හෝඩුවාව දුන් නිල සුනඛයා හා හසුරවන සැරයන්වරයා

“මගේ අහිංසක දෝණි මරලා මඩේ හංගලා.මගේ පපුව පැලිලා මැරිලා යයි. දරුවෙකුත් ඉන්න මිනිහෙක් එක්ක හාදකම් පවත්වන්න ගිහිල්ලා තමයි දෝණිට මේ දේ වුණේ.ඔය සම්බන්ධය නතර කර දාන්න කියලා කොච්චර කිව්වත් ඇහැව්වේ නැහැ.”

වාසනා සඳමාලිගේ සිරුර වළ දමා තිබූ වෙල්යාය ආසන්නයේ මඩ වගුර ළඟ විලාප තබමින් ඇගේ මව පැවසුවාය.වාසනා සඳමාලි අබිරහස් ලෙස ඝාතනයට ලක් වන විට විසි දෙහැවිරිදි වියේ පසුවූවාය. ඇය ඇඟලු‍ම් කම්හල් සේවිකාවකි.ඇය මව සහ පියා සමග පදිංචිව සිටියේ රංගල පොලිස් වසමට අයත් කටුගොඩ, පෝද්දල්ගොඩ, උඩිස්පත්තුව ප්‍රදේශයේ පිහිටි ඇයගේ මහ ගෙදරය.

පසුව ඇය අනියම් සම්බන්ධයක් පැවැත් වූ බව කියන පෙදරේරුවාගේ නිවසේ පදිංචියට ගියාය.හිටි හැටියේම වාසනා සඳමාලි නිවසින් අතුරුදන් වී ඇත්තේ පසුගිය 19 වැනිදාත් 26 වැනිදාත්   අතරතුරය. දියණියගේ මෙම අබිරහස් අතුරුදන් වීම නිසා මවුපියන් පසුවූයේ හැඬූ කඳුළිනි.

සඳමාලි සමග අවුරුදු හතරක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයාද ඇයගේ අතුරුදන්වීම නිසා කම්පාවෙන් පසු වන බව පෙන්වමින් හැසිරී ඇත.රංගල පොලිසියට  ලද තොරතුරක් අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සඳමාලි පදිංචිව සිටි නිවසේ සිට මීටර් දෙසීයක පමණ දුරින් පිහිටි වෙල්යාය ආසන්නයේ ඇති වගුරු බිමක් පරීක්ෂාවට ලක් කළේ පසුගිය දෙවැනි දා උදේ වරුවේය.

වගුරු බිම පරීක්ෂා කර බැලීමේදී තරුණියකගේ සිරුරක් මතුවී තිබෙන අයුරු දැක ඒ බව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක අපරාධය සිදුවූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළේය.මහේස්ත්‍රාත්වරයා හමුවේ මළ සිරුර ගොඩගනු ලැබිණ.අඩි තුනක් පමණ ගැඹුරට වළක් හාරා ඒ තුළට සඳමාලිගේ සිරුර  දමා ඒ මතින් හබරල ගස් සිටුවා තිබුණේ මෙය සදාකාලික රහසක් වශයෙන් රැක ගැනීමේ අරමුණින් යුතුව බව පෙනේ.

සඳමාලිගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය උපුලී බණ්ඩාර විසිනි.

තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ  සහ තෙල්දෙණිය අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ (සොකෝ) ඒකකයේ නිලධාරීහුද එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

සඳමාලි වසර හතරක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන ඇයගේ ගමේම පදිංචිව සිටින 28 හැවිරිදි පුද්ගලයා ඒ වන විටත් අතුරුදන්ව සිටීම නිසා පොලිසියේ සැකය ඔහු දෙසට එල්ල විය.ඔහු පෙදරේරු වෘත්තියේ නිරතව සිටින අයෙකි. 

වාසනා සඳමාලිගේ ඝාතකයා මේ කියන පුද්ගලයාම දැයි යන්න තහවුරු කර ගැනීමට පොලිසියට වුවමනා විය.

මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රාජකාරියේ යොදවා සිටින අපරාධකරුවන් සොයා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලබාසිටින අයිවෝ ඩෙනිස් නමැති පොලිස් නිලසුනඛයා අපරාධය සිදුවූ ස්ථානයට කැඳවනු ලැබුවේ ඝාතකයා කවුරුන්ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා යම් හෝඩුවාවක් සොයා ගැනීමටය.

පොලිස් නිල සුනඛයාට ඉවකිරීමට ලබා දීමට ආගන්තුක යමක් එහි තිබුණේ නොමැත.සඳමාලිගේ සිරුර වගුරේ එබීමෙන් පසු ඒ මත හබරල ගස් සිටුවා තිබුණු බව පොලිසියට පෙනී ගොස් තිබූ නිසා හබරල ගසක් පොලිස් නිලසුනඛයාට ඉව කිරීමට සැලැස්වූයේ එම නිලසුනඛයා හසුරවන පොලිස් සැරයන් මොරේමඩ (71156) විසිනි. හබරල ගසට ඉව කළ පොලිස් නිලසුනඛයා පොලිස් සැරයන් මොරේමඩ නිලධාරියා ද ඇදගෙන ගොස් නැවතුණේ සඳමාලිගේ ගෙයි ඇතුළේය.  පොලිස් නිලසුනඛයා ගේ ඇතුළට ගොස් නැවතුණු පසු එතනින් එහා කොහාටවත් ගියේ නැත.

