
භික්ෂූන් වහන්සේගේ ගෞරවය පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. බොදු සසුන දැඩි පිරිහීමකට ලක්වන බවට ගිහි, පැවිදි දෙපාර්ශ්වයෙන්ම විවිධ කතිකාවන්ද ඇති අතර මාධ්‍ය ඔස්සේද භික්ෂූන්ගේ ගති පැවතුම් පිළිබඳව දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතී. ඇතැම් භික්ෂූන් වහන්සේගේ ක්‍රියාදාමයන් නිසා මුළු මහත් සංඝ සමාජයටම දැඩි පහරක් එල්ලවී ඇත. මේ නිසා භික්ෂූ පාලනය පිළිබඳව දැඩි ලෙස නීති සම්පාදනය විය යුතු බවද ප්‍රකාශවී තිබේ. මේ අතර සංඝාධිකරණයක් පිළිබඳවද යෝජනා ඉදිරිපත් වී ඇත.
භික්ෂු ගෞරවය රැකීම පිළිබඳව සංඝාධිකරණය ඇතුළු දැඩි පාලනයක අවශ්‍යතාව මුල්වරට ඉදිරිපත් වූයේ 1927 වසරේදීය. මහත් ආන්දෝලනයක් ඇති කරමින් ආරම්භ වූ එම කතිකාවනට හේතු වූයේ භික්ෂුන් වහන්සේට ඡන්ද බලය ලැබීම පිළිබඳවය. භික්ෂූන්ට ඡන්ද බලය ලබාදීමෙන් සංඝ සමාජය විවිධ අංශවලට බෙදීමක් සිදුවන බවට මතයක් ඉදිරිපත්වීම එයට හේතුවිය. මේනිසා භික්ෂු පාලනයක් ඇතිකළ යුතු යයි ප්‍රධාන පෙළ නායක හිමිවරුද කියා සිටියහ.
භික්ෂූන් වහන්සේ පිළිබඳව පාලනයක් සිදු කළ යුතු බවට බොදු ජන මතය කුමක්ද? යනුවෙන් එම ආන්දෝලනය ඇති වූයේ එවකට පැවැති සිංහල බෞද්ධයා සහ සරසවි සඳරැස පුවත්පත් මගින් ඇතිකළ කතිකාවය. එම කතිතාවට සම්බන්ධව උඩරට අමරපුර නිකායේ මහානායක හිමියන් ලෙස වැඩ සිටි රාජකීය පණ්ඩිත විදුරුපොල පියතිස්ස නාහිමියෝ භික්ෂූන්ට ඡන්ද බලය ලබාදීමට විරුද්ධත්වය ප්‍රකාශ කළහ. 1927 දෙසැම්බර් 17 වැනිදා පළ කළ ලිපියක් මගින් උන්වහන්සේ ඉදිරිපත් කළ අදහස වූයේ භික්ෂූන් වහන්සේගේ නම ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි කිරීම හෝ නොකළ යුතු බවය. ඒ හැරුණ විට කිසිම ඡන්ද අපේක්ෂකයකුට ඡන්දය ලබාදෙන ලෙස පැවසීම හෝ නොකළ යුතු බවය. ඡන්ද බලය භික්ෂූන්ට ලබාදීම කෙරෙහි මුල සිටම උන්වහන්සේ විරුද්ධ වූ බැව් එම ලිපිය මගින් ප්‍රකාශ කර තිබිණි. ශාසනයේ අභිවෘද්ධියට හිතවත් ගිහි පැවිදි දෙපාර්ශ්වයකම වැඩි පිරිසක් එම අදහසට එකඟ බවද එමගින් කියා සිටියහ. මේ නිසා එමගින් සිදුවන අවැඩ අමරපුර නිකායේ මහානායක හිමියන් ලෙස දැනුම්දීම තම යුතුකම බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මේ නිසා වයස අවුරුදු 21 සපිරුණු කිසිදු සාමණේර නමක් ඡන්ද දායකයන් ලෙස නම ලියාපදිංචි නොකළ යුතු බවද ඒ ගැරුණ විටට කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ලබාදෙන ලෙස උනන්දු කරවීමද සිදු නොකළයුතු බවද කියා සිටියහ. ඒ බැව් උන්වහන්සේ සඳහන් කරනු ලබන්නේ අදහසක් පමණක් ලෙස නොව ආඥාවක් ලෙස බැව්ද වැඩිදුරටත් ප්‍රකාශ කළහ. එම ප්‍රකාශය කරනු ලැබුවේ නුවරඑළියේ බඹරකැලේ විහාරස්ථානයේදීය.

යගිරල පඤ්ඤානන්ද නාහිමි
මෙම වාදයට එක්වූ ගෝනගල සුධර්මාකර පරිවේණාධිපති ලෙස වැඩ විසූ පණ්ඩිතාචාර්ය යගිරල පඤ්ඤානන්ද හිමියෝ එයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් භික්ෂූන් වහන්සේට ඡන්ද බලය ලබාදීමෙන් සසුනට කිසිදු හානියක් සිදු නොවන බැව් ප්‍රකාශ කළහ. එම අදහස ප්‍රකාශයට පත් කරමින් පළ කළ ලිපියක් 1930 අගෝස්තු 1 වැනිදා එවකට පැවති සරසවි සඳරැස පුවත්පතේ පළ කරනු ලැබීය.
භික්ෂූන් වහන්සේගේ ඡන්ද බලය ප්‍රතික්ෂේප කිරීම යනුවෙන් පළ කළ එම ලිපියද බෞද්ධ මහා ජනමතය කුමක්ද? යනුවෙන් එමගින් ප්‍රශ්න ඉදිරිපත් කර තිබිණ. භික්ෂූන් වහන්සේට ඡන්ද බලය ලබාදීමෙන් ශාසනය පරිහානියට පත්වේ යයි දරන මතය ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූහ. ඈත අතීතයේ පටන් ශාසන පරිහානියට හේතු වූයේ බෞද්ධයන් අතර පැවැති දුස්සාධ්‍ය බව නිසා බවද ශාසන පරිහානිය නම් දිනපතා සිදුවන බවද කිව යුතුයැයි සඳහන් කරනු ලැබීය.
යමෙකුට මහණකම නැති කර ගැනීමට අවශ්‍ය නම් ඡන්ද බලය පාවිච්චි කිරීමෙන් පමණක් නොව ධර්ම දේශනාකොට ආසනයෙන් නික්මයෑමේදී වුවත් එසේ කළ හැකි යයිද පැවසූහ. එය සිදුවන්නේ ඡන්දය පාවිච්චි කිරීමේ වරදක් නිසා නොව ඒ ඒ පුද්ගලයන් තුළ පවතින පාපිෂ්ඨකම නිසා සිදු වන්නක් යයිද ප්‍රකාශ කළහ.
භික්ෂු ගෞරවය විතැන්වන්නේ ඡන්ද බලයක් නිසා නොව ඇතැම් භික්ෂූන්ගේ නොපනත්කම් නිසාය. භික්ෂු ගෞරවය අධිකව පැවැත්තේ 1700 වසරින් පූර්වයෙහිය. තරමක් හොඳින් 1800 වසර පමණ වනතුරු පැවති නමුත් සිංහල ආණ්ඩුවේ වැටීමත් භික්ෂු ගෞරවය පිරිහීමත් එක තැනකින් ආරම්භ වී යයි කිව යුතුය. භික්ෂූන්ට රටවැසියා විසින් අතිශය ගෞරව කරන ලද්දේ සීල සමාධි ප්‍රඥා දී ගුණධර්මයන් නිසා පමණක් නොව තමන්ගේද තම දූදරුවන්ගේද ගුරුවරුන් නිසාත් රජුන්ගේ අනුශාසකයින් හෙයින් රාජකීය ගෞරවලාභීන් නිසා යයිද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.
තවදුරටත් කරුණු විග්‍රහ කළ උන්වහන්සේ පුරාණ කාලයේ අභයගිරි නිකාය ඇතිවීමටත් පෙර පටන් භික්ෂූන් රාජ්‍ය පිළිබඳ කටයුතුවලට සම්බන්ධ වූවෝ අභයගිරි නිකායකයෝ පමණක්ම යැයි කීම ඉතිහාසය නොදැනීමෙන් කරන ප්‍රකාශයන්ය. භික්ෂූන්ගේ ගෞරවය පැවතුනොත් පවතින්නේ ඡන්දයක් කරනකොට ගෙන නොවේ. උගත්කමත්, සිල්වත් බවත් ඇති පමණට භික්ෂූන්ගේ ගෞරව රැකෙයි. ගෞරවය බලාපොරොත්තු වන්නන් විසින් ඒ සඳහා ඡන්දය පාවිච්චි කිරීමක් නොව කළ යුත්තේ යථෝක්ත ගුණධර්ම බහුල කර ගැනීමය.
තමන්ට හිතෙන දේ ධර්මයයි ප්‍රකාශ කිරීම ශාසන විනාශයකි. අධර්මය ධර්මය ලෙස පෙන්වීම විනාශයකි. භික්ෂූන්ට ගෞරවයක් හෝ ප්‍රයෝජනයක් සිදුවන යමකදී බෞද්ධයෝ විරුද්ධ නොවෙති. එබැවින් බෞද්ධ මහජන මතයට ගරු කිරීම වශයෙන් භික්ෂූ ඡන්දය පිළිබඳව සිය මතය තහවුරු කළවුන්ට සහ අදහස් පළකළ පුවත්පත් කර්තෘවරුන්ට පසසන බැව්ද යගිරල පඤ්ඤානන්ද හිමියෝ තම අදහස් පළ කළහ.

විදුරුපොල සිරි පියතිස්ස මහනාහිමි
අද ඇතැම් භික්ෂූන් වහන්සේ තමන් සිතුවක්ම කරනු ලබති. සමහර ගිහියෝ ඒවාට ධෛර්යය දෙනු ලබති. එම නිසා ක්ෂණයෙන් භික්ෂු ගෞරවය පිරිහෙයි. එම නිසා ඡන්දය පාවිච්චි කළත් නොකළත් භික්ෂු ගෞරවය දැන් ගිරි නදී වේගයෙන් මෙන් පිරිහෙන බැව් ඇත්තය. එය වැළැක්වීමට නම් කළ යුත්තේ ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව නොව ගිහි පැවිදි දෙපාර්ශ්වයේ අංවක සම්බන්ධතාවක් ප්‍රතිපත්ති වර්ධනයත්, පරාර්ථ චර්යාවන් ශක්තිමත් කිරීමය යනුවෙන් උන්වහන්සේ භික්ෂු ගෞරවය රැකගැනීම පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් එමගින් ඉදිරිපත් කරනු ලැබූහ.
මේ අයුරින් භික්ෂු ගෞරවය ඇති කිරීම පිළිබඳව සිය වසකට ආසන්න කාලයක සිට කතිකාවක් ඇතිවූ බැව් ඉතිහාසය දෙස බැලීමේදී දක්නට ලැබේ. භික්ෂූන් වහන්සේ පිළිබඳවත් සසුන සංවර්ධනය කිරීම සඳහාත් නැවත වරක් 1951 වසරේදී භික්ෂු ගෞරවය ආරක්ෂා කිරීමේ ආන්දෝලනයක් ඇතිවිය. එම කතිකාවත ආරම්භ වූයේ මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ මූලිකත්වයෙනි. ඒ සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ දෙසීයක් පමණ සහභාගි වූහ.
සසුන සංවර්ධනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ වෙත ප්‍රශ්න දහයක් ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය විය. භික්ෂු ගෞරවය රැකීම සඳහා එම ප්‍රශ්න දිවයිනේ සියලුම මහා සංඝරත්නය වෙත යොමු කළ යුතු බවටද තීරණය වීය. එම ප්‍රශ්නවලට ඇතුළත් වූ ප්‍රධාන අංශ වශයෙන් සංඝාධිකරණයක් පිහිටුවීම වැදගත් කරුණක් ලෙස පෙන්වාදී තිබිණි. එමගින් භික්ෂූන් වහන්සේලා උසාවි යාම වැළැක්විය හැකි බවටද පෙන්වාදී තිබිණි.
මහානායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති එම කතිකාවතේදී යෝජනා 10ක් ඉදිරිපත් කැරිණි. එම යෝජනා පුවත්පත් මගින් ප්‍රසිද්ධ කැරිණි. එම යෝජනා පළ කර තිබූ අයුරින්ම මෙසේය.
භික්ෂු අධ්‍යාපනය
ධර්ම විනය ඥානය, හා ශාසනික ප්‍රතිපත්ති පුහුණුව අනිවාර්ය මූලික විෂය ලෙසත් භාෂාන්තර විද්‍යා විශේෂ ඥානය අතිරේක විෂයයක් ලෙසත් සකස් කරගත යුතු ද?
සංඝාධිකරණය
සංඝයා උසාවිවල හැසිරීම වළකාලන පිණිස ශාසනානුලෝචිත එසේම කාලානුරූප විනිශ්චය ක්‍රමයක් කෙසේ සකස් විය යුතු ද?
පාලන ක්‍රමය
අභාවයෙන් සසුනෙන් බැහැර කිරීමාදියෙන් භික්ෂු සමාජය සකස් කර ගැනීමේ පාලන ක්‍රම ධර්ම විනයට එකඟව කෙසේ ඇති කරගත හැකි ද?
සංඝසාමග්‍රිය
නානා සංවාසක වූත් සමාන සංවාසකවූත් සියලු භික්ෂු සංඝයා අතර පොදු කටයුත්තෙහි ඒකාත්මික බවක් කෙසේ ඇතිකළ හැකි ද?
ආගමික විරෝධතා
කලින් කල ගිහි පැවිදි දෙපක්ෂය විසින්ම කරන මිථ්‍යා ප්‍රචාරය වැලැක්වීමට සුදුසු ප්‍රතිකර්ම කවරේ ද?
ආණ්ඩුවෙන් ඉටුවිය යුතුදේ
රටේ ආගමික පරිසරය නිසි සේ දියුණු කර ගැනීමට ආණ්ඩුවෙන් ඉටුවිය යුතු සේ සලකන කරුණු කවරේ ද?
සමාජ සේවය
නියම සමාජ සේවකයකු වූ භික්ෂුවගෙන් අද සිදුවන්නේ හුදුමාත්‍ර සේවයක් හෙයින් එසේ වීමේ හේතු සලකාගෙන එය නිසිසේ පෘථුල කර ගැනීමට යෙදිය යුතු ප්‍රතිකර්ම කුමක්දැයි සිතන්නෙහි ද?
ගිහි පැවිදි සම්බන්ධතා
පිරිහී ගිය ගිහි පැවිදි සම්බන්ධතා යළිත් ඇතිකර ගත හැකි ක්‍රියා මාර්ග කවරේ ද?
ධර්ම ප්‍රචාරය
ස්වදේශ සහ විදේශයන්හි බුද්ධ ධර්මය ප්‍රචාරය වඩා දියුණු අන්දමින් ස්ථිරව ගෙනයා හැකි ක්‍රියාමාර්ග කවරේ ද?
අනාගත සාසනාභිවෘද්ධිය උදෙසා මෙයින් වඩාත් සුදුසු වැටහෙන වෙනත් අදහස් ඇතොත් ඒ කෙසේ ද?
මෙම ප්‍රශ්නවලට පිළිතුරු මහනුවර සඟරාජ පිරිවෙන වෙත එවන ලෙසද එම ලිපිය මගින් ආරාධනා කර තිබිණි.
තිස්ස ජයවර්ධන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd