(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතන වල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන් පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම⁣ට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සඳහා සේවකයින් සෘජුව බඳවා ගැනීම වෙනුවට බාහිර පාර්ශ්වීය මෑන් පවර් ආයතන මඟින් තාවකාලික පදනමින් සේවකයින් ලබා ගැනීම ක්‍රමානුකූලව වර්ධනය වීමේ ප්‍රවණතාවක් පසුගිය කාලසීමාවේ  නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම, එවැනි සේවකයින් සැලකිය යුතු තරම් වන දීර්ඝ කාලයක් තිස්සේ එකම රාජ්‍ය ආයතනයක සේවයේ යොදවා ගනු ලැබ ඇති අවස්ථා ද දක්නට ලැබේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිර සේවකයින් හා සමාන රාජකාරී ඉටු කරන නමුත් රැකියා සුරක්ෂිතතාව, ව්‍යවස්ථාපිතප්‍රතිලාභ සහ නිසි නීතිමය පිළිගැනීමක් නොමැති අනාරක්ෂිත සේවා නියුක්තික ප්‍රජාවක් එම ආයතන තුළ බිහි වී ඇත. එකී තත්ත්වය, සමාන කාර්යයයේ නිරත වන සේවකයින්ට සමාන වැටුප් සහ ප්‍රතිලාභ (Equal Pay For Equal Work) යන මූලික කම්කරු සංකල්පයෙන් බැහැර වීමකි. 
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්‍රඥප්තියට අනුව මෙරට සේවක අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම සිදු කළ යුතු බැවින්, මෑන්පවර් ආයතනවල සේවකයින් යෙදවීම නියාමනය කිරීම සහ ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි මූලික ව්‍යාපාර කටයුතු සඳහා දැනටමත් දීර්ඝ කාලයක් තිස්සේ සේවයේ යොදවා ඇති මෑන්පවර් සේවකයින්ට අගතියක් නොවන අයුරින්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ අදාළ නීතිරීති සංශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිලධාරීන් සහ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක්  පත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.