(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ කුරුණෑගල  දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම සඳහා ගෙන ආ යෝජනාව බාර ගැනීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රතික්ෂේප කළේය.

මෙම යෝජනාවේ ඇති කරුණු ගැන සෑහීමට පත් නොවන නිසා තමා එය බාර නොගන්නා බව  කතානායකවරයා එහිදී  පැවසුවේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහ භාණ්ඩාගාරයේ මුදල් වංචනික පිරිසක් අතට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු වාර්තා නොකිරීම, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී නොසිටීම සහ කෝප් කමිටුවට කරුණු වාර්තා කිරීම   පැහැර හැරීමෙන්  මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇතැයි  ජයසේකර මහතා එම යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කර තිබිණ

අනතුරුව මේ සම්බන්ධයෙන් මැතිසබයේදී  අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමට  ඕන තරම් කරුණු එහි අන්තර්ගතව තිබියදී එය බාර නොගැනීම  වැරදි ක්‍රියාවක් බවයි.

මේ සම්බන්ධයෙන් තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව කී දයාසිරි ජයසේකර මහතා  කරන වැඩ අනුව අද මේ අයට   පිටරට යෑම පවා නොහැකිවී ඇති බව ප්‍රකාශ කළේය  

බිමල් රත්නායක ඔලුව  හෙල්ලුව නිසා කතානායක   තමාට මේ අවස්ථාව නොදුන් බව  දයාසිරි ජයසේකර මහතා පැවසීය.

හර්ෂණ සූරියප්පෙරුම ලාංකික පුරවැසියෙක්ද  නැද්ද යන්න වරප්‍රසාද කමිටුවට කිව යුතු බවද ඔහු සඳහන් කළේය.