වෙසක් සඳ මෝදුවීමට හෝරා දෙකකට අඩු කාලයක් තිබිය දී හුංගම ප්‍රදේශයම කම්පාවට පත් කළ ආරංචිය වූයේ පාසල් වියේ දරුවන් තුන්දෙනකු මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන් වූ පුවතයි.ළැව්ගින්නක් සේ පැතිර ගිය මෙම පුවත ඇසූ බොහෝ දෙනා හුංගම කළමැටිය පැරණි මාදැල් ධීවර වරාය දෙසට වැල නොකැඩී ගමන් කරන්නට වූහ.

දිනකර විඩාබරව රත්පැහැයෙන් ක්ෂිතිජයේ ගිලෙනු පෙනිණ. වෙසක් සඳ පෙරඹරින් මෝදු වේගෙන එන අවස්ථාවේ දී කළමැටිය මුහුදු තීරය කඳුළු කැටවලින් තෙත් වන්නට විය. හිතක් පපුවක් නැති රකුසු වෙස් ගත් මුහුදු රළ පෙළ පෙරළි පෙරළී වෙරළ තීරයට කඩා වැදුණේ විලාප නඟන හඬ යටකරගෙනය. 

“අනේ මගේ පුතේ, අනේ අයියේ, අනේ මල්ලී” යනුවෙන් ඇසුණු විලාප හඬමැද මහ මුහුදේ සැඟව ගිය හිරිමල් වියේ පිරිමි ළමයි දෙදෙනා සොයාබැලීමට නිර්භීත, පළපුරුද්දක් ඇති අය මුහුදට බැස කිමිදෙන්නට වූහ. ධීවර යාත්‍රා කිහිපයක්ද මෙහෙයුම් කටයුතු කළ අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහුද පැමිණ සෙවීමේ කටයුතු සිදු කළහ. දරුණු රළ පෙළ ඒ කිසිවකට ඉඩ නොදී කච්චිගල්ආර මෝය කට ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනා රැගෙන අතුරුදන් කර හමාරය.

හතර වටින් ඇඳිරිය වැටෙන විට වෙරළ තීරය ටික ටින පාළු වන්නට විය. දරුවන්ගේ සමීප ඥාතීන් මෙන්ම හිත මිතුරෝද වෙරළෙන් නික්මී  හැඬූ කඳුළෙන් නිවෙස් කරා පිය මනින්නට වූහ.අඩ අඳුරේ පාළුවට ගොස් ඇති වෙරළ තීරයේ කිරළුන්ගේ හඬ පමණක් ඉතිරි විය.

වෙසක් පෝයදා උදේ පන්සල් ගොස් වෙසක් කූඩු සකස් කර සවස වෙසක් කූඩු දැල්වීමට පන්සලට පැමිණීමට පෙර මුහුදේ දිය නෑමට ගිය පාසල් දරුවන් තිදෙනා ගැන කිසිදු සලකුණක් නොවීය.

හුංගම පොලිස් ස්ථානයෙහි නිලධාරීන් කණ්ඩායමක් පමණක් කළමැටිය වෙරළ තීරයේ රැය පහන් කරමින් සිටියහ. අතුරුදන්ව සිටි පාසල් දරුවන්ගේ නිසල සිරුරු කවර මොහොතේ හෝ ගොඩට පැමිණෙතැයි අපේක්ෂාවෙනි.

රැය පහන් වුවත් කිසිදු හෝඩුවාවක් නැති හෙයින් අතුරුදන් වූ දරුවන් සොයා බැලීමට අවට මුහුදු තීරුවේ ස්ථාන කිහිපයක ගම්වාසීන් සෝදිසියේ යොදවා තිබිණ.

පසුදින (01) උදේ 8.20 ට පමණ කළමැටිය බෝට්ටු වරාය අසල කඳු ගැටයක් මත සිටි තරුණ පිරිසක් එක්වරම මහ හඬින් කෑ කෝ ගසන්නට වූහ. ඒ අවස්ථාවේ දී වෙරළේ සිටි අයට මේ කෑ ගැසීම තෝරා බේරා ගැනීමට නොහැකි විය. තවත් අයෙක් මුහුදට බිලි වී දැයි ඇතැමෙක් ඇසූහ. වෙරළ තීරයේ උකුසු ඇස් යොමා සිටි පිරිස් කෑකෝ ශබ්දය සමඟ  දිව ගිය පසු දැක ගත හැකි වූයේ නිල් පාට දිග කලිසමක් ඇඳ ගෙන උඩු කය නිරුවත්ව අතක් ඉහළට ඔසවා ගල් ගැසී ගිය වැඩිමහල් පාසල් දරුවාගේ සිරුරයි.

“හසිඳු පුතා අනේ මෙන්න ගොඩට ආවා. මගේ පුතේ මේ මොකද්ද කරගත්තේ” යැයි මහ මුහුදට දෑත් ඔසවා විලාප නඟමින් හසිඳුගේ නැන්දා නිසල සිරුර ඔසවාගෙන ගොඩට ආවාය. වෙරළට පැමිණි අය දරුවාගේ සිරුර වෙරළට ඔබ්බෙන් පිහිටි ප්‍රජා ශාලාවට ගෙන ගියහ.

අනෙක් සිරුරු සෙවීමේ කටයුතු සක්‍රිය වූයේ ඉන්පසුවය. ඒ අනුව අවුරුදු 13 ක් වයසැති අතුරුදන්ව සිටි දරුවා වන කුෂාන්ගේ සිරුරද   පැය භාගයකින් පමණ පසුව වෙරළට ආසන්න මුහුදේ වැලි කඳු අතරේ රැඳී තිබියදී සොයා ගැනිණ. අශාන්ගේ සිරුර සවස් වන තෙක් සොයාගැනීම දුෂ්කර විය. මල්ලී හමුවී අයියාගේ සිරුර නැති හෙයින් මව්පියෝ මහ මුහුදු දෙස බලා විලාප දෙන්නට වූහ. කිමිදීමට හැකි අය උපරිම ශක්තිය යොදා ගෙන උත්සාහය අත් හැරියේ නැත. පෙරදින මහ මුහුදේ සැඟව ගිය ආසන්න වේලාව එළඹෙන තෙක් එම සිරුරු සෙවීම සිදුකළ අතර එම ස්ථානයෙන්ම එම සිරුරත් හමු විය. නිසල ව හමු වූ සිරුරු තුන  හම්බන්තොට මහ රෝහලට රැගෙන යෑම සිදුකරනු ලැබුවේ හුංගම පොලිස් ස්ථානයේ මූලික පරීක්ෂණ අනුව හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මතය.පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ දී සිදුකර ඊට පසුදින (02දා) මෘත දේහ ඥාතීන්ට භාරදීම සිදුවිය.

වෙසක් පෝයට දන්සල් කෑමට , කූඩු පත්තු කිරීමට බලාපොරොත්තු රැසක් පොදි  බැඳගෙන සිටි හිරිමල් වියේ පසු වූ  හුංගම විජයබා ජාතික පාසලේ මාණවකයන් තිදෙනාගේ සිරුරු සිය සහෝදර සිසු සිසුවියන්ගේ සෝ සුසුම් මැද ගුරු භවතුන්ගේ නෙතු අග කඳුළු කැට රූරා වැටෙද්දී හුංගම තුඩුව පොදු සුසාන භූමියේ දි 02ද්‍ා විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් එකම වළක මිහිදන් කෙරිණ.

මෙසේ කළමැටිය මුහුදේ රළ පෙළ අතරේ  ගසාගෙන ගොස් මිය ගියේ හුංගම තුඩුව පදිංචි ඩබ්ලිව්.ජී හසිඳු කැලු‍ම් (19)  ආර්.පී. කුෂාන් දිලු‍ක්ෂ(13)  ආර්.පී. අශාන් දුලංජන (17) යන අය වෙති . කුෂාන් සහ අශාන් සහෝදරයෝ වෙති.

පාළුවට ගොස් ඇති  හුංගම කළමැටිය මා දැල් ධීවර වරාය අසල වෙරළ තීරය දිය නෑමට තරම් සුදුසු ස්ථානයක් නොවන බව ධීවර කර්මාන්තයේ යෙදෙන අය පවසති. හුංගම කච්චිගල් ආර කළමැටි කලපුව හරහා ගලා බැස මහ මුහුදට වැටෙන මෝය කට පිහිටා ඇත්තේද මෙම ස්ථානයෙහිය. මෝය කපාඇත්තේ පෙරදිනය. ඉතාම වේගයෙන් කච්චිගල් ආරේ ජල පහරද මහ මුහුදට ගලා බැසීම සිදුවන හෙයින් එම ස්ථානයේ කොහෙත්ම දිය නෑම හෝ බැසීම සිදු නොකළ යුතු බවද ධීවර කාර්මිකයෝ පවසති.

