(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා අද (08) කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, කුඩා දරු දැරියෝ පිරිසක් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් වියට්නාම් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.

හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක් වූ වියට්නාම් ජනාධිපතිවරයා පාසල් සිසුන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර නිර්මාණ නැරඹීමටද එක්විය.

අනතුරුව, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති "වියට්නාම්-හෝ චි මිං පරිශ්‍රය" (Vietnam-Ho Chi Minh Space) පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක් වූ වියට්නාම් ජනාධිපතිවරයා එහි ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීය. මෙහිදී මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපති වරුණි ගඟබඩආරච්චි මහත්මිය විසින් හෝ චි මිං පරිශ්‍රය නවීකරණය කිරීමේ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ වාස්තු විද්‍යාත්මක සැලසුම් පිළිබඳව පැහැදිලි කරන ලද අතර, ඒ වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ වියට්නාමයේ රාජ්‍ය විගණන කාර්යාලයේ විගණකාධිපති න්ගුයෙන් හූ න්ගියා (Nguyen Huu Nghia) මහතා විසින් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වෙත ඇමෙරිකානු ඩොලර් 50,000ක්ද ප්‍රදානය කරන ලදී.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, උප නගරාධිපති හේමන්ත විරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.