මඩ වගුරේ සිට සඳමාලි පදිංචිව සිටි නිවසට ඇත්තේ මීටර් දෙසීයක පමණ දුරකි. නැවතත් පොලිස් නිලසුනඛයා සඳමාලිගේ මළ සිරුර තිබූ මඩ වගුරට රැගෙන ගොස් ඒ මත සිටුවා තිබූ හබරල ගසකට ඉව කිරීමට සැලැස්වූ පසු සුනඛයා යළිත් පැමිණියේ ඒ ගෙදරටමය. මෙම කටයුතු අධීක්ෂණය කරනු ලැබුවේ මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුර සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත කුලසේකර විසිනි.

ඝාතනය වුණු සඳමාලි

සඳමාලිගේ ඝාතකයා වෙන කවුරුවත් නොව ඇය වසර හතරක කාලයක් තිස්සේ සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව  කියන පුද්ගලයාම බව පොලිස් නිලසුනඛ අයිවෝ ඩෙනිස් දෙවතාවක්ම ලබා දුන් හෝඩුවාවෙන් පොලිසිය තහවුරු කර ගත්තේය. පොලිසිය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී ඇත්තේ සඳමාලි වෙනත් තරුණයකු හා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැකකර ඇය කුඹුරු යාය දෙසට උපක්‍රමශීලීව කැඳවාගෙන ගොස් ඝාතනය කර මඩ වගුරේ සිරුර සඟවා ඇති බවය.

පෙදරේරුවකු වන මෙම විසි අට හැවිරිදි පුද්ගලයා විවාහකයෙකි.  එක් දරු පියෙකි. සැමියාගෙන් නිතර සිදුවන හිරිහැර කරදර ඉවසා ගැනීමට නොහැකි බව කියමින් බිරිය දරුවාද කැටුව නිවසින් පිටත්ව ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.

බිරිඳ දරුවා ද කැටුව යාමෙන් ටික කලකට පසු සඳමාලි සමඟ මොහු අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇති අතර එතැන් පටන් අඹු සැමියන් ලෙස මේ දෙදෙනා ජීවත්ව ඇති බව පොලිසිය කියයි. පෙදරේරුවා සිය මව සමග පැමිණ වාසනා සඳමාලි අතුරුදන් වී ඇති බවට පොලිසියට පසුගිය 27 වැනිදා පැමිණිලි කර ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් දෙදෙනාට පොලිසියට පැමිණෙන ලෙස කිහිප වතාවක් දැනුම් දෙනු ලැබුවත් ඔවුන් පොලිසිය මඟ හරිමින් සිට ඇතැයි කියති.

පෙදෙරේරුවාගේ මව තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසා පොලිසිය මගහැර සිටියාය.අවසානයේ මවට පොලිසියේ පෙනී සිටීමට සිදුවූයේ පොලිසියෙන් මගහැර සිටීමෙන් පලක් නොවන බව තේරුම් ගත් නිසාය.මවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ බොහෝ කරුණු හෙළිව ඇත. වාසනා සඳමාලිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පෙදරේරුවා පසුගිය තුන්වැනිදා දහවල් නිවස වෙත පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ මුවින් කිසියම් සැර ගඳක් වහනය වන බවට පොලිසියට දැනුණු අතර ඔහු වස පානය කර ඇති බව පෙනී ගිය නිසා කඩිනමින් තෙල්දෙණිය රෝහලට ඇතුළුකර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවේ. 

“සර් මම සඳමාලි එක්ක විවාහ වෙලා හිටියේ නැහැ.ඒත් අපි දෙන්නා එකට අපේ ගෙදර ජීවත් වුණා.මා එක්ක ඉන්න අතරවාරයේ මේ ගෑනි වෙනත් කොල්ලෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා කියලා ආරංචි වුණා. මේ හින්දා අපි දෙන්න අතර නිතර ආරවුල් ඇතිවුණා.”

සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි දැනගැනීමට තිබේ..

සුව වී රෝහලෙන් පැමිණීමෙන් අනතුරුව මෙම ඝාතනයට අදාළව  සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

සඳමාලිගේ ඝාතකයා ගැන නිශ්චිත හෝඩුවාවක් ලබා දුන් පොලිස් නිල සුනඛ අයිවෝ ඩෙනිස් මෙරටදී උපත ලබා පසුව මහනුවර අස්ගිරිය පොලිස් නිලසුනඛ කොට්ඨාසයෙන් අපරාධකරුවන් සෙවීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇත. අයිවෝ ඩෙනිස් පොලිස් රාජකාරියට එක් වී මේ වන විට වසර තුනක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ කාලයෙහි අපරාධකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා  හෝඩුවා සපයා ඇත. 

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර සහ මාතලේ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත තෙල්දෙණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ අමරසිංහ සහ තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරී නිශාන්ත ලොකුගේ යන අයගේ මෙහෙයවීම යටතේ රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න ගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය