(අංජුල මහික වීරරත්න)

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා නිල සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ වියට්නාම් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ වියට්නාම් සංචාරයේදී කළ ආරාධනාවට අනුව, වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය සිදු වේ.

වත්මන් රජය යටතේ ආර්ථික ස්ථාවරභාවය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම සංචාරය සිදු වීම විශේෂත්වයක් බව ජනපති කාර්යය පවසයි.

වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවය.

ලෝකයේ ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් වර්තමානයේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් අතර ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන වියට්නාම්හි  ශක්තිමත් දේශපාලන සහ ආර්ථික දර්ශනය හඳුනාගනිමින් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ක්‍රියාවලියට සහ විදේශ වෙළඳපොළ ජය ගැනීමට වියට්නාම් ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත.