
ජීවිතයේ අවසන් කාලය නිහඬව ගෙවා දැමීමට බලාපොරොත්තු වූ වයෝවෘද්ධ හා මන්ද මානසික තත්ත්වයෙන් පසුවූ පිරිසකට පසුගියදා සන්ධ්‍යාවේ උදාවූයේ කිසිවකු නොසිතූ ඛේදනීය ඉරණමකි. ආරක්ෂව, රැකවරණය සහ සෙනෙහස සොයා පැමිණි නිවසක්, මිනිත්තු කිහිපක් ඇතුළත ගිනි ජාලාවකින් වටවීමෙන් එහි සිටි ජීවිත දොළහක් සදහටම නිහඬ විය. සමහරුන්ට තම වේදනාව වචනවලින් පැවසීමටවත් නොහැකි විය. තවත් සමහරුන්ට ගිනි දැල් අතරින් ගැලවී යාමේ ශක්තියක් නොතිබිණ. ඔවුනගේ අවසන් මොහොත කෙබඳු වී ඇත්දැයි සිතීම පවා හදවත කම්පා කරවන්නකි.
දිනය ජුනි මස 03 වැනිදා බදාදාය. වෙලාව පස්වරු 5.45ට අසන්න වී තිබිණ. බටගොඩ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි "මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල" නිවැසියන්ගේ දෛනික කටයුතුද සාමාන්‍ය ලෙස සිදු වෙමින් පැවතිණ.
එම මොහොත වනවිට නිවාසයේ ප්‍රධාන පලකයා වූ ඉසුරු අනුෂ්ක, එහි සියලු දෙනා ආදරයෙන් ඇමතූ "ලොකු අයියා" නිවසින් බැහැරව සිටියේය. ඒ දින කිහිපයකට පෙර එම නිවාසයේම මියගිය නේවාසිකයකුගේ මරණ සහතිකයට අදළ ලේඛන කටයුතු සම්පූර්ණ කිරීම සඳහාය. එමෙන්ම නිවාසයේ පාලිකාව වූ යෂාරා නොහොත් "කුරුලු", ද නිවසේ නොසිටියාය. ඇය ගොස් තිබුණේ නේවාසිකයන්ට අවශ්‍ය ඖෂධ කිහිපයක් මිලදී ගැනීම සඳහා ෆාමසියකටය.
එබැවින් ඒ මොහොතේ සෙනෙහසේ කැදැල්ලේ රැඳී සිටියේ නේවාසිකයන් හැටනව දෙනෙකු සහ ඔවුන් රැකබලා ගැනීමට උදව්වට සිටි පුද්ගලයන් දෙදෙනකු පමණි. බොහෝ දෙනක් වයසින් වැඩි අය වූහ. තවත් පිරිසක් මානසික ආබාධ හේතුවෙන් අන් අයගේ උපකාරය මතම ජීවිතය ගෙන යන අය වූහ. අනතුරක් ඇති වුවහොත් තමන්ම දිව ගොස් ජීවිතය බේරාගැනීමට නොහැකි, අන් අයගේ දෑත් බලාපොරොත්තුවෙන් සිටින ඒ මිනිසුන් කිසිවෙකුත් නොදැන සිටියේ මරණය ඔවුන් කරා පැමිණෙමින් තිබූ බවය.
ගින්න ඇති වූ මොහොතේ නිවාසයේ සිටි සේවකයන් දෙදෙනාට සිදුවූයේ සිතීමටවත් කාලයක් නොමැති අසීරු සටනකට මුහුණ දීමටය. ඔවුන් ඒ මොහොතේ සිටියේ මුළුතැන්ගේය. එක්වරම ඇස ගැටුණු ගිනි දැල්, ජීවිත ගණනාවක ඉරණම වෙනස් කරනු ඇති බව ඔවුන් නොසිතන්නට ඇත.
"අපි දෙන්නම හිටියේ කුස්සියේ. එකපාරටම ගින්නක් දැක්කා. අපි දුවගෙන ඇවිල්ලා ගින්න නිවන්න උත්සාහ කළා. ඒ වෙද්දිත් ගින්න අලුතින් ගෙනාපු මෙට්ට අසූවට පැතිරිලා තිබුණා. ගින්න පැතිරුණේ ඒ මෙට්ටවලින්..."


ඔහුගේ හඬ තුළ තවමත් ඇසෙන්නේ එදා සන්ධ්‍යාවේ දැනුණු බිය සහ අසරණකමය. මුල් අවස්ථාවේදීම ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළද, එය ඒ වනවිටත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබී ඇත. විශේෂයෙන්ම ගොඩ ගසා තිබූ මෙට්ට තොගය ගින්නට ඉන්ධන සැපයූ බවට සැක කෙරේ. ගින්න ඇති වූයේ විදුලි කාර්මික දෝෂයක් නිසා බව නේවාසිකාගාරයේ සේවකයන් පවසන අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සෙනෙහසේ නවාතැන වැඩිහිටි නිවාසයේ හිමිකරු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගින්න ඇති විමට හේතුව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
නිවාසයේ පාලිකාව වූ යෂාරා නොහොත් "කුරුලු" නිවාසයෙන් බැහැරව සිටි ලැබුණු දුරකථන ඇමතුමෙන් ඇගේ ලෝකයද මොහොතකින් කඩා වැටිණ.
"මම බෙහෙත් වගයක් ගන්න ෆාමසියට ගියා. මගට යද්දීම මට කෝල් එකක් ආවා මෙහෙම ගින්නක් කියලා. මට හිතා ගන්න බැරි වුණා. මම බයික් එකක නැගලා ඉක්මනට මෙතනට ආවා. එතකොටත් ගින්න හොඳටම පැතිරිලා ගිහින් තිබුණේ. ඇතුළේ ඉඳපු අය කෑ ගහනවා. ගමේ අයගේ උදව්වවෙන් තමයි ගොඩාක් දෙනා බේරගත්තේ."
රැකබලා ගත් නේවාසිකයන් අතරට ආපසු පැමිණෙන විට ඇයට දකින්නට ලැබුණේ ගිනි ජාලාවකින් වටවුණු සෙනෙහසේ කැදැල්ලකි. ජීවිත රැසක් ඇතුළේ සිරව සිටින බව දැනෙද්දී, ඇයගේ සිත තුළ ඇතිවූ වේදනාව වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය.
මිනිසුන් බේරාගැනීම සඳහා කාලය සමග සිදුවූ සටන ආරම්භ වී තිබුණේය. එහෙත් තමන්ගේ ශරීර ශක්තියෙන් පමණක් දිවගොස් ජීවිතය බේරාගැනීමට නොහැකි වයෝවෘද්ධයන් සහ මානසික ආබාධවලින් පෙළුණු නේවාසිකයෝ රැසක් ඒ ගිනි ජාලාව මැද අසරණව සිටියහ.
වැඩිහිටි නිවාසයේ හිමිකරු ඉසුරු අනුෂ්ක හෙවත් "ලොකු අයියා" යන නාමය අද වන විට සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකුට අගන්තුක නාමයක් නොවේ. ලොකු අයියාට ලොව නන් දෙස විසිරී සිටින මිනිසුන්ගේද ආදරය සහ ගෞරවය ලැබුණේද සමාජයේ බොහෝ දෙනෙකු නොබලන, නොඇසෙන, නොසලකන ජීවිත කිහිපයකට ඔහු ලබා දෙන මනුෂ්‍යත්වය නිසාම ය.
සමාජයෙන් පමණක් නොව, ඇතැම් විට තමන්ගේම ලේ නෑයන්ගෙන් පවා අතහැර දැමුණු පිරිසක් එකම වහලක් යට එකතු කර රැකබලා ගැනීම පහසු කාර්යයක් නොවේ.

සෙනෙහසේ නවාතැනේ හිමිකරු ඉසුරු - ‘ලොකු අයියා’
විශේෂයෙන්ම ඔවුන් අතර බහුතරය මන්ද මානසික තත්ත්වයන්ගෙන් පෙළුණු, දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අන් අයගේ උපකාර අවශ්‍ය වූ පුද්ගලයන් වූ විට එය තවත් අසීරුය. එහෙත් ලොකු අයියා ඒ අභියෝගය භාරගත්තේ සේවාවක් ලෙස නොව, පවුලක් ලෙසය.
ඔහුගේ සෙවණේ හැදී වැඩුණු අමාලි, සුනීත, දයාසීලි, සේනාධි, සමීර,වැනි චරිත සමාජ මාධ්‍ය ඔස්සේ දහස් සංඛ්‍යාත ජනතාවකගේ ආදරය දිනාගත්හ. ඔවුහු ප්‍රසිද්ධ පුද්ගලයන් නොවූහ. ඔවුන්ට ධනයක්, බලයක් හෝ සමාජ තත්ත්වයක් නොතිබුණි. එහෙත් ඔවුන්ට තිබුණේ අහිංසක සිනහවක් සහ ආදරය ලැබීමට ඇති මානුෂීය ආශාව පමණි. තමන්ගේම පවුල්වලින් නොලැබුණු සෙනෙහස, ලොකු අයියාගේ නිවස තුළින් සහ ඔහුගේ වීඩියෝ නරඹන මිනිසුන්ගේ හදවත් තුළින් ඔවුන්ට ලැබුණි.
ඒ නිසාම ඔවුන් තවදුරටත් අමතක වූ මිනිස්සු නොවූහ. ඔවුන්ට නම් තිබුණි. කතා තිබුණි. ඔවුන් ගැන සොයා බලන, ඔවුන්ගේ සිනහව දැක සතුටු වන, ඔවුන් අසනීප වූ විට කනස්සල්ලට පත්වන මිනිස්සු දහස් ගණනක් සිටියහ. ලොකු අයියා නිසා ඔවුන්ට ලෝකයක් ලැබුණි. ඒ ලෝකයේ ඔවුන්ට වටිනාකමක් ලැබුණි.
එවන් අහිංසක ජීවිත කිහිපයක් එකම මොහොතක ගිනි ජාලාවකට ගොදුරු වීම කෙතරම් හද කම්පා කරවන සිදුවීමක්ද?
ගිනි අනතුරෙන් පසු නිවාසය ඉදිරිපිට රැස්ව සිටි පිරිස අතර සිටියේ කඳුළු පිරි දෑසින් තම ආදරණීයයන් සොයමින් සිටි මව්වරුන්, පියවරුන් සහ ඥාතීන් රැසකි. ඔවුන්ගේ මුහුණුවල ඇඳී තිබුණේ එකම ප්‍රශ්නයකි. "අපේ කෙනා තවමත් ජීවතුන් අතර ද?" යන්නයි.
එවන් මවක් තම හදවතේ ගොඩගැසී තිබූ වේදනාව අප සමඟ බෙදගත්තාය. ඇයගේ වචන අතරින් ඇසුණේ මවකගේ අසරණකමත්, දරු සෙනෙහසත්, බියත්, සහනයත් එකට මුසු වූ හැඟීම් ගොන්නකි.
"මගේ පුතා දුශාන්ත සඳරුවන්. හිටියේ මේ නිවාසයේ. ඉසුරු මහත්තයා අපෙන් සතයක්වත් ගන්නේ නැතුව මේ දරුවා නිවාසෙට ඇතුළත් කරගත්තේ. මට පුළුවන් හැටියට මම ඇවිත් මේ දරුවා බැලුවා. මෙයා මන්ද මානසික දරුවෙක්. ඉක්මනටම කේන්ති යනවා. මට මෙයාව බලාගන්න අමාරු වුණා. ඒ නිසාමයි අසරණකමින් මම මගේ දරුවා මේ නිවාසයට භාර දුන්නේ. මම නිතර දරුවා බලන්න ආවා .මිනිස්සු මොන කතා කිව්වාත් ඉසුරු මහතත්යා දරුවන් හොඳට බලා ගත්තා. එයාලාව සැර වැර නොකර මෙල්ල කරන්න බැහැ. ඒ වගේ ළමයි ඉන්න ඕනැම දෙමාපියෙක් ඒක දන්නවා."
ඇයගේ කතාව බොහෝ මව්වරුන්ගේ කතාවට සමානය. දරුවා අත්හැර දැමීමක් නොව, තමන්ට තවදුරටත් දරාගත නොහැකි බරක්, ආරක්ෂිත දෑත් වෙත භාරදීමක් පමණි.

කෙසේ වෙතත්, එදා බටගොඩ ප්‍රදේශයේ දක්නට ලැබුණේ කඳුළු පිරි දෑස් සහ වේදනාවෙන් කම්පා වූ හදවත් පමණක් නොවේ. ජීවිතයේ කටුක යථාර්ථයන් ද එහිදී අනාවරණය විය.මේ නේවාසිකයන් අතර බොහෝ දෙනකු වසර ගණනාවක් තිස්සේ ජීවත් වූයේ තමන්ගේම පවුල්වලින් සහ ඥාතීන්ගෙන් ඈත්වය. ඇතැම් අය සොයා බැලීමට කිසිවකු නොපැමිණි අතර, තවත් සමහරුන්ට අවුරුදු ගණනාවක් පුරා තමන්ගේම ලේ නෑයන්ගේ මුහුණක්වත් දැක ගැනීමට නොහැකි වී තිබුණි.
මෙම නේවාසිකයන් බොහෝ දෙනකුට ජීවිතයේ ලැබී තිබුණේ අහිමිවීම්, ප්‍රතික්ෂේප කිරීම් සහ තනිකම පමණි. සමහර අයට ඔවුන් පවුල්වලට බරක් ව ඇත. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත නිහඬව අමතක වීමට ඉඩ හැර තිබිණ. එහෙත් ඉසුරු අනුෂ්ක හෙවත් "ලොකු අයියා" ඔවුන් දෙස බැලුවේ වෙනස්ම ඇසකිනි. සමාජය අතහැර දැමූ මිනිසුන් තුළ ඔහු දුටුවේ කරදරයක් නොව, ආදරය ලැබිය යුතු මනුෂ්‍ය ජීවිතයන්ය. ඔවුන්ට ආහාර, ඇඳුම් සහ නවාතැන් පමණක් නොව, අයිතිකාරකමක්ද ඔහු ලබා දුන්නේය. "ඔයා තනිවෙලා නෑ" යන හැඟීම ඔවුන්ගේ හදවත් තුළ ඇති කළේය.
සමහරුන්ට ලොකු අයියා නිවාස පාලකයෙක් විය හැකිය. තවත් සමහරුන්ට සමාජ සේවකයෙක් විය හැකිය. එහෙත් මේ අහිංසක නේවාසිකයන්ට නම් ඔහු ඔවුන් අත් නොහැර සිටි පවුලේ සාමාජිකයෙකි.
එය විශාල පහසුකම් සහිත ආයතනයක් නොවීය. තනි තට්ටුවකින් යුත් මෙම නිවසේ කාමර තිබුණේ තුනක් හෝ හතරක් පමණි. එවැනි සීමිත ඉඩකඩක් තුළ නේවාසිකයන් හැටනව දෙනෙකු රැඳවීමම බොහෝ දෙනාගේ පුදුමයට හේතුවක් වී තිබුණි.. ගම්වාසීන් පවසන ආකාරයට, ගින්න ඇති වූ මොහොතේ ඇතැම් නේවාසිකයන් ලණු සහ දම්වැල් ආධාරයෙන් ගැට ගසා සීමා කර තිබූ බව සඳහන් වේ. එමෙන්ම ගින්න පැතිරෙද්දී නිවසේ ප්‍රධාන දොර අගුළු දමා තිබූ බවත්, ගේට්ටුවටද ඉබි යතුරු දමා තිබූ බවත් ඔවුහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වාසියෙක් මෙසේ පැවසීය.
“සවස 5.15 ට පමණ වැඩිහිටි නිවාසය පැත්තෙන් කෑගැහිල්ලක් ඇහුණා. දුමක් එක්ක ගිනි ජාලාවක් දැක්කම ගමන් නිවාසේ ළඟට දිව්වත් ගේට්ටුවට ඉඩි යතුරු දාලා තිබුණේ. යාන්තම් හරි ඇවිදගන්න පුළුවන් අය එළියට ඇවිත් තිබුණා. ගමේ අය තාප්පෙන් පැනලා වැඩ කරන අයගෙන් යතුරු ඉල්ලන් ඉබි යතුරු අැරලා එළියට දුවන් ඇවිත් හිටපු වැඩිහිටියන්ව නිවාසේ ඉස්සරහ බටගොඩ ඉස්කෝලේට දැම්මා.
ඒ විදිහට අපි සැලකිය යුතු ගණනක් බේරගත්තා. කිට්ටු වෙන්නත් බැරි තරමට ගින්න සැරයි. මන්ද මානසික අයගෙන් සමහර බේරගෙන එළියට ගෙනාවම ආයෙම ගේ ඇතුළට දිව්වා. ගොඩාක් අය ගින්නට අහු වුණේ ඒ විදිහට. එයාලාට අපිව හුරු නැහැ. ඒ වගේම එයාලා බය වෙලා හිටියේ. මෙයාලා දඟලන නිසා ගොඩක් දෙනෙක් ඇඳන්වලට පුටුවලට තියලා ගැට ගහලා තමයි තිබිලා තියෙන්නේ. එයාලා ඒ තැන්වලම පිච්චිලා තිබුණා.

සෙනෙහසේ කැදැල්ල ගිනි ගෙන ඇති අයුරු
"මිනිසත්කම පෙරදැරි කරගත් ගම්වාසීන්, ජීවිත බේරා ගැනීම සඳහා තම ජීවිත අවදානමට ලක් කරමින් දැඩි උත්සාහයක් දරා ඇත. ඇඳන් මත වැතිර අසනීප නේවාසිකයන් රුසක් සිටි අතර, තවත් පිරිසක් සීමා කර තිබූ තත්ත්වයන් හේතුවෙන් ගින්නෙන් ඉවත් කිරීමද අතිශය අසීරු වී තිබුණි. ගම්වාසීන් පවසන්නේ බේරාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී මන්ද මානසික තත්ත්වයෙන් පසුවූ ඇතැම් නේවාසිකයන් බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයන්ගේ අතපය සපා කෑ අවස්ථා තිබූ බවය.
මෙම නිවාසය සම්බන්ධයෙන් ගම්වාසීන් අතර පවතින්නේ එතරම් සුභදායක අදහස් නොවේ. එහි පරිපාලනය සහ නේවාසිකයන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට චෝදනා කරන පිරිසක්ද සිටිති.
ඇතැම් ගම්වාසීන් පවසන ආකාරයට, එම නිවාසයේ නේවාසිකයන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද සමාජ මාධ්‍ය ඔස්සේ "ලොකු අයියා" ලෙස හඳුන්වනු ලබන ඉසුරු අනුෂ්ක විසින් පෙන්වනු ලබන ආකාරය සහ සැබෑ පරිසරය අතර වෙනසක් පවතින බවද ඇතැම් ගම්වාසීන්ගේ මතය වී ඇත.
තවද මෙම නිවාසය වටා ඇත්තේ සම්පූර්ණ තාප්පයක් නොව, වැටකින් පමණක් ආවරණය වී ඇති බවද සඳහන් වේ. එය කුලී පදනම මත පවත්වාගෙන ගිය මෙම නිවස අදාළ ආයතනික යටතේ ලියාපදිංචිය නොකළ වැඩිහිටි නිවාසයක් බවද මේ වන විට කරුණු අනාවරණය වී ඇත. මෙම නිවාසයට නේවාසිකයන් ඇතුළත් කිරිමේදී ඇතැම් නේවාසිකයන් සඳහා මුදල් අය කර නොමැති අවස්ථාද තිබී ඇති අතර, තවත් පිරිසකගෙන් නියමිත මුදල් අය කර ඇති බවට ද නේවාසියන්ගේ පවුල්වල පිරිස ප්‍රකාශ කර සිටී.
මෙහි නේවාසිකව සිටින තරුණයකුගෙන් අප විමසූ විට ඔහු මෙසේ කියා සිටියේය.
"දානයක් තියෙනකොට මහත්තයා අපට හොඳට කන්න දෙනවා. හැබැයි, අනිත් දවස්වලට අපිට දෙන්නේ පරිප්පුයි බතුයි විතරයි..."
"සර් අපිට ගහනවා" තව නේවාසිකයෙක් කෑ ගසා කීවේය, මෙම නිවාසය පිළිබඳ සත්‍ය සහ අසත්‍ය කරුණු සම්පූර්ණයෙන් තහවුරු කිරීම මේ වන විට අපහසුය. එම නිසාම මෙහි පරිපාලන කටයුතු පිළිබඳව නිශ්චිත විමර්ශනයක් අවශ්‍ය බවද පැහැදිලිය.

ගම්වාසීන් අතරද මෙම නිවාසය පිළිබඳව විවිධ මත පවතී. ඇතැම් අය පවසන්නේ එය සමාජ සේවා කටයුත්තක් ලෙස ආරම්භ වූවක් වුවද, පසුව එය ව්‍යාපාරික ස්වභාවයක් ලබාගෙන ඇති බවය. විශේෂයෙන්ම එය ආරම්භ කළේ ඉසුරුගේ පියා බවත්, ඔහුගේ වියෝවෙන් පසු පාලනය ඉසුරු අතට පත්වීමත් සමඟ ක්‍රමයෙන් වෙනස්කම් සිදුවූ බවත් ගම්වාසීන්ගේ අදහසය.
ඒ අතර ලොකු අයියාගේ සමාජ මාධ්‍ය විඩියෝවල ආදරය දිනා සිටි සේනාධි හෙවත් සන්දිපා සෙව්වන්දිගේ පියාද එම ස්ථානයට පැමිණ සිටියේ තම ආදරණීය දියණිය පිළිබඳ අවසන් තොරතුරක් දැනගැනීමේ බලාපොරොත්තුවෙනි.
"සන්දීපා මේ නිවාසෙට දාද්දි රුපියල් 70,000ක් අපෙන් ගත්තා. ඊට පස්සේ හැම මාසෙකම රුපියල් තිස් පන්දාහක් මම ඒ ගිණුමට දැම්මා. දුව බලන්න පුළුවන් හැම වෙලාවකම ආවා. හැබැයි එන්න කලින් අපිට කෝල් කරලා කියන්න ඕනේ. දුව ගොඩාක් කලබල කරන කෙනෙක්. ඒ නිසා එයා ගැට ගහනවා කියලත් මට ආරංචි වුණා. මම ගින්න ආරංචි වෙලා මෙතනට ආවම දැනගන්න ලැබුණා දුව නැතිවුණා කියලා.”
ඇයගේ මරණය සැලවූ මොහොතේ, එතැන සිටි බොහෝ දෙනෙකුගේ හදවත් බිඳී ගියේය.
ලොකු අයියාගේ ටික්ටොක් මාධ්‍ය හරහා බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටි සේනාධි මෙන්ම සුනීතා, අමාලි සමක නිවාසයේ විසූ සමහරු අද අප අතර නැත. සමහරු ජීවිතය යදිමින් දැඩිසත්කාර ඒකකයේය. සේනාධි, සුනීතාගේ වියෝව, මෙන්ම අමාලි දැඩි පිලිස්සුම් මත දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුවතද ඔවුන්ට ආදරය කළ හදවත් කම්පා කරන්නකි.
අතහැර දැමූ ජීවිත
මෙම ඛේදවාචකය අතරතුර, විදේශයේ වෙසෙන මවක් තම දරුවාගේ ඉරණම පිළිබඳව කම්පාවෙන් බලා සිටියාය. හිරුෂ නම් තරුණයාගේ කතාව ඒ අතරින් විශේෂත්වයක් ගනී. ඔහුගේ පුංචි අම්මා වන නිසංසලා පවසන ආකාරයට, ඇගේ සොහොයුරිය විදේශයක සිටින අතර, මුහුණු පොත හරහා මෙම “සෙනෙහසේ කැදැල්ල” පිළිබඳව දැනගෙන ඇත.
"හිරුෂ අධිමානසික තත්ත්වයෙන් පසුවන දරුවෙක්. එයා කලබල කරන නිසා රුකබලා ගන්න අමාරුයි. එ් නිසා තමයි අපි මෙම නිවාසයට බාරදෙන්න තීරණය කළේ, ඒ සඳහා ආරම්භක වශයෙන් රුපියල් 75,000ක මුදලක් අපි ගෙව්වා. ඊට අමතරව මාසෙට රුපියල් 35,000ක් අක්කා මේකට ගෙව්වා..." යනුවෙන් ඇය කඳුළු පිරි දෑසින් පැවසුවාය.
වාසනාවකට මෙන්, හිරුෂ එම අනතුරෙන් ජීවතුන් අතර බේරී ඇත.
“ගමේ අය තාප්පෙන් පැනලා වැඩ කරන අයගෙන් යතුරු ඉල්ලන් ඉබි යතුරු අැරලා එළියට දුවන් ඇවිත් හිටපු වැඩිහිටියන්ව නිවාසේ ඉස්සරහ බටගොඩ ඉස්කෝලේට දැම්මා. ඒ විදිහට අපි සැලකිය යුතු ගණනක් බේරගත්තා. කිට්ටු වෙන්නත් බැරි තරමට ගින්න සැරයි. මන්ද මානසික අයගෙන් සමහර බේරගෙන එළියට ගෙනාවම ආයෙම ගේ ඇතුළට දිව්වා. ගොඩාක් අය ගින්නට අහු වුණේ ඒ විදිහට. එයාලාට අපිව හුරු නැහැ. ඒ වගේම එයාලා බය වෙලා හිටියේ. මෙයාලා දඟලන නිසා ගොඩක් දෙනෙක් ඇඳන්වලට පුටුවලට තියලා ගැට ගහලා තමයි තිබිලා තියෙන්නේ.”
ගිනි ජාලාව නිවී ගියද, එම බිමේ ඉතිරි වූයේ අළු පමණක් නොව, බොහෝ හදවත් තුළ නොනිවෙන වේදනාවකි. ලොකු අයියාගේ ජීවිතය පුරාම ආදරය, රුකවරණය සහ සැනසීම සොයා ගිය සේනාදී,චන්ද්‍ර, නිලංගි, සිරියාවතී, ධනුශ්කි, සමීර, සුනීතා, චන්ද්‍රා, ඉරේෂා, පියසීලි වනි මිනිසුන් කිහිප දෙනකුගේ අවසානය මෙලෙස ලියවී යාම, සමාජයටම ගැඹුරු ප්‍රශ්න රුසක් ඉතිරි කර තිබේ.
අතහැර දැමුණු ජීවිත, රුකවරණය සොයමින් පැමිණි අහිංසක මිනිසුන්, විශ්වාසය තබා භාරදුන් පවුල් මේ සියල්ලම එදා සන්ධ්‍යාවේ ගිනි දැල් අතරින් එක්ව දැවී ගිය බවක් හැඟේ. එහෙත් ඒ ගිනි දැල් නිවී ගියද, ඔවුන්ගේ කතා තවමත් නිහඬව සමාජයේ හදවත්වල දෝංකාර දෙමින් පවතී.
අවසානයේ ඉතිරි වන්නේ එකම ප්‍රශ්නයකි. අප මනුෂ්‍යයන් ලෙස, මේ අහිමි වූ ජීවිතවලට සාධාරණයක් ඉටු කළාද? එයට පිළිතුර, මේ අළු අතරින් තවමත් සොයමින් පවතී.
දිශානි ජයමාලි කරුණාරත්න
ජායාරූප: සුමුදු හේවාපතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd