
වෙසක් කූඩු නැරඹීමට සහ දන්සල් වලින් ආහාර ගැනීමට මහත් උනන්දුවකින් බලා සිටි පවුල් දෙකකට, මීගොඩ ප්‍රදේශයේ දී සිදු වූ බිහිසුණු රිය අනතුරක් හේතුවෙන් ශෝකජනක ඉරණමකට මුහුණ දීමට සිදු විය.
මෙම අනතුරෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය අනෙක් පිරිස අතර රොටි දන්සලකින් උණුසුම් රොටි ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ නැන්දම්මා සහ නැන්දම්මාගේ සහෝදරයාගේ දියණිය ද වෙති .
අනතුර සිදු වූයේ රාත්‍රී 11.58 ට පමණ මීගොඩ හන්දිය අසල ඉන්ධන පිරවුම්හලට අඩි 200 ක් පමණ මෙපිටිනි.
රොටි දන්සලට යාබද නිවසේ පදිංචි සරත් නන්දකුමාර ප්‍රකාශ කළේ අනතුර සිදුවන අවස්ථාවේ දී තමා ඇඳ මත විවේක ගනිමින් සිටි බවයි.
“මම ඇහැරිලා හිටියේ. එකපාරටම මට ලොකු සද්දයක් ඇහුණා. ඒ වෙලාවෙම මට හිතුණා අනතුරක් වෙන්න ඇති කියලා. මම ඉක්මනට ගෙදර යතුරු තියල තියෙන පොඩි අල්මාරියෙන් යතුරු අරන් දොරයි ගේට්ටුවයි ඇරියා.” ඔහු පැවසීය.
ඔහු පැවසුවේ මිනිසුන් කෑ ගසමින් හාත්පස දිවගිය බවත්, තුවාල ලැබූවන් බිම වැතිරසිටි බවත්, ඔවුන් ගෙන් සමහරෙකුට සිහිය තිබුණ ද, තවත් සමහරකු සිහිසුන්ව සිටි බවයි. මේ කලබලය අතරතුර ඔහුගේ බිරිඳ ගිලන් රථයක් කැඳවීම සඳහා 1990 අංකයට ඇමතුමක් ලබා දී ඇත.
“ගොඩක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා කියලා හිතුණු, සිහිය නැති අයට මම මුලින්ම උදව් කළා. ඒ වෙලාවේ කළු හෝ තද නිල් පාට කාර් එකකින් කෙනෙක් ආවා. ඔහු වයසක කෙනෙක්ව දොස්තර කෙනෙක් ළඟට රැගෙන යමින් හිටියේ . ඔහු වාහනය නතර කරලා ඒ වයසක කෙනාව පසෙකින් නවත්වලා, තුවාලකරුවන්ව ළඟම තියෙන රෝහලට රැගෙන යන්න එකඟ වුණා. මම කුඩා ගැහැනු ළමයින් දෙන්නෙක්ව වඩාගෙන ගිහින් ඒ කාර් එකේ සීට් එකට නංවන්න ඔහුට උදව් කළා.” ඔහු පැවසීය.
දන්සලට පැමිණි පිරිසක් පැදවූ කුඩා ලොරි රථයකට (ඩිමෝ බට්ටා) ජීවිතක්ෂයට පත්ව සිටි අයගේ සිරුරු පටවනු ලැබීය.
පාර අයිනේ දන්සල දෙසට වෙන්නට බිම තිබූ සූප්පුවක් දැකීමෙන් තමා දැඩි සේ කම්පනයට පත් වූ බව සරත් විස්තර කළේය. දරුවකු විසි වී ගොස් ඇතැයි බියක් ඇති වූ බැවින්, ඒ දරුවා කානුවකට වැටී ඇත්දැයි සෙවීම සඳහා ඔහු වහාම නිවසට දිවගොස් විදුලි පන්දමක් රැගෙන විත් ඇත. කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ එම කුඩා දරුවා වෙනත් අයකු සන්තකයේ ආරක්ෂිතව සිටි බවයි.

තුවාල ලැබූවන් සහ මියගිය අය රෝහලට යැවීමෙන් පසු ගිලන් රථ සේවයෙන් තමන් අමතා අනතුර සිදු වූ ස්ථානයට පැමිණිය යුතු දැයි විමසූ බව ද ඔහු පැවසීය.
දන්සලට ඉදිරියෙන් කොළඹ දෙසට වන්නට යකඩ වැඩපොළක් පවත්වාගෙන යන එච්.ඩී. ජයන්ත නමැති තවත් ප්‍රදේශවාසියකු පැවසුවේ- තමාට ද විශාල ශබ්දයක් ඇසුණු බවයි. එම ප්‍රදේශය නිරන්තරයෙන් අනතුරු සිදුවන ස්ථානයක් බැවින් තමාගේ වෑන් රථයේ කිසියම් වාහනයක් ගැටෙන්නට ඇතැයි සිතා ඔහු නිවසින් එළියට පැන ඇත.
කෙසේ වෙතත් ඔහු මුලින්ම දැක ඇත්තේ තම නිවස ඉදිරිපිට පාර පුරා විසිරී තිබූ නිසල දේහයන් හයකි.
“හැමදේම වුණේ ඇසිපිය ගහන වේගෙන්. වැටිල හිටපු අයගේ කන් වලින් සහ ඇස්වලින් ලේ ගලමින් තිබුණා. පාරේ මූණ බිමට හැරිල වැටිල හිටපු කාන්තාවකගේ හිසට බරපතළ තුවාල සිදුවෙලා තිබුණා. මම බයවෙලා කෑ ගැසුවා. මගේ බිරිඳ සහ අනෙක් අය කෑ ගහල ඔවුන්ව වාහනවලට පටවන්න උදව් කළා.”
නිවාස දෙකකට එහායින් පදිංචි ව්‍යාපාරිකයකු ද ඔහුගේ වෑන් රථයෙන් තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට උදව් කර ඇති අතර, තුවාලකරුවන් වාහනය තුළ රඳවා තැබීමට අනෙක් අය සහය වී ඇත. අනතුර සිදුකළ පුද්ගලයා වාහනයේ තිරිංග තද කිරීමට (බ්‍රේක් කිරීමට) හෝ උත්සාහ කර නොමැති අතර, අනතුරෙන් බිම වැටුණු මිනිසුන් යට කරමින් පලා ගොස් ඇති බව ද ඔහු පැවසීය.
දර විකිණීමෙන් ජීවත්වන 53 හැවිරිදි පී.ජී.සංජීව අරුණකුමාර පැවසුවේ, මෙම වෙසක් රාත්‍රිය සතුටුදායක රාත්‍රියක් වනු ඇතැයි තමා සිතූ බවයි. ඒ, ඔහුගේ දියණිය වන නලීෂා නිලක්ෂි පෙරේරා (32), බෑනණුවන් වන රසික නානායක්කාර (35), බිරිඳ පී.බී. ඉන්ද්‍රාණි (56), දියණියගේ දරුවන් දෙදෙනා සහ සහෝදරයාගේ දියණිය වන මලීෂා පෙරේරා රැගෙන යාම සඳහා ඔහු සිය ත්‍රිරෝද රථය සූදානම් කර තිබූ බැවිනි.
“අපේ පවුල එකට සමරන අවසන් වෙසක් උත්සවය මේක වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ බෑණා යුද හමුදා නිලධාරියෙක්. ඔහුට වෙසක් පෝයට පසුදා සේවයට වාර්තා කිරීමට තිබුණා. ඒ නිසා මගේ සැලසුම වුණේ මුනුපුරන්ට වෙසක් කූඩු පෙන්වන ගමන් ඔවුන්ව අවිස්සාවේල්ලට ඇරලවන්නයි.” ඔහු කඳුළු සලමින් පැවසීය.
රොටි දන්සල අසල නතර කළ පසු තමා ත්‍රිරෝද රථයේ රැඳී සිටි බවත්- බිරිඳ, දියණිය සහ බෑනා රොටි දන්සලේ පෝලිමට ගිය බවත් ඔහු පැවසීය.
දියණියගේ හත් හැවිරිදි පුතු චේතික යානුෂ නානායක්කාර ත්‍රිරෝද රථයේ නිදාගෙන සිටි බැවින් ඔහු නතර වූ අතර, ඒ නිසාම ඔවුන් දෙදෙනාට අනතුරක් සිදු නොවීය. එහෙත් අධික වේගයෙන් පැමිණි කැබ් රථයකට යට වූ අනෙක් අයට එම වාසනාව හිමි නොවීය .

“මට ලොකු සද්දයක් ඇහුණා, කැබ් එකක් සෙනඟ අතරින් මතු වෙලා ඔවුන්ව යට කරගෙන කොළඹ පැත්තට වේගයෙන් ගියා. මම එතනට දුවගෙන යනකොට ඔවුන් සියල්ලන්ම බිම වැටිල ඉන්නව දැක්කා. මගේ බිරිඳ එතන හිටියා. මම මුලින්ම දැක්කේ මලීෂා මුහුණ බිමට හැරිල වැටිල ඉන්නවා. ඒ මොහොතේම ඒ හැමෝම මිය ගිහින් ඇති බව මට දැනුණා. ඊට පස්සේ මට මතක් වුණා අවුරුද්දක් වයස රදීෂ් මගේ දියණිය ළඟ සිටි බව. මම ඔහුව හොයන්න පටන් ගත්තා.” ඔහු පැවසීය.
කුඩා රදීෂ් ද අනතුරෙන් විසිවී ගොස් තිබූ අතර, ඔහුගේ උරහිස තැළී තිබුණි. එතැන සිටි තරුණ ගැහැනු ළමයින් කිහිප දෙනෙකු ඔහුව වඩාගෙන අවුත් සංජීවට බාර දී ඇත.
“අපි ගියේ පවුලක් විදියට. ඒත් මම ගෙදර ආවේ මගේ මුනුපුරන් දෙන්නා එක්ක විතරයි. දෙමව්පියෝ නැතිව මම මෙයාලව හදාගන්නේ කොහොම ද? මේ ළමයි දෙන්නා බලාගන්න ගමන් මගේ රස්සාව කරන්නේ කොහොම ද? අපේ ජීවිත එක ඇසිපිය හෙලන සැණින් මෙහෙම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.” ඔහු වැලපෙමින් පැවසීය.
මේ අතර තුන්නාන ප්‍රදේශයේ පදිංචි පී. පී. නිශාන් ප්‍රියංකර (35) සහ පී.පී. ක්‍රිෂාන් ප්‍රියංකර (37) යන එකම පවුලේ සහෝදරයන් දෙදෙනා ද මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූහ.
නිශාන් ප්‍රියංකරගේ බිරිඳ වන ආර්. ඒ. පියුමි කෞෂල්‍යා (29) විස්තර කළේ- තම සැමියා පොල්කටු ප්‍රවාහනය කරන ලොරි රථයක සහායකයෙකු ලෙස සේවය කළ බවත්, ඔහුට ස්ථිර රැකියාවක් නොතිබූ බවත්ය. සැමියාගේ වැඩිමහල් සහෝදරයා ද රැකියා විරහිතව සිටි බැවින් ඔහු ද කුලී වැඩ කළ අයකු බව ඇය පැවසුවාය.
වෙසක් දිනයේ තම තුන් හැවිරිදි දියණියට වෙසක් සිරි නැරඹීමට රැගෙන යාමට සැමියා තුළ ලොකු උනන්දුවක් තිබූ බවත්, ඒ සඳහා ඔහු සේවය කළ ලොරි රථය කුලියට ගත් බවත් ඇය පැවසුවාය. ඒ අනුව ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පවුලේ අය සහ දෙමාපියන් ද මෙම ගමනට එක් කරගෙන ඇත. සහෝදරයන් දෙදෙනාටම රිය පැදවීමට නොහැකි නිසා අසල්වැසියකු ලොරි රථය පදවාගෙන පැමිණ තිබේ.
“මගේ මහත්තයා ලොරිය කුලියට අරන්, රුපියල් 3000 ක ඩීසල් දාලා ලෝ ලෙවල් පාරෙ ගෝල්ෆේස් ගිහින් එහෙ තියෙන තොරණ, වෙසක් කූඩු බලන්න තමයි ලෑස්ති වුණේ” ඇය පැවසුවාය.
“ඇත්තටම එදා අපි ගෙදර ඉවුවේ නැහැ. මොකද දන්සල් කීපයකින් කන්න අපි සැලසුම් කරලා තිබුණා. අපි හවස 4.30 ට විතර ගෙදරින් පිටත් වෙලා ගාලු මුවදොරට ගියා. ආපහු එන ගමනේ දී අපි එක බත් දන්සලකින් කෑවා. පස්සේ පාරේ තිබුණු තවත් දන්සලකින් ගෙදර ගිහින් කන්න බත් පාර්සල් ගත්තා .”

“මීගොඩ දී රොටි දන්සල දැක්කට පස්සේ මගේ සැමියා සහ ඔහුගේ සහෝදරයා රොටි කන්න ගොඩක් ආස නිසා, ලොරි රථය පාරේ අනෙක් පැත්තේ නතර කර පෝලිමේ ඉඳල තියෙන්නේ. ලොරිය නතර කොට මහත්තයගේ අයියා කියල තියෙන්නේ මේක තමයි අදට අපි යන අන්තිම දන්සල කියල.”
පෝලිමේ පිටුපසින් ඇය සහ ඇයගේ නෑනා රැඳී සිටි අතර, ප්‍රමාද වන බැවින් පාර්සල් කිහිපයක් ඉක්මනින් ලබාගත හැකිදැයි බැලීමට සහෝදරයන් දෙදෙනා පෝලිමේ ඉදිරියටම ගොස් ඇත.
“රෑ 11.30 ට විතර මගේ දකුණු පැත්තේ මොකක් හරි වදිනවා වගේ දැනුණා, මාව බිම වැටුණා. මම නැගිටින කොට මිනිස්සු බිම වැටිලා හිටියා. කැබ් එකක් වේගයෙන් කොළඹ දෙසට පදවාගෙන යනවා දැක්කා. කැබ් රථය අපව යට කරගෙන ගිහින් කියලා මට තේරෙන්න ටික වෙලාවක් ගියා.” ඇය පැවසුවාය.
බොහෝ දෙනෙකුට තුවාල සිදුව තිබූ අතර, තම සැමියා සහ ඔහුගේ සහෝදරයා පෝලිමේ ඉදිරියෙන් සිටි අයට උදව් කරනවා ඇති බව ඇය මුලින් සිතා ඇත. නමුත් සැබවින්ම අනතුරට ලක්ව තිබුණේ ඔවුන් දෙදෙනාය.
“මගේ මහත්තයා කිසිම දෙයක් නැතිව වැටිලා හිටියා. මම හිතුවේ එයාට සිහිය නැති වෙලා කියලා. ඒත් ඒ වෙනකොටත් එයා නැතිවෙලා. මම උදව් ඉල්ලලා කෑගැහුවා. මිනිස්සු ඔහුව වෑන් එකකට පටවලා හෝමාගම රෝහලට අරන් ගියා.” ඇය පැවසුවාය.
ඉඩකඩ සීමිත වීම නිසා ඇයගේ සැමියාව පමණක් එම වෑන් රථයෙන් රෝහලට රැගෙන ගොස් ඇත. සැමියාගේ වැඩිමහල් සහෝදරයාට සුළු වශයෙන් සිහිය තිබූ බැවින්, ඔහුව තවත් දෙදෙනෙකු සමග ඔවුන් පැමිණි ලොරි රථයෙන්ම රෝහලට රැගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් රෝහලට රැගෙන යන අතරතුර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
“මගේ අවුරුදු තුනක දුවටයි, මගේ නෑනාගේ අවුරුදු 13 සහ 11 වයසැති දුවටයි පුතාටයි එකම දවසේ තමුන්ගේ තාත්තලා නැති වුණා.” ඇය ශෝකයෙන් පැවසුවාය.
මේ අතර මියගිය ක්‍රිෂාන් ප්‍රියංකරගේ බිරිඳ වන වී. තන්තිරි ගමගේ ඉසංකා මධුෂානි (31) පැවසුවේ- පවුල් දෙකෙහිම ජීවනෝපාය සෙවූ ප්‍රධානීන් අහිමි වී ඇති බැවින්, දරුවන් සහ දෙමාපියන් ජීවත් කරවීම සඳහා තමන් දෙදෙනාටම කුලී වැඩ කිරීමට සිදුවන බවයි.
ගම්වාසීන් සහ සහෝදරයන් දෙදෙනාගේ මිතුරන් එක්ව දේහයන් තැන්පත් කිරීමට දේහ පෙට්ටි පවා ලබා දෙමින්, පාරවල් සරසමින් අවමංගල්‍ය කටයුතු සඳහා උදව් උපකාර කළ ද, මෙතැන් සිට දරුවන් රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
කසුන් වරකපිටිය
ඡායාරූප - ඉන්දික හඳුවල

සිද්ධිය වූ ස්ථානය දැන්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd