු වන අතර, ඒ සුරතල් පුංචිපැටියා ද හදවත් රෝගයකින් පෙළෙමින් සිටියේය. හත්වැනි වියේ පසුවන පුතුගේ ජීවිතය බේරා ගැනීමට නම් ඉන්දියාවට රැගෙන ගොස් කඩිනමින් ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරු නිගමනය කර තිබිණි.

ඒ සඳහා වැය වන ගාස්තුව ලක්ෂ හතළිහකට වැඩිය.

ඒ තරම් මුදල් කන්දරාවක් සොයා ගැනීම ලෂාන් සහ බිරිඳට දැවැන්ත  අභියෝගයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත.

බිරිඳගේ සහ දරුවාගේ ඕනෑ එපාකම් ඉටුකරමින් පදිංචිව සිටි අම්බලන්ගොඩ පිහිටි නිවසට කුලිය ගෙව්වේ ද සන්දිකට බන්ධනාගාර නියාමකවරයකු වශයෙන් ලැබෙන පඩියෙනි.ඒ කෙසේ වෙතත් අමාරුවෙන් ජීවිතය ගෙන ගියත් - ලෂාන්ගේ සොඳුරු කැදැල්ලේ සොම්නස ආදරය නම් පිරී ඉතිරී ගොස් තිබුණේය.

පණ මෙන් සෙනෙහස ආදරය දක්වන පුතු හදවත් රෝගයකින් පෙළෙන බව දැනගත් දා පටන්  ලෂාන් සහ බිරිඳ පසුවූයේ කඳුළු අතරය.නමුත් ඒ බවක් පුංචි පුතුට දැනෙන්නට හැඟෙන්නට මොවුන් දෙදෙනා ඉඩ හැරියේ නැත.පුංචි පුතාගේ රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉන්දියාවට යාමට ආධාර මුදල් සොයා ගැනීමට ටිකට් පොත් පවා මුද්‍රණය කර සූදානම් කරගෙන සිට ඇත්තේ ලෂාන් නිවාඩුවට පැමිණියාට පස්සේ ඒ වැඩේට අත ගැසීමටය.

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී කරන අතරවාරයේ ලැබෙන විවේකය ඔහු අපතේ හැරියේ නැත. විවේකය කාලයේ නිල ඇඳුම උනා දමා ඔහු ත්‍රී රෝද රථයකින් කුලී ගමන් ගියේ පුංචි පුතුගේ ජීවිතය බේරාගැනීමට මුදල් සොයා ගැනීමටය.

ඔහු සේවය කළේ බන්ධනාගාර පොලිසියේ නියාමකවරයකු වශයෙනි.

බන්ධනාගාර නිලධාරීන් අතර පමණක් නොව සන්දික ලෂාන් රැඳවියන් අතර ද හිතහොඳ මිනිසකු විය. වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අතරවාරයේ ලෂාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට මීගමුව බන්ධනාගාරය වෙත විශේෂ රාජකාරී සඳහා යාමට සිදුවූයේ - පසුගිය පස්වෙනිදා රැඳවියන් දෙපිරිසක් අතර ඇවිළී ගිය දරුණු ගැටුමකින් පසු රැඳවියන් දෙදෙනකු මැරුම් කා තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියෙන් පසුවය.

පසුගිය පස්වෙනිදා සිට පසුදින උදෑසන දක්වා මීගමුව බන්ධනාගාරයේ  පාලන බලය තිබුණේ කලහකාරී රැඳවියන් පිරිසක ගේ අතේය. බන්ධනාගාරය තුළ ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ පොලු‍ මුගුරු හා වෙනත් ආයුධ වලින් සන්නද්ධවය.බන්ධනාගාරයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ ගබඩාව කඩා පැහැරගත් ඇතැම් ඖෂධ වර්ග අධිමාත්‍රාවකින් පානය කර සිටි බව කියන නිසා ඇතැම් රැඳවියන් සිටියේ සිහි විකල්ලෙනි. තවත් රැඳවියන් පිරිසක් සිටියේ වියරු වැටීය.

රැඳවියන් පනස් දෙනකු පමණ පසුගිය 06 වැනිදා දහවල් බන්ධනාගාර ගොඩනැගිල්ලේ දොරටුව අසලට පැමිණ - “සර්....අපි බඩගින්නේ ඉන්නේ... වතුර ටිකක් වත් නැහැ.... අපට කන්න බොන්න ටිකක් දෙන්න. අපිව බලන්න ඇවිත් ඉන්න පවුලේ අය මුණගැහෙන්න ඉඩ ලබා දෙන්න....” යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රැඳවියන් කළ ඉල්ලීම සානුකම්පිතව සලකා බැලූ බන්ධනාගාර බලධාරීන් “සිරකරුවෝද මනුෂ්‍යයෝ යැයි සිතා” වැලිකඩ සිට පැමිණි බන්ධනාගාර පොලිස් නිලධාරීන් කණ්ඩායම බන්ධනාගාරය තුළට පිටත් කර හරිනු ලැබුවේ රැඳවියන් කළ ඉල්ලීම අනුව අවශ්‍ය මූලික කටයුතු කිරීමටය.

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරී කරන අතරවාරයේ ලැබෙන විවේකය ඔහු අපතේ හැරියේ නැත. විවේකය කාලයේ නිල ඇඳුම උනා දමා ඔහු ත්‍රී රෝද රථයකින් කුලී ගමන් ගියේ පුංචි පුතුගේ ජීවිතය බේරාගැනීමට මුදල් සොයා ගැනීමටය.

බන්ධනාගාරය තුළට මානුෂීය හැඟීමෙන් ආයුධ විරහිතව ගිය බන්ධනාගාර නිලධාරීන් මුහුණ පෑවේ ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකටය. නිරායුධව සිටි බන්ධනාගාර නිලධාරීන්ට වියරු වැටී අමනුෂ්‍ය වෙස්ගෙන සිටි රැඳවියන් පිරිසක් විසින් එම නිලධාරීන් ප්‍රාණ ඇපයට තබාගෙන ඔවුන් දරුණු වදබන්ධන වලට ලක්කරමින් පහර දෙනු ලැබුවේ සිත් පිත් නැති ආකාරයටය.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බන්ධනාගාර ජේලර්වරයකු ඇතුළු හත් දෙනෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර, තවත් බන්ධනාගාර නියාමකවරයෙක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

රැඳවියන් පිරිසගේ අමානුෂික කුරිරු ප්‍රහාරයකට ලක්ව සිටි බන්ධනාගාර නියාමකවරයෙන් වූ ලෂාන්, පසිඳු මධුශාන් සහ තවත් නිලධාරියෙක් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූහ.

ඒ පසුගිය හයවැනිදා සිටය.

මෙසේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ පහර කෑමෙන් දින අටකට පසු - එනම් පසුගිය දහතුන් වැනිදා රාත්‍රී9.30ට පමණ මියගොස් තිබුණේ පසිඳු මදුෂාන් ය. ඔහු මිය යනවිට 25 වැනි වියේ පසු වූ අතර, හෙතෙම ලු‍ණුගම්වෙහෙර  නව නගරයේ පදිංචිව සිටි අයෙකි.

පසු දින අලුයම් කාලයේ එනම් 14වැනිදා ලෂාන් ද අවාසනාවන්ත අයුරින් දිවිසැරිය නිමාකළේය. සිය එකම පුතුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ශල්‍ය කර්මයක් කිරීමට ඉන්දියාවේ රෝහලකට රැගෙන යාමට අවශ්‍ය මුදල් සොයාගැනීමේ අරගලයක බිරිඳ සමග නියැලී සිටි ලෂාන් මෙසේ අවාසනාවන්ත අයුරින් මියයෑම නිසා පුතුගේ ජීවිතය දැඩි අවදානමකට පත් වූ බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.මෙම පසුබිම තුළ ලෂාන් ගේ බිරිඳ ඇද වැටුණු අසරණ තත්ත්වය විස්තර නොකළද කෙනකුට වටහාගැනීම දුෂ්කර ද නොවේ.

කඳුළු පිරි දෑසින් යුතු බිඳුණු හඬින් ලෂාන් ගේ බිරිඳ දිනූෂා ලියනපටබැඳි මෙසේ පැවසුවාය.

“ලෂාන් ජීවතුන් අතර සිටියා නම්- දෙදෙනාම එකතුවෙලා කොහොම හරි සල්ලි හොයාගෙන දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉන්දියාවට යනවා. දැන් ඉතින් මොනවා කරන්නද? කියලා මට හිතාගන්නවත් බැහැ.” 

“වැලිකඩ බන්ධනාගාරයේ ඉඳලා මීගමුවේ බන්ධනාගාරයට විශේෂ රාජකාරියකට යනවා කියා එයා මට කෝල් කරලා කිව්වා.මම ඇහැව්වා ඇයි හදිසියෙන්ම මීගමුව බන්ධනාගාරයට යන්නේ කියලා. ඇයි පත්තරවල රූපවාහිනිවල දැක්කේ නැද්ද? මීගමුව බන්ධනාගාරයේ වෙලා තියෙන සිද්ධිය කියලා. මම කිව්වා පරිස්සමින් ගිහින් එන්න කියලා. කිසිදේකට බය වෙන්න එපා කියලා එයා මගේ හිත සැනසුවා.ඒ කතා කළ අවස්ථාවේ කිව්වා, පුතාවත් ඉන්දියාවේ ගෙනි යන්න තියෙනවා ඒකට ලක්ෂ හතළිහක්  හොයන්නත් ඕනානේ. මේ පාර නිවාඩුවට ගෙදර ආපු ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා ටිකට් පොත් විකුණන්න ගෙයක් ගානේ යන්න හිතාගෙනයි ඉන්නේ. කියලත් එයා මාත් එක්ක කිව්වා. පුතාට ආධාර පිණිස ටිකට් පත් විකුණන්න එයාගේ යාළු‍වෝ කට්ටියකුත් එන්නම් කියලයි තිබුණේ.”

“එහෙම කියල ගිය එයාට රැඳවියන් පිරිසක් අමානුශික ලෙස පහරදීලා බරපතළ තුවාල ලබලා මුලින්ම මීගමුව රෝහලට ඇතුළත් කරලා කියලා දැනගත්තා. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිසා එයා ඇතුළු සෙසු අය  කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව  පසුව මට දැනගැනීමට ලැබුණා.”

“පහුගිය දවස් ටිකේම මම එයාව බලන්න හොස්පිට්ල් එකට ගියා. එයාට කතාබහ කරන්න බැහැ. ඇස් දෙක ඇරිලා තිබෙනවා දැක්කා. බලාගත්ත අතේ බලාගෙන හිටියා.” 

“අපේ පුතා සෙල්ලම් බඩු වලට හරිම ආසයි. ඒ නිසා එයා කොළඹ ඉඳලා නිවාඩුවට ගෙදර එන හැම දවසකම මොකක් හෝ සෙල්ලම් බඩුවක් දරැවාට නොවරදවාම ගෙනත් දෙනවා. අම්මේ තාත්තා ගෙදර එන්නේ කවදාද කියලා එයා අහනවා.තාත්තා නිවාඩුවට ගෙදර එන දිනය කිව්වහම එයා දුවලා ගිහින් කැලැන්ඩරේ ඒ දිනය ලකුණු කර ගන්නවා. ඊට පස්සේ උදේම කැලැන්ඩරේ ළඟට ගිහින් තාත්තා එන්න තියෙන්නේ තව මෙච්චර දවසයිනේ කියලා හැමදාම වගේ කියනවා.”

“පුතාට සෙල්ලම් බඩු අරගෙන සන්දික ආයෙ කවමදාවත් ගෙදර එන්නේ නැහැ.ඒ බවක් පුතා දන්නේ නැහැ. තාත්තාට වෙච්ච කරදරය ගැන පුතා තවම දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ තාත්තා ගෙදර එද්දි සෙල්ලම් බඩුවක් අරගෙන එයි කියලා විතරයි. මම හඬද්දි පුතා දුවගෙන ඇවිත් මට තුරුලු වෙලා ඉන්නවා.මම පුතාට කොහොමද කියන්නේ පුතේ තාත්තා ආයෙ සෙල්ලම් බඩු අරගෙන එන්නේ නැහැ කියලා.මේක මගේ පපුවට දරාගන්න බැහැ. මට මොනවා හරි වුණොත් පුතාට මොනවා වෙයිද කියල හිතාගන්නවත් බැහැ.ඒ නිසා පුතා වෙනුවෙන් මම කොහොම කොහොම හරි ජීවත් වෙන්න ඕනෑ කියන අධිෂ්ඨානය තිබෙනවා.මහත්තයා මට සදහටම නැති වුණා. පුතාට තාත්තා නැති වුණා.පුතාගේ ජීවිතය කොහොම හරි බේරාගන්න ඕනා.”

“අපි දෙන්නා ප්‍රේම සම්බන්ධතාවයකින් පස්සේ තමා විවාහ වුණේ. එයා හරි හිත හොඳ මනුස්සයෙක් පුදුම ගතිගුණ තිබුණු කෙනෙක්. එයා වගේ සැමියෙක් ලබන්න මම පින් කරලා තිබුණා. නමුත් ඒ පින මට වැඩි කාලයක් තිබුණේ නැහැ. හිරකාරයෝ දෙසත් ඔහු අනුකම්පාවෙන් බලපු කෙනෙක් බව මම හොඳාකාරවම දන්නවා.”

සන්දිකගේ එකම පුතා වන සවේන් හංසක ඉගෙනුම ලබන්නේ අම්බලන්තොට ථේරිපුත්ත මහා විද්‍යාලයේ දෙවැනි වසරේය.

ලෂාන් සහ දිනූෂා ද ඉගෙනුම ලබා ඇත්තේ එම විද්‍යාලයෙනි.

පුතාගේ රෝගී තත්ත්වය ගැන විමසූ විට ඇය මෙසේ කීවාය.

“පුතා කුඩා කාලෙදිම තමා එයාට හදවත් රෝගයක් තිබෙනවා කියා දැනගත්තේ. එදා ඉඳන් අපි පුතාව සනීප කරගන්න රෝහල් ගානේ ගියා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් පුතාට ප්‍රතිකාර ලබාගත්තා. පුතාගේ හදවත් රෝගය සුවපත්කිරීමට ශල්‍යකර්මයක් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව එම විශේෂඥ වෛද්‍යවරුන් අපිට දැනුම් දුන්නා.එම ශල්‍යකර්මය අපේ රටේ දී කළ නොහැකි බවත්, එය ඉන්දියාවේ miot රෝහලේ දී සිදු කළයුතු බවත්, විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවා. ශල්‍ය කර්මය සඳහා ලක්ෂ හතලිහක මුදලක් වැය වන බවද විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවා.”

“පුතාට නිතරම මහන්සිය ඇති වෙනවා. එදාට ඉස්කෝලේ යන්නේ නැහැ.සමහරදාට මම වඩා ගෙන පුතාව ඉස්කෝලෙට එක්කගෙන යන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. නිතරම පුතා ගැන ඇහැගහගෙන තමයි අපි දෙන්නා හිටියේ. ශල්‍යකර්මය සඳහා ලක්ෂ හතළිහක මුදලක් අවශ්‍ය වුවත් ඉන්දියාවට යන්න එන්න  සුව වෙලා ආපහු ගෙදර එනකම් එහෙ නැවතිලා ඉන්නත් තවත් ලොකු මුදලක් ඕනා කරනවා. මේ සඳහා ලක්ෂ 70ක් වත් අපිට ඕන වෙයි. මේ වසර අවසන් වෙන්න කලින් ශල්‍ය කර්මය කරන්න පුතාව ඉන්දියාවට එක්කගෙන යන්න තමයි අපි ප්ලෑන් කරලා තිබුණේ.”

“අපිට එච්චර ලොකු මුදලක් හොයාගන්න එක සිහිනයක් වෙලා තිබුණේ. අපිට කියා ඉන්න තැනක්වත් නැහැ. කුලී ගෙදරක තමා පදිංචි වෙලා ඉන්නේ. ඒ ගෙදරට කුලිය වශයෙන් මාසයකට රුපියල් 25,000ක් ගෙවනවා. ගෙවල් කුලී ගෙවන එකත් ඉදිරියට ලොකු ප්‍රශ්නයක් වේවි. මහත්තයාගේ පඩියෙන් තමයි අපි ජීවත් වුණේ. එයා අපිට කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. තාත්තා පෙට්ටියකින් ගෙදර ආපුවාම මම පුතාට මොනවද කියන්නේ?එයා තාත්තට පුදුම ළෙන්ගතුකමක් ආදරයක් තිබුණේ. තාත්තට මොකද වුණේ අම්මේ කියලා පුතා අහන්න පටන් ගනීවි.මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ.”

“පුතාගේ අසනීපයට සල්ලි හොයන්න හිතාගෙනම එයා ෆිනෑන්ස් කරලා ත්‍රීවිල් එකක් ගත්තා. එයා වැලිකඩ බන්ධනාගාරයේ ඩියුටි ඉවර වුණාම ත්‍රීවීල් එකෙන් හයර් දුවලා අමතර මුදලක් හම්බකර ගන්නවා. පුතාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන්න ඒ සල්ලි ටික එකතු කරගන්නවා.දැන් ඉතින් ත්‍රීවීල් එකේ වාරික ගෙවා ගන්නත් හම්බවෙන්නේ නැහැ. මට හිතාගන්නවත් බැහැ ඉදිරියේ මොනවා වෙයි ද කියලා. මමයි පුතයි මේ ලෝකෙ තනි වුණා. ලෂාන් මට දීලා ගිය ලොකුම වස්තුව තමා මේ අහිංසක දරු පැටියා. දැන් මට තියෙන ලොකුම බර තමා කොහොම හරි පුතාව ඉන්දියාවට එක්කගෙන ගිහින් හදවතේ ශල්‍යකර්මය කරලා සුවපත් කරගෙන ආපහු ලංකාවට එන එක.”  

සන්දික ලෂාන් මියගොස් ඇති නිසා ඔහුට යළි ජීවිතය ලබාදීමට මිහිපිට සිටින කිසිම ජගතකු නැත. එහෙත් සන්දික ගේ පුංචි පුතු සුවපත් කර ජීවිතය ලබා දීමට හැකියාව ඇත.

දිනූෂා දිගු සුසුමක් හෙළමින් පැවසුවාය.

දිනූෂා සමග ඉකුත් බ්‍රහස්පතින්දා අප කතා කරනවිටත් ඇයගේ ආදරණීය සැමියාගේ නිසල දේහය නිවසට ගෙනවිත් තිබුණේ නැත. ජාතික කොඩියෙන් වැසුණු සන්දිකගේ නිසල සිරුර සහිත දෙණ සහෝදර බන්ධනාගාර නිලධාරීන්ගේ කරමතින් නිවසට රැගෙන ආවේ පසුගිය සිකුරාදාය.

තාත්තා සදාකාලික නින්දකට වැටී ඇති බව මේ පුංචි පුතු දන්නේ නැත.

කෙළිදෙළෙන් පසුවන පුංචි හසංකගේ මේ කතාවෙන් නිවසේ සිටි කොයි කාගේත් වේදනාව දෙගුණ විය. සන්දික වැලිකඩ බන්ධනාගාරයේ සේවය කළේ එහි හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ නිලධාරියෙක් වශයෙනි.

වසර දොළහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර ඇති ලෂාන් නීත්‍යනුකූලව එයින් ඉවත් වී, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී ඇත්තේ 2021 වසරේදීය.

ආදරණීය සැමියාගේ වියෝවෙන්  දරාගැනීමට නොහැකි වේදනා විඳිමින් පසුවන දිනූෂාගේ ඒ වේදනාව තවත් දෙගුණ තෙගුණ වන්නේ පුතාගේ ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවට යන්නේ කෙසේදැයි? සිතෙන විටය.

සන්දික ලෂාන් මියගොස් ඇති නිසා ඔහුට යළි ජීවිතය ලබාදීමට මිහිපිට සිටින කිසිම ජගතකු නැත. එහෙත් සන්දික ගේ පුංචි පුතු සුවපත් කර ජීවිතය ලබා දීමට හැකියාව ඇත.ඒ නිසා සන්දිකගේ නාමයෙන් පුංචි පුතා ජීවත් කිරීමට අනුන්ගේ දුකේ දී හිත උණුවන සංවේදී හදවත් ඇති ඔබ සැමටම හැකියාව පවතී. සන්දිකගේ පුංචි පුතා වෙනුවෙන් යම් මුදල් පරිත්‍යාගයක් කිරීමට අපේක්ෂාවෙන් පසුවන දානපතීන්ට ඒ සඳහා  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 3001278347 යන අංකය විවෘතව පවතී. මේ  සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය කෙනකුට දිනූෂාගේ 076 8015399 යන දුරකථන අංකයට කතා කිරීමට හැකිය.

සන්දික ජීවතුන් අතර සිටියදී පුංචි පුතා සුවපත් කර ගැනීමේ  සිහිනය සැබෑකර ගැනීමට දිනූෂාට අත්වැලක් සපයමු.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය