අප්‍රිකා මහද්වීපය හා සෞදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය හා ඉතාලිය වටකොටගත් මධ්‍යධරණී මුහුදත් යා කරමින් සැතපුම් 101 ක් දිගට ගලා යන, වසර 148 ක ඉතිහාසයකට උරුමකම් කියන සුප්‍රසිද්ධ සූවස් ඇළ මිනිසා අතින් නිමවුණු විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙයි. කොරෝනා ජරමර මැද, මේ වනවිට සූවස් ඇළ මුල්කොට ගනිමින්, අර්බුදයක් නිර්මාණය වී ඇත. ඒ අති දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සූවස් ඇළෙහි සිරවීමෙනි. මීටර් 400 ක් දිග, මීටර් 95 ක් පළල මෙම දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිරවීම හේතුවෙන්, සූවස් ඇළේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබේ.   


පාලනයෙන් ගිලිහී සූවස් ඇළෙහි පැත්තට ඇදී ගොස් වැලි පරවල ගැටී සිරවූයේ පැනමාවේ ලියාපදිංචි ‘එවර් ග්‍රීන්’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවය. මෙය පැනමාවේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගම යටතේ ලියාපදිංචි වූවකි. නෞකාව, චීනයේ සිට භාණ්ඩ රැගෙන නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය තෙක් යාත්‍රා කිරීමට නියමිතව තිබුණි. නෞකාව සූවස් ඇළට පිවිස ඇත්තේ මධ්‍යධරණී හරහා යුරෝපයට යෑමටය. ටොන් 2,00,000 ක් බරැති ‘එවර් ග්‍රීන්’ නැව ඉදිකර ඇත්තේ 2018 වසරේදීය.   

 

 


නැව පැත්තට සිරවූ හෙයින් මේ වනවිට කිසිදු යාත්‍රාවකට සූවස් ඇළ හරහා යෑමට නොහැකි වී ඇත. භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නැව් 100 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ‘එවර් ග්‍රීන්’ නැව දෙපස ගොඩ ගැසී ඇතැයි ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි. එසේ සිරවුණු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 ක් ද ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වනවිට සූවස් ඇළේ ගමනාගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බැවින්, එය ගෝලීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි බිය පළ කෙරේ.   
සූවස් ඇළ ඉදිකිරීම සඳහා මුල් වරට උත්සාහ ගෙන ඇත්තේ ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට්ය. ඊට පෙරද ක්‍රි.පූ. 13 වැනි සියවසේදී ද ඊජිප්තුවේ නයිල් නදිය, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද යා කිරීමට සැලැස්මක් තිබුණු නමුත් ක්‍රි.පූ. 8 වැනි සියවසේදී එම සැලැස්ම අත්හැර දැමුණු බව ඉතිහාස වාර්තාවල දැක්වෙයි. ක්‍රි.ව. 1789 සහ 1799 කාලයේ නැපෝලියන් අධිරාජ්‍යයා යුරෝපයේ රටවල් ගණනාවක්ම යටත් කරගන්නා ලද අතර, ඔහු ඊජිප්තුවේදී යෙදුණු ගවේෂණයන් අතරතුර මුල්ම වරට සූවස් ඇළ නිර්මාණය කිරීමේ අදහස පහළ වූ බව පැවැසෙයි. නැපෝලියන් අධිරාජ්‍යයාට අවශ්‍ය වූයේ සිය පාලනය යටතේ පවතින ඇළ මාර්ගයක් භාවිත කරමින් බ්‍රිතාන්‍යයේ නාවික වෙ​ෙළඳ කටයුතු සඳහා බලපෑමක් ඇති කිරීම සහ ඇළ මාර්ගය යොදාගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් සිදුකරන වෙළෙඳ කටයුතු සඳහා බදු මුදලක් අය කර ගැනීමය.   


ක්‍රි.ව. 1804 දී ඇළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානම් වුවත්, මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද අතර තිබෙන මුහුදු මට්ටම ගණනය කිරීමේ කාර්යයේදී සිදු වූ වැරදි ගණනය කිරීමක් හේතුවෙන්, එහි ඉදිකිරීම් නවතා දැමීමට සිදුවිය. යළි 1858 වසරේ දී ප්‍රංශ ජාතික ඉංජිනේරු ෆර්ඩිනන් ද ලෙසෙප් සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කරගනිමින් සූවස් ඇළ ඉදිකිරීමට ඊජිප්තු රජයේ සහය සහ එකඟත්වය ලබා ගත්තේය. එම එකඟතාවට අනුව, යුනිවර්සල් සූවස් ෂිප් කැනල් කොම්පැනි සමාගම පිහිටුවීම සිදුවිය. ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමටත්, ඇළ ඉදිකිරීමෙන් පසු වසර 99 ක් එහි මෙහෙයුම් පවත්වාගෙන යෑමටත් එකඟතාවක් ඇති කර ගැනුණි. ආරම්භයේ දී, මෙහෙයුම් කටයුතු සඳහා බලතල පැවැරීම වැඩි වශයෙන් සිදුවූයේ ප්‍රංශයේ පෞද්ගලික ආයෝජකයන්ටය.   


1859 වසරේ සැප්තැම්බර් 25 වැනිදා සූවස් ඇළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි. වසර 10කට පසුව එනම් 1869 නොවැම්බර් 17 වැනිදා සූවස් ඇළ ඉදිකිරීම් නිමවා නිල වශයෙන් විවෘත කරන ලදී. ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ඇළ ඉදිකිරීමට යෙදවිණි. 1962 වසරේදී සූවස් ඇළේ පරිපාලන කටයුතු ඊජිප්තු රජයට හිමිවිය. සූවස් ඇළ නිසා නාවුක ප්‍රවාහනයේදී භාණ්ඩ සැපයුම වේගවත් වීම, කාලය ඉතිරි වීම, ඉන්ධන වියදම් අඩුවීම, නාවිකයන් සඳහා වන වියදම් අඩුවීම සහ සාගරයේදී ඇතිවිය හැකි ස්වාභාවික විපත් අවම වීම, වැනි වාසි බොහෝමයක් අත්ව ඇති අතර, අද වනවිට ලෝක ආර්ථිකයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට විශාල මෙහෙවරක් ඉටු කිරීමටද සූවස් ඇළට හැකියාව ලැබී තිබේ.   


සූවස් ඇළ හරහා දෛනිකව නැව් 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක් පමණ ගමන් කරන අතර එමගින් රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය සාමාන්‍යයෙන් දිනකට ටොන් මිලියන 3 ක් පමණ වේ. මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකම ජල මට්ටමක පැවතීම නිසා, පැනමා ඇළ මෙන් නොව, සූවස් ඇළෙහි ජල අඟු‍ල් නොමැති අතර සාමාන්‍යයෙන් පැය 11-16 අතර කාලයක් තුළදී සූවස් ඇළ තරණය කිරීමට නැව්වලට හැකියාව ඇත.   


අද වනවිට සූවස් ඇළේ පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ සූවස් කැනල් අධිකාරිය හරහාය. ඇළේ මුළු දිග ප්‍රමාණය සැතපුම් 101ක් (කි.මී. 163) පමණ වේ. පළල අඩි 984ක් හෙවත් මීටර් 300 කි. බටහිර ඉවුර හරහා ඇළට සමාන්තරව දිවයන දුම්රිය මාර්ගයක්ද පිහිටා ඇත. උසින් මීටර් 19ක් හා බරින් ටොන් 210,000ක් වන සීමාවේ පවතින නෞකාවන්ට සූවස් ඇළ භාවිත කිරීම සඳහා අවසර ලබාදෙන අතර, ඇළේ පළල සම්බන්ධයෙන් තිබෙන සීමා සහිත බව හේතුවෙන් එකවිට නැව් දෙකකට මාරු වීමට දුෂ්කරතාවක් පවතියි. ඊට පිළියමක් වශයෙන් එක් ධාවන තීරුවක් සහ නැවතුම් ස්ථාන කිහිපයක් ඉදිකර තිබේ.   

 

 

 

ලු‍සිත ජයමාන්න (ඩේලිමේල් ඇසුරිණි)