පාසල් වියේ දරුවන් තිදෙනෙකු මුහුදේ දිය නෑමට ගොස් ගසාගෙන යෑම සම්බන්ධයෙන් බෝධිරාජාමාරාධිපති, අම්බලන්තොට බටහිර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, පල්ලේගම විමලරතන හිමියෝ මෙසේ කීහ,

අධ්‍යාපනය ලබන දරුවන් තුන්දෙනකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියයෑම සමාජයට මහත් පාඩුවක්. වැඩිහිටියෝ, දෙමාපියෝ දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න ඕනැ.” 

සිද්ධිය ඇසින් දුටු හුංගමතුඩුව එල් .පී ලසන්ත මෙසේ කීය. 

“මගේ දරුවොත් කිවුවා මුහුදේ නාන්න යන්න ඕන කියලා. මම කිවුවා තෙල් ගහන්න විදියක් නැහැ. බයික් එකට ලයිට් නැහැ කියලා. ළමයි අඬන්න ගත්තා. අනික් ළමයි අම්මලත් එක්ක ගිය නිසා.  එතකොට ලයිට් ආවා.  බයික් එකට තෙල් ගහගෙන මමත් ළමයි එක්ක මුහුදට ආවා. කළමැටියේ එතකොට ළමයි නානව. අපේ ළමයිත් නාන්න පටන් ගත්තා. එක් වරම මහ රළක් ආවා. හතර දෙනෙක් මුහුදට ගසා ගෙන ගියා. එක් කෙනෙක් ගොඩට ගසා ගෙන ආවා. තුන්දෙනෙක් ගියා. බේර ගන්න කොහොමවත් බැරිවුණා. උත්සාහ ගත්තා ඒත් බැරිවුණා”.

හුංගම නීල් චන්දන අදහස් දැක්වීය.

“කච්චිගල් ආර මෝය කට කැපුවා කුඹුරු යටවෙනව කියලා. කුඹුරු හදලා තියෙන්නේ කළමැටි කලපුවේ. නීති විරෝධී කුඹුරු ජලයෙන් යටවෙනවා කියලා බැකෝ යොදාගෙන මෝය කට කපනව. මෝය කට කැපුවාම වතුර වේගයෙන් බැස යනව. මේ මරණවලට මෝය කට කපපු අනවසර කඹුරු අයිති කාරයන් වග කියන්න ඕන. මෝය කට ගිල්ම ගහල තිබුණට කමක් නැහැ. ඇළක් තියනවා වතුර බහින්න. ඇළ සුද්ද කරන්නෙ නැහැ.මෝය කට කපනව. කළමැටිය කලපුවේ ධීවර කර්මාන්තය කරන අයටත් මෙය බාධාවක්. කලපුවේ මිනී කන කිඹුලන් ඉන්නවා. දැනටමත් කිහිප දෙනෙක් කිඹුලට ගොදුරු වී තිබෙනවා.” 

ශාන්ත අබේධීර මෙසේ කීය. 

“මෙතන නාන්න බැහැ. වැඩිහිටියෝවත් මෙතන නාන්න එන්නෙ නැහැ. අනික මෙම ස්ථානයේ මාදැල් ධීවර වරාය අවසන් කළාට පස්සේ ධීවරයන්වත් මෙතනට එන්නේ නැහැ. පාළු ස්ථානයක්. රළ හයියයි. ඇදගෙන යනවා. අපි වැඩි හිටියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ කළමැටියේ  නාන්න එන්න එපා. කලපුවේ කිඹුලත් ඉන්නවා. කිඹුලා ඇදගෙන ගිහිල්ලත් මෙතන කිහිප දෙනෙක් මැරුණා.”

එම්.පී ටෙනිසන් හුංගම ද අදහස් දැක්වීය.

“මෙතන නාන්න එන්න එපා කියලා බෝඩ් එකක් හරි ගහලා දැනුවත් කරන්න. මෙතන කවුරුත් නැති තැනක්. මුහුදේ ගසාගෙන ගියාට බේරගන්නවත් කෙනෙක් ළඟ නැහැ. මෙතනට තවත් කට්ටියක් ඇවිත් නාන්න හදන විට යන්න කියලා කිවුවා. කියන දෙයක් අහන්නේ නැහැ. අපේ ළමයි දෙනෙක් නැතිවෙලා. එක දරුවෙක්ගෙ තාත්ත මෙතන කලපුවේ ගිලිලා නැතිවුණා. මහත්තයෝ විශේෂයෙන්ම කියන්නේ මෙතැනට නාන්න එන්න එපා කියන්න.”

අම්බලන්තොට 
සනත් ගමගේ