(විමුක්ති එස් රුද්‍රිගු)

ඩිජිටල් වේදිකා ඔස්සේ සේවා සපයන්නන් උපයන අදායම උපරිම සියයට 15 ක බද්දකට යටත් බවත් ඔවුන්ට හිමිව ඇත්තේ විශාල සහනයක් බැවින් ස්වේච්ඡාවෙන් අදාළ බදු මුදල ගෙවීම එම සේවා සපයන්නන්ගේ යුතුකම හා වගකීම බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නන්දන කුමාර මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඩිජිටල් වේදිකා ඔස්සේ සේවා සපයන්නෙකු වසරකට උපයන පළමු ලක්ෂ 18 බද්දෙන් නිදහස් බවත් ඉන් පසුව උපයන ආදායම සියයට 6 සිට උපරිමය සියයට 15 දක්වා බද්දකට යටත් බවත් ඔහු පැවසුවේය.

නමුත් භාණ්ඩ අපනයනය කරන්නෙකු වසරකට උපයන පළමු ලක්ෂ 18 බද්දෙන් නිදහස් වුවත් එතැන් සිට සියයට 18 සිට උපරිමය සියයට 36 දක්වා වු බද්දක් අය කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඩිජිටල් වේදිකා ඔස්සේ සේවා සපයන්නන්ට 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ස්වයං තක්සේරු බදු ප්‍රකාශනයක් මගින් සිය ආදායම ප්‍රකාශයට පත් කළ හැකි බවත් එතැන් සිට අදාළ බදු මුදල ගෙවීම එම සේවා සපයන්නන්ගේ යුතුකම හා වගකීම බවත් ඔහු පැවැසුවේය.

ඩිජිටල් වේදිකා ඔස්සේ සේවා සපයමින් ආදායම් උපයන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

කෙසේ වෙතත් මෙය නව බද්දක් නොවන බවත් හඳුන්වා දුන්නේ 2023/2024 වසරේ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.