
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස හත තුළදී කටාර් රාජ්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දෝහා තානාපති කාර්යාලය එරට අදාළ පාර්ශ්වයන්ගෙන් රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වන්දි මුදල් ලෙස අයකරගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ අනුව පසුගිය ජනවාරි සිට ජූලි මාසය දක්වා වන්දි ලෙස රුපියල් 80,886,895.32ක මුදලක් දෝහා තානාපති කාර්යාලය අයකරගෙන ඇති බවත් එම මුදල තානාපති කාර්යාලය අයකරගෙන ඇත්තේ මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතීන් වෙනුවෙන් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
මැද පෙරදිග කලාපයේ තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ වුවද දෝහා තානාපති කාර්යාලය මෙම මුදල අයකරගෙන ඇති බවත් අයකරගෙන ඇති එම මුදල කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය වෙත සහ මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතීන් වෙත ලබාදී ඇති බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
දෝහා තානාපති කාර්යාලය අයකරගෙන ඇති රුපියල් 80,886,895.32ක මුදලින් රුපියල් 13,229,128ක මුදලක් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඍජුවම මියගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වෙත ගෙවා ඇති බවත් ඉතිරි රුපියල් 67,657,767.32ක මුදල අමාත්‍යාංශයට බාරදී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම වසරේ අයකරගෙන ඇති ඇතැම් වන්දි මුදල් 2023 වසරේ සිට හිඟ ලෙස පැවැති ඒවා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. දෝහා තානාපතිනි සිතාර ඛාන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ සමාගම්, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය, කටාර් රජය සහ තානාපති කාර්යාලය සමඟ කටයුතු කරන නීති ආයතනය සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් මෙම වන්දි මුදල් අයකර ගැනීමට කටයුතු කර තිබෙන